IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට බංකොළොත්වීමේ අමතක නොකළයුතු දේ

ලංකාවේ ආර්ථිකයට සිදුවූ දේ පිළිබඳ අර්ථකථන බොහෝ ය. ඒ අතරේ ඇතැම් දේශපාලනඥයන් විසින් කාලයක් තිස්සේ දක්වනු ලබන අදහස් කෙළින්ම රටට විහිලු‍ සැපයීමකි. තවත් සමහරුන් කියන්නේ සිත නිවන ගණයේ කතා පමණි. එහෙත් ආර්ථිකය පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබෙන කිසියම් අවබෝධයකින් කතා කරන දේශපාලනඥයෝ ද වෙති.

ඒ සමග ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් විසින් වසර ගණනාවකට පෙර සිට ම රටේ ආර්ථිකයේ ඉදිරියේ දී විය හැකි බරපතළ කඩාවැටීම පිළිබඳ පුරෝකථනයක් කර තිබිණි. ජාත්‍යන්තර ණය විශ්ලේෂක ආයතන ද දින වකවානු සහිතව විය හැකි අනතුර පිළිබඳ කල්තබාම රතු එළි දැල්වීය.

එහෙත් බලයේ සිටි රජය ඒ කිසිවක් කනකට ගත්තේ නැත. එම රජය වටා අරක්ගෙන සිටි ආර්ථික උපදේශකයන්ගේ උපදෙස් සියලු‍ දේශීය සහ ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ පළපුරුද්දට සහ දැනුමට වඩා අගය කොට සලකනු ලැබීය. ඒ සියල්ලේ ප්‍රතිඵලය අපගේ රට ආර්ථික වශයෙන් ඉතිහාසයේ ලොකුම කඩා වැටීමට ලක් වීම ය.

මේ ඇතැම් බක පණ්ඩිත උපදේශකයන් හේතුවෙන් මහ බැංකුවෙන් විශ්‍රාම ලබා විදෙස්ගතව සිටි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණ මහබැංකුවේ අධිපති ධුරය බාරගැනීමෙන් පසුව ඒ වනවිට පැවති තත්ත්වයෙන් රට ගොඩගැනීමට පියවර ගණනාවක්ම ගත්තේය.

කෙසේ හෝ ඔහු ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ශීඝ්‍ර කඩාවැටීමකට ලක්වෙමින් පල්ලම් බසිමින් තිබූ ආර්ථිකයට තිරිංග වැටීමක් සිදුවිය. එම පියවර ගනිමින් සිටිය දී ජනාධිපති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය කිසියම් දුරකට ස්ථාවර කර ගැනීමට මාර්ගය පෑදෙමින් ඇති බවට විශ්වාසයක් ගොඩනැගෙමින් තිබේ.

මෙවැනි තත්ත්වයක් පවතිද්දී රට ආර්ථික වශයෙන් බංකොළොත් වීමට තුඩු දුන් හේතු මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරෙන විට ඒ පිළිබඳ සියලු‍ දෙනාගේ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ රාජගිරිය බැංකු ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැති දේශනයක දී මහබැංකු අධිපතිවරයා ඒ ගැන සරල පැහැදිලි කරදීමක් සිදුකර තිබිණි.

ඔහුගේ විශ්ලේෂණයට අනුව ආර්ථිකය බංකොලොත් වූයේ පොලී අනුපාතය ඉතා පහළ අගයක තබා ගැනීමත් ඩොලරයේ වටිනාකම එක මට්ටමක තබා ගැනීමත් හේතුවෙනි. ඒ අනුව බැංකු පොලී අනුපාතය සියයට 5ක මට්ටමේත් විදේශ විනිමය අනුපාතය 203 මට්ටමේත් තබා ගැනීම රට බංකොලොත්භාවයට ඇදගෙන ගොස් තිබේ. ඔහු එය පෙන්වා දී තිබුණේ ආර්ථිකයේ අත් දෙක ගැට ගැසීමක් වශයෙනි.

දේශීය විදේශීය ඉල්ලු‍ම පාලනය කිරීම සඳහා මහබැංකුව සතු උපකරණ දෙක විනිමය අනුපාතය සහ බැංකු පොලිය බවත් ඒ දෙක පාලනය කිරීමකින් තොරව ආර්ථික වර්ධන වේගය ස්ථාවර කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දී තිබිණි. පොලී අනුපාතය සියයට 5 ක තබා ගැනීම හේතුවෙන් හැමෝම ණය අරගෙන හිරවූ බවත් විනිමය අනුපාතය 203ට තබා ගැනීම හේතුවෙන් අපේ සංචිත සියල්ල අහිමි වූ බවත් අද තිබෙන්නේ එහි ප්‍රතිඵල බවත් මහ බැංකු අධිපතිවරයාගේ කතාවේ සඳහන් විය.

අපේ රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයට ඇද දැමීමට හේතු වූ තීරණ ගත්තේ ඇතැම් බක පණ්ඩිත උපදේශකයන් බව අප මේ කතුවැකියේ මුලදීම සඳහන් කළේ මේ හේතුවෙනි. අපගේ විදෙස් සංචිත තුළ තිබූ ඩොලර් පුච්චා දමමින් විනිමය අනුපාතය 203 මට්ටමක තබා ගැනීමට දැරූ උත්සාහය හේතුවෙන් සංචිතය සිඳී යන බවට ආර්ථිකය පිළිබඳ සුළු දැනුමක් හෝ තිබූ සියලු‍දෙනා ඒ කාලයේ ආණ්ඩුවට අනතුරු ඇඟවුවත් ඒ සියල්ල බීරි අලින්ට වීණා ගායනා කිරීමක් පමණක් විය.

රටේ ආර්ථිකය දිනෙන් දින අඩාළ වෙමින් තිබිය දී මෙරට ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ප්‍රකාශ කළේ පවතින භයානක පෙරනිමිති සැලකිල්ලට ගනිමින් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) සමඟ එක්වී ණය පහසුකම් පිළිබඳ ගිවිසුමකට එක්වීම අත්‍යාවශ්‍ය බවය. එහෙත් ඇතැම් උපදේශකයන්ට අයි.එම්.එෆ්. යාම ගැරඬියාට භූමිතෙල් ගැසීමක් බඳු විය. එදා පැවති ආණ්ඩුවේ එවැනි තකතීරු තීන්දු හේතුවෙන් අද බැටකන්නේ එම උපදේශකයන් හෝ දේශපාලකයන් හෝ නොවේ. පොදු මහජනතාවය.

අයි.එම්.එෆ්. ණය මුදාහැරීමේ තීන්දුවත් සමඟ ශ්‍රී ලංකාවට එහි ප්‍රථම වාරිකය ලැබීමට නියමිතය. එහෙත් එය සියලු‍ ගැටලු‍ විසඳන ඇලඩින්ගේ පුදුම පහන නොවන බව වටහාගත යුතුය. අපේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නා සියලු‍ බලධාරීන් සහ උපදේශකයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා කියා දුන් පාඩම මන්තරයක් සේ ජප කරමින් සිටීම අනාගතයේ දී සිදුවිය හැකි ව්‍යසන වළක්වා ගැනීමට හේතු වන බව අවධාරණය කරනු කැමැත්තෙමු.

(***)



අදහස් (0)

රට බංකොළොත්වීමේ අමතක නොකළයුතු දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site