IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජයේ මුදල් මෙහෙම නාස්ති කරන්නේ ඇයි?

ලංකාව පාරාදීසයකි. (වර්තමානයේ නොවේ) එසේ පාරාදීසයක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුන්වා දෙනු ලැබුවේ ලොවේ සංචාරක ප්‍රවර්ධන ආයතන මගිනි. ශ්‍රී ලංකාව සංචාරකයන්ට ලොව හොඳම ගමනාන්තය වශයෙන්ද වරක් හඳුන්වනු ලැබීය. මේ පාරාදීස කතාව අප මෙහි සඳහන් කරන්නේ සංචාරකයන් ගැන කතා කිරීමට නොව ලංකාව පාරාදීසයක් කරගෙන ඇති තවත් පිරිසක් සම්බන්ධව අදහස් දැක්වීමටය. 

සංචාරකයන් හැරුණුවිට ලංකාව පාරාදීසයක් කරගත් තවත් පිරිසක් මේ රටේම වෙසෙති. ඔවුහු අපගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත්වී පසුව අමාත්‍යවරුන් බවටද පත් වූ පිරිසකි. මේ අතරින් සමහර අමාත්‍යවරුන්ට හරිහම්බ කරගැනීමේදී ජනතාවගේ බදු මුදලින් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය පුම්බා ගැනීමේදී යාන වාහන භාවිතයේදී ලංකාව පාරාදීසයකි. සුරපුරකි. 

සුදෝසුදු පිරිසුදු ඇඳුමින් සැරසී සිටියත් ඔවුන්ගේ ගත වැසී ඇත්තේ නාස්තියේ කළු පාටිනි. ඇඳුම් පිරිසුදු වුණත් මහජන මුදල් නාස්ති කරන්නේ රජයේ දේපළ අවභාවිත කරන්නේ ඉතා අපිරිසුදු ආකාරයෙනි. මේ ගැන රජයේ විගණකාධිපති වාර්තාවලින් වරින්වර හෙළිදරව් කෙරෙමින් තිබේ. 

එවැනි එක් හෙළිදරව්වකින් පෙන්වා දී ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු තමන් වෙනුවෙන් පවත්වාගත් උපහාර උළෙලක් සඳහා රජයේ මුදල් ලක්ෂ 70ක් වැයකර ඇති බවය. එසේම සෞඛ්‍යයේ හිටපු අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු වාහන 24ක් භාවිතා කර ඇති බවය. ඒ මදිවාට එම වාහනවලට රුපියල් ලක්ෂ 60ක් අමතර පෙට්‍රල් වෙනුවෙන් වැයකර ඇති බවය. 

මෙවන් ආකාරයට මේ රටේ මහජනතාවගේ බදු මුදලින් තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමත් වාහන සහ පෙට්‍රල් වෙනුවෙන් වැය කිරීමත් සිදුකළ හැකි නම් එවැනි දේශපාලකයන්ට ශ්‍රී ලංකාව පාරාදිසයක් වීම අරුමයක්ද? ජනතාවගේ බදු මුදලට මේ ආකාරයට පික්පොකට් ගැසිය හැක්කේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේද? මේ ප්‍රශ්න අප අප විසින්ම අසාගන්නවා හැර වෙනත් පිළිසරණක් නැත. 

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ට උපහාර උළෙලක් පවත්වා ගන්නේ තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට මිස රටට යහපතක් කිරීමේ චේතනාවෙන් නොවේ. සෞඛ්‍ය අමාත්‍යවරයා එසේ මුදල් නාස්ති කරන්නේ මේ රටේ රජයේ රෝහල් පද්ධතියේ රෝගීන් රෝහල් කොරිඩෝ වලත් බිම වැතිරී ප්‍රතිකාර ගන්නා තත්ත්වයක් තුළ වීම මහා ඛේදවාචකයෙකි. රජයේ රෝහල්වල තත්ත්වය  තිබෙන තැනින් උඩට ගැනීමට රජයේ මුදල් වැය කරනවා වෙනුවට මේ ආකාරයට මුදල් නාස්ති කිරීම කිසිවකුත් අනුමත කරන්නේ නැත. අමතර වාහන 24ක් සහ පෙට්‍රල් භාවිත කරමින් රජයේ මුදල් නාස්ති කළ ඇමැති සහ රාජ්‍ය ඇමැති සම්බන්ධයෙන්ද කිවයුත්තේ එයම පමණි. 

වෙනත් රටවල නම් මේ ආකාරයට රජයේ මුදල් අවභාවිත කිරීම බරපතළ වැරැද්දකි. මැලේසියාවේ රජයේ මුදල් අවභාවිත කළ හිටපු අගමැතිවරයෙක් දැන් සිටින්නේ සිරගෙදර කූරුගනිමිනි. ෆින්ලන්තයේ අගමැතිනිය තම උදෑසන ආහාර වේලට රජයේ මුදල් වැය කළ බවට නැගූ චෝදනාව හේතුෙවන් ඇයගේ අගමැති පට්ටම බේරුණේ නූලෙනි. එසේ බේරුණේ ද වැය වූ මුදල් තම පෞද්ගලික මුදලින් ආපසු ගෙවා දැමීමෙන් පසුවය. අපේ ‘‘පාරාදීසයේ’’ නම් අමාත්‍යවරුන්ට තමන් අවභාවිත කළ රජයේ මුදල් ආපසු ගෙවීමට සිදුවුණොත් මේ රටට මූල්‍ය අරමුදලේ ආධාර අවශ්‍යවන්නේ නැත. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට එම මුදල පමණක් ප්‍රමාණවත් වනු ඇත. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ තරම් දුර්වල තත්ත්වයට ඇද වැටීමට දූෂණ වංචාවලට අමතරව අමාත්‍යවරුන්ගේ මෙවැනි නාස්තිකාර වියදම් ද හේතු වූ බව නොරහසකි. මෙහිදී පොදු මහජනතාව අතින්ද වරදක් සිදුව තිබේ. බොහෝ කාලයක සිටම වංචා දූෂණ සහ නාස්තිකාර ක්‍රියාවලට නම් දැරූ මැති ඇමැතිවරුන් යළි යළිත් මැතිසබයට තෝරා පත් කර යැවීම සඳහා තම ඡන්දය භාවිත කිරීම එම වැරැද්දයි.

නාස්තිකාර ක්‍රියා වලට නම් දැරූ ඇතැම් මැති අමැතිවරුන්ට විශාල වශයෙන් වැඩි ඡන්ද ලැබීමද මේ රටේ ප්‍රවණතාවක් වී තිබිණි. එහි ප්‍රතිඵල දැන් ඡන්ද දායකයාගේ බොක්කටම දැනෙමින් තිබේ. නාස්තිකාර මැතිඇමතින් දේශපාලනයෙන් ඉවත් කර දැමීමේ වගකීම ඇත්තේ තම අතේ බව ඡන්ද දායකයා අවබෝධ කර ගන්නා තුරු මේ විෂම චක්‍රය මේ ආකාරයටම කැරකෙනු ඇත. 

මහජන මුදල් මෙසේ නැති නාස්ති කරන විට රටේ වංචා සහ දූෂණ නැති කරනු ඇති බවට මහජනතාව තුළ රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීම වැළැක්විය නොහැක. අදාළ මුදල් නාස්තිය හිටපු එක් අමාත්‍යවරයකු සම්බන්ධයෙන් පමණක් වුවත් සෙසු බොහොමයක් හිටපු සහ සිටින අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. මේ පාරාදීසයේ කිසිදු අමාත්‍යවරයකු දුප්පතකු වශයෙන් තම ධුරයෙන් විශ්‍රාම නොගන්නා බව නම් ඉර හඳ මෙන් විශ්වාසය. 


(***)



අදහස් (2)

රජයේ මුදල් මෙහෙම නාස්ති කරන්නේ ඇයි?

L P Rupasena Thursday, 27 October 2022 03:44 PM

අඩු වැටහීම හින්දා මහජනතාව දූෂිත දේශපාලකයින්ට තමයි ඡන්දය දෙන්නේ...

:       0       3

Dilhan Thursday, 27 October 2022 04:10 PM

රටේ මැති ඇමැතිවරුන් කොපමණ මුදල් නාස්ති කළත් IMF ආයතනය පවා ඒවා නොදැක්කා සේ ඉඳිමින් එම නාස්තිය සහ මුදල් අවභාවිතය පිරිමසා ගැනීම සඳහා මහජනයාගෙන් අධික විදිහට බදු අය කර ගන්නා ලෙස උපදෙස් දෙනවගක් පොදු මහජනයා හට අවබෝධ වෙමින් තිබේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site