IMG-LOGO

මැදපෙරදිග යන කාන්තා ආරක්ෂාවට මුල්තැන දෙනු

මැද පෙරදිග ගෘහ සේවයට ගොස් යළි මෙරටට පැමිණෙන ඇතැම් කතුන් කියන කතා ඇතැම්හු විශ්වාස නොකරති. “ඔය කියන්නේ බොරු” ඔවුහු එසේ කියති. එහෙයින්ම රට ගිය කතුන් අනාවරණය කරන බොහෝ දේ සම්බන්ධයෙන් පසු විපරමක් සිදු නොවේ. ශ්‍රමයේ සිට ලිංගිකත්වය දක්වා සෑම ආකාරයකම සූරාකෑමට ලක්වන කතුන්ට සිදුවන්නේ, සියලු දුක් දොම්නස් තනිවම විඳ දරා ගැනීමටය.

කුරුණෑගල ප්‍රදේශයේ සිට ඕමාන් රටේ ගෘහ සේවයට ගිය කාන්තාවක් යළි මෙරටට පැමිණ ඇඟ කිළිපොළා යන ත්‍රාසජනක මෙන්ම අනුවේදනීය තොරතුරක් මාධ්‍යයට කීවාය. මෙය අප පත්‍රයේ පසුගිය 4 වැනිදා වාර්තා වීය.

ඇය කියා සිටියේ, ගෘහ සේවයට ගිය කාන්තාවන් පිරිසක් ගොඩනැගිල්ලක රඳවාගෙන බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන බවය. එම අනාවරණය ඵල නොදරාම වැළලී යනු ඇතැයි සිතුව ද වාසනාවට එය එසේ නොවීය.

මිනිස් වෙළෙඳාම් කිරීම් සහ ජාවාරම් කිරීමේ විමර්ශන සමුද්‍ර අපරාධ කොට්ඨාසය හා රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ඕමානයට ගොස් එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා ආරක්‍ෂක නිවස්නයේ රැකවරණයේ සිටින වින්දිත කාන්තාවන් සොයා ගොස් ප්‍රකාශ ලබාගෙන තිබේ. එය ඉතා පැසසුම් කටයුතුය. ඉන් නොනැවතුණු එම පිරිස අදාළ තොරතුරු මෙරටට රැගෙන ආවේය.

එම තොරතුරුවලට අදාළව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු විමර්ශනය කර, අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එම සිද්ධියට අදාළ දඹුල්ලේ විදේශ රැකියා ඒජන්සියක විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝගයක් නිකුත් කර, එම තැනැත්තිය රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

“නඩු නැති රටක්” ලෙස අප රට අවමන් විඳි අවස්ථා බොහෝය. බලවතා සිය සියලු බලමහිමයන් පා රැකවරණ ලබා ගන්නා අතර, අහිංසක ජනයා කරබාගෙන සියල්ල විඳ දරා ගනිති. එහෙත් මෙවර නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ. ඕමාන් රටේ ගෘහසේවිකාවන් වශයෙන් රැකියා ලබා දෙන බව පවසා සංචාරක වීසා මගින් ඩුබායි රටට ගෙන ගොස් ඇති මෙම එ්ජන්සි හිමිකාරිය, එතැන් සිට වාහනයකින් ඕමාන් රටට ගෙන ගොස් ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ඕමාන් රටට රැගෙන ගිය පසු ඒජන්සි හිමිකාරියගේ කාර්යාලයේ අදාළ කාන්තාවන් පෝලිමේ සිටුවා එරට නිවෙස්වල හිමිකරුවන්ට ප්‍රදර්ශනය කර ඇති බවත්, පසුව එම නිවෙස් හිමිකරුවන් තමන්ට කැමැති කාන්තාවන් ගෘහ සේවයට රැගෙන ගොස් ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සැල කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙලෙස රැගෙන යන කාන්තාවන් බහුතරයක් එම නිවෙස් හිමියන්ගේ කුරිරු ලිංගක හිංසාවලට ලක්වී ඇති බව ද සඳහන්ය. අදාළ කාන්තාවන් පනස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද අප ප්‍රවෘත්තිය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ රැකියා එජන්සියක් දමා ගැනීම අසීරු නැත. එයට වුවමනා කරන්නේ, විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශයේ ලියාපදිංචි වීම පමණි. ඊට අමතරව සැපිරිය යුතු සුදුසුකම් තිබුණ ද ඒවා අනිවාර්ය නොවන්නේ, ඒ සම්බන්ධ පසු විපරම් නිසියාකාරයෙන් සිදු නොවන හෙයිනි. ජාවාරම්කාර රැකියා ඒජන්සිකරුවන්ට බඩ පිනුම් ගැසීමට හැකි පරිසරයක් නිර්මාණය වන්නේ එහෙයිනි.

පවුල් බරින් හෙම්බත් වී අනන්ත දුක් විඳින මෙරට කාන්තාවන් ඒ සැහැසි ඉරණමෙන් මිදීමේ ඒකාන්ත මාර්ගය ලෙස දකින්නේ මැද පෙරදිග රට රැකියාවකට යෑමය. ජාවාරම්කරුවන් ප්‍රයෝජනයට ගන්නේ මනුෂ්‍යත්වයේ ඒ අසරණකමය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේ, විදේශ රැකියාවකට යැවීමට යැයි කියමින් දඹුල්ලේ සිට කාන්තාවක රැගෙනවිත් ඇති තැරැව්කරුවකු, එම කාන්තාව මරදානේ පිහිටි ලොජ් එකකට රැගෙන ගොස් රාත්‍රියක් ගත කර බලහත්කාරයෙන් ඇය දූෂණයට ලක් කර ඇති බවත්, පසුව එම කාන්තාව සංචාරක වීසා මගින් ඩුබායි රටට යවා එහිදී ඇය ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත්ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා තිබෙන්නේ, දඹුල්ල රැකියා ඒජන්සියට අමතරව විදේශ රැකියා ඒජන්සි හතරක හිමිකරුවන් සිව් දෙනකු සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ කරමින් සිටින බවය.

අද රට ඩොලර් හිඟයෙන් ඔත්පළ වී තිබේ. රටට විදෙස් විනිමය රැගෙන එන ප්‍රධානම මාර්ගයක් වන්නේ මැද පෙරදිග ගෘහ සේවය වේ. අරාබිකරයේ ධනවත් සුල්තාන්වරුන්ගේ අවමන් සහගත නොසලකා හැරීම්වලට ලක්වෙමින් කාන්තාවෝ ශ්‍රමය වගුරති. සැලකීම් කෙතරම් බරපතළ ද යත් ගෘහ සේවයට යන ඇතැම් කාන්තාවන් යළි මෙරටට පැමිණෙන්නේ සදාකාලික ආබාධිතභාවයෙන්ය.

ඇතැම් කාන්තාවන්ට සීල් කළ මිනී පෙට්ටිවල සැතපී යළි ගමට ඒමට සිදු වේ. මනුෂ්‍යත්වයේ අවම ගරුත්වය රැකගනු නොහැකිව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදීමට සිදුවන ඉරණම “රට විරුවන්” වැනි නාමකරණයන්ගෙන් පමණක් වෙනස් කළ නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතුය.

(***)



අදහස් (1)

මැදපෙරදිග යන කාන්තා ආරක්ෂාවට මුල්තැන දෙනු

බද්රානි Tuesday, 15 November 2022 01:45 PM

කොහොමත් ඉතින් ලංකාවේ උපන්න නම්, රටට ජාතියට ආලේ කරන සිංහල පාලකයෝ ලෝකයේ ඔන්න ඔය තැන තමයි තියලා තියෙන්නේ.. පාලකයින් හා පුජකයින් එකට එකතුවෙලා ගොන් රැල නියම තැනට දක්කලා තියනවා. කාටද ආඩම්බර??

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14319 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 411 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 250 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site