IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බඩුවල තොග මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලබාදෙන්න

තෙවසරක කාලයක් පුරා ආසන්නට දකින්නට ලැබුණේ දුක්බර පුවත්ය. ජීවිතය කලකිරවන සිදුවීම්ය. මනුෂ්‍යත්වයේ අසරණකම හදවතේ ගැඹුරුම තැනට දැනෙන වදින දේය. මේ තරම් වද විඳ විඳ ජීවත්වන්නේ කුමකටදැයි යන ප්‍රශ්නය පොදුවේ සියලු දෙනාගේම ප්‍රශ්නය වේ. එබඳු දුක්ඛිත පරිසරයක ජීවිතය පිළිබඳව බලාපොරොත්තු අලුත් කරවීමට සමත් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේවපුරන් මහතා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ශක්‍රයා තබා ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කළ නොහැකි බව පසුගිය සමයේ ප්‍රකාශ විය. ආර්ථික විද්‍යාත්මක මිණුම් දඬුවලට අනුව සැබැවින්ම බඩු මිල පහත හෙළීමට උත්සාහ දරනවාට වඩා වෙහෙසිය යුත්තේ ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව දියුණු කිරීමටය. එනම් ජනයාගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීමය.

එහෙත් ගෙවා දැමෙමින් තිබෙන ශාපලත් පරිසරය තුළ එවැන්නක් ගැන සිහිනයෙන් හෝ සිතිය නොහැකිය. ජීවිත මළ සොහොන් පාළුවකින් පිරී තිබෙන්නේ එහෙයිනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකිය යුතු ලෙස පහත බැස ඇත යන ප්‍රවෘත්තිය පුරවැසියන්ගේ සිත් සතන් උද්දාමයෙන් පුරවාලීමට සමත් වන්නේ ඒ අනුවය.

අප ප්‍රවෘත්තියට අනුව රුපියල් 600ක්ව පැවැති පරිප්පු තොග මිල රුපියල් 410ක් දක්වාත් රුපියල් 330ක්ව පැවැති සීනි තොග මිල රුපියල් 270 දක්වාත් රුපියල් 215ක්ව පැවැති අර්තාපල් තොග මිල රුපියල් 150 දක්වාත් රුපියල් 600ක්ව පැවැති සුදුලූනු තොග මිල රුපියල් 420 දක්වාත් රුපියල් 180ක්ව පැවැති ලොකු ලූනු තොග මිල රුපියල් 130 දක්වාත් රුපියල් 1990ක්ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300දක්වාත් මිල පහළ බැස ඇත.

සැලකිය යුතු තොග මිල අඩුවිමකි. අඩුවී ඇත්තේ තොග මිලය. සාමාන්‍ය පරිභෝගිකයාට වඩාත් වටින්නේ සිල්ලර මිලය. තොග මිලෙහි පහළ බැස්ම ගමේ සිල්ලර කඩේ බක්කියටද ආ යුතුය. 2019 දී බලයට පත් රජය පැමිණි විගසම පනවා තිබූ බදු සෑහෙන ප්‍රමාණයක් අහෝසි කළේය. එයින් රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 1800ක පමණ මුදලක් අහිමි විය. එය එසේ වුවද නිලධාරින් ප්‍රකාශ කළේ ව්‍යාපාරිකයාට බදු සහන දුන් විට එහි වාසිය පාරිභෝගික ජනයාට ගලායන බවය. එහෙත් එය එසේ සිදුවූයේ ද යන්න ජනතාව දනිති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකියයුතු ප්‍රමාණයකින් පහත බැසීම සිල්ලර මිලට කාන්දු වී ඇද්දැයි සොයා බැලිය යුතුය. පාරිභෝගිකයාගේ ආරක්‍ෂාව පිණිස මහජනයාගේ බදු මුදලින් නඩත්තු කෙරෙන පාරිභෝගික සේවා අධිකාරියට මේ මොහොතේ බරපතළ වගකීමක් පැවරේ. මෙම පාරිභෝගික සේවා අධිකාරිය නිරන්තරයෙන් චෝදනාවට ලක් වන්නේ ඔවුන්ගේ වගකීම නිසි රිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙනි. එය යථාර්ථයක් බවට පත් කෙරෙන මාධ්‍ය සංදර්ශන විගඩම් මෙන්ම ජනයාගේ හාස්‍යයට ලක් කෙරෙන තීන්දු තීරණ ගත් බව නම් සැබෑවකි.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය කිරා මැන මිල තීරණය කිරීමේ ක්‍රියාව එක් නිදසුනක් පමණි. එහෙයින් එබඳු විහිළු සැපයීම් නොකර තමන්ගේ වගකීම එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනාගෙන පාරිභෝගික සේවා අධිකාරිය සෘජුවම ජනතාවගේ පැත්තේ සිටගත යුතුය. අප එසේ අවධාරණය කරනු ලබන්නේ ඉතා සැහැසි ලෙස ක්‍රියාත්මක වන වෙළඳ මාෆියාවක් ද තිබෙන හෙයිනි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැලකිය යුතු මට්ටමෙන් පහත බැසීමට හේතුව ලෙස පිටකොටුව වෙළඳ සංගමය අවධාරණය කරනු ලබන්නේ ඩොලරයේ මිල ස්ථාවර වීම, බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම බවය. එමෙන්ම මෙසේ තොග මිල අඩුවීම අනුව විවෘත වෙළෙඳ පොළේ මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිල ගණන් අඩු විය යුතු බවත් මිල අඩුවීමේ වාසිය සාමාන්‍ය ජනතාවට ලබාදිය යුතු බවත් එම සංගමය අවධාරණය කරයි. සැබැවින්ම සිදුවිය යුත්තේ එයය. වෙළෙන්දාගේ අධික ලාභය නොව සාමාන්‍ය ජනයාට සැලසෙන සෙත දෙස බැලීම බලධාරින්ගේ වගකීමය.

(***)



අදහස් (0)

බඩුවල තොග මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලබාදෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site