IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ආයතනවල බර ජනතාව පිට දාන්න එපා

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව දැඩි විරෝධය පළ කරන බවත් ඒ සඳහා රජය ගන්නා සියලු‍ උත්සාහයන් පරාජයට පත් කරන බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පසුගිය දා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබිණි. රාජ්‍ය ආයතන 52 ක් විකුණා දැමීමට රජය දැනටම සැලසුම් කර ඇති බවත් ඒවායින් ඇතැම් ඒවා විශාල ලාභයක් ලබන ආයතන බවත් ඔවුන් කියා තිබිණි.

රජයේ ප්‍රතිව්‍යුහකරණ ප්‍රතිපත්තියට මෙරට වෘත්තිය සමිති විශාල සංඛ්‍යාවක් විරෝධය පළ කරන බව සැබෑවකි. එහෙත් රජය සැමවිටම ප්‍රකාශ කරන්නේ වෘත්තීය සමිති කිහිපයක විරෝධය හේතුවෙන් රටේ ආර්ථිකය විනාශ මුඛයට ඇද දමන පාඩු ලබන ව්‍යාපාර තවදුරටත් රජය යටතේ තබා ගැනීමට අදහස් නොකරන බවය.

එවැනි පාඩු ලබන රාජ්‍ය ආයතන රටේ බදු ගෙවන පොදු මහජනතාවට බරක් වීමට ඉඩ නොදෙන බවය. මේ නිසා විශාල වශයෙන් පාඩු ලබන විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මනින් සිදු කිරීමට රජය පියවර ගනු ඇත. තෙල් සංස්ථාවේ තෙල් ගෙන්වීම සහ බෙදාහැරීම මේ වන විටද ප්‍රතිව්‍යුහගත කර තිබේ. ඒ හරහා මේ වනවිට අලු‍ත් විදෙස් සමාගම් තුනක් රටේ තෙල් වෙළෙඳාමට සම්බන්ධ වෙමින් සිටී.

රටේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පණ ගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩල එකඟත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ. මේ සියලු‍ ක්‍රියාවලිය සිදුවන්නේ එම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ කමිටුවේ මගපෙන්වීම පරිදිය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවිය යුත්තේ ද එම ක්‍රමවේදයට අනුවය. එසේ නොවී අත්තනෝමතික තීන්දු ගනිමින් විදුලිබල මණ්ඩලයේ සියලු‍ වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ සමිති දක්වන අදහස් සැලකිල්ලට ගැනීමකින් තොරව කඩිමුඩියේ එවැන්නක් කිරීමට යාමේ ප්‍රතිඵල භයානක වීමට ද ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ ස්වාධීන උපදේශක ආයතනයක් වන ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පසුගියදා අපගේ ලංකාදීප -විමසුම සාකච්ඡාවට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතනයක් පෞද්ගලීකරණය කළහොත් රාජ්‍ය ඒකාධිකාරිත්වය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරියක් ඇතිවිය හැකි බවය. රාජ්‍ය වේවා, පෞද්ගලික වේවා ඒකාධිකාර පැවතීම හොඳ දෙයක් නොවන බැවින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ඒකාධිකාරිත්වයෙන් මිදීම ඉතා වැදගත් බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එහි වෘත්තීය සමිති දැඩිව විරෝධය පළ කරන්නේ මේ හේතු සහ ලංවීම රජයේ ආයතනයක් බැවින් එය සුරැකීම වගකීමක් හැටියට සලකමින් බව බැලූ බැල්මට පෙනී යයි. එහෙත් දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතනයක් වීම හේතුවෙන් ලංවීම රැකගත්තත් එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ රටේ ආර්ථිකයට එම ආයතනය විශාල බරක් වීම පමණි. ඒ සඳහා විවිධ හේතු තිබිය හැක.

එහෙත් ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටකට විකල්ප ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ආර්ථිකයට දැඩි බරක් ඇති කරන අධික වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පාලනයෙන් රජය බැහැර වීම එයින් එක් විකල්පයකි. ප්‍රතිව්‍යුහගත කිරීම එකී විකල්පය ක්‍රියාත්මක කිරීමේ එක් පියවරකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීම, පෞද්ගලීකරණය සමඟ පටලවා නොගැනීමය. පෞද්ගලීකරණය යනු ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් ක්‍රමයක් පමණි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉක්මනින් සිදු නොවුවහොත් එය රටේ දුර්වල වී තිබෙන ආර්ථිකය තවදුරටත් දුර්වල කිරීමට හේතු වනු ඇත. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයන් පැරණි මතවාදයේම එල්බගෙන රාජ්‍ය සම්පත් විකිණීමට ඉඩ නොදෙන බව කියන කාලයක් තිස්සේ මුල් බැසගෙන තිබෙන සටන් පාඨයේම එල්ලී සිටින්නේ නම් දුර්වල ආර්ථිකයෙන් බැටකන රටේ පොදු මහජනතාවගේ විරෝධය ඔවුන් වෙත එල්ල වීමට ද ඉඩ තිබෙන බව පෙන්වා දිය යුතුය. විදුලිබල මණ්ඩලයේ සේවකයන් සහ නිලධාරීන් වෘත්තීය සමිති හරහා තමන්ගේ සියලු‍ අයිතිවාසිකම් දිනා ගත්තත් විදුලි පාරිභෝගිකයන් අද සිටින්නේ ඉතා අධික විදුලි බිලක් අතැතිව බව සැලකිල්ලට ගත යුතුය. 

රජය ද ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාවලිය උපරිම විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට අවශ්‍යය. එසේම රාජ්‍ය ආයතන පාඩු ලබන විට එම පාඩුව ජනතාව තම බදුවලින් ගෙවිය යුතු තත්ත්වයක් තුළ තමන්ගේ සටන කොතරම් සාධාරණදැයි ලංවිම වෘත්තීය සමිති ද වරක් නොව දෙවරක් කල්පනාවට ගත යුතුය.

(***)



අදහස් (0)

රාජ්‍ය ආයතනවල බර ජනතාව පිට දාන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site