පොළොන්නරුව සංචාරක හෝටලයක අපවිත්‍ර ජලය නළයක් මගින් තෙප්පන් ඇළට බැහැර කිරීමේ චෝදනාවට වරද පිළිගත් එම හෝටලයේ කළමනාකාරවරයාට රුපියල් 75,000ක දඩයක් පොළොන්නරුව මහේස්ත්‍රාත් යූ.ඒ.කේ. වික්‍රමරත්න මහතා නියම කළ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
සංවර්ධනය නියත වශයෙන්ම පරිසර හිතකාමී විය යුතුය. පරිසරය නොතකා කටයුතු කිරීම නිසා මානව සංහතියට බරපතළ ලෙස වන්දි ගෙවීමට සිදු වී තිබේ.
කොරෝනා මාරාන්තික වයිරසයත් සමග තිරසර සංවර්ධනය හෙවත් පරිසර හිතකාමී සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රබල අවධානයක් යොමු විය. මෙතරම්ම ඉක්මනට එම උගත් පාඩම් අමතක කිරීම බරපතළ ඛේදවාචකයකි.
චෝදනාවට ලක්වූ සංචාරක හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය හා විසිතුරු මාළු ටැංකිවලින් ඉවත් කරන කළු පැහැති අපවිත්‍ර ජලය භූගත නළයක් මගින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ජලය බෙදාහරින තෙප්පන් ඇළට බැහැර කිරීමක් සම්බන්ධයෙන් සැකකරු චෝදනා පහක් යටතේ පොළොන්නරුව වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. හෝටලයේ සේවකයන් දෛනිකව මෙය සිදුකර ඇති බවත්, එම වරද පිළිගන්නා බවත් ප්‍රකාශ කර ඇති සැකකරු, එම වැරැදි සේවකයන්ගෙන් නැවත සිදු නොවන බවට අධිකරණයේදී පොරොන්දු වූ බව ද අප ප්‍රවෘත්තිය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
පොළොන්නරුව වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට ප්‍රණාමය පිරිනැමිය යුතුය. වරද සැඟවීමට සල්ලි මලු පිටින් විසි කරන සමාජයක, මෙහිදීත් එවැන්නක් සිදු නොවී තිබීමට හේතුවක් නැත. එමෙන්ම, යම් යම් බල අධිකාරීන්හි බලපෑම් එල්ල නොවුණේ යැයි කිව නොහැකිය. එහෙත්, ඒවාට යටත් නොවී, බලපුළුවන්කාරකම්වලට යට නොවී, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ එම නිලධාරීන් සියලු අංශවලට අගනා ආදර්ශයක් සපයා ඇත.
අදාළ සංචාරක හෝටලයේ කළමනාකාරවරයා වරද පිළිගත් බවත්, නැවත එම වැරැද්ද සිදු නොකරන බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වූ බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වරද පිළිගැනීම මෙන්ම එම වැරැද්ද නැවත සිදු නොකිරීමට පොරොන්දු වීම ඉතා අගනේය. එහෙත්, එම වැරැද්ද සිදු නොකර සිටියේ නම් ඊටත් වඩා වැදගත්ය.
නාන තටාකයේ අපවිත්‍ර ජලය හා විසිතුරු මාළු ටැංකිවල කළු පැහැති අපවිත්‍ර ජලය තෙප්පන් ඇළට මුදාහැරීම අත්වැරැද්දක් විය නොහැකිය. සැකකාර කළමනාකාරවරයා එම වැරැද්ද සේවකයන් අතින් දෛනිකව සිදුවන බව ද පිළිගෙන තිබේ. මෙම බරපතළ පරිසර විනාශය දැන දැනම සිදුකර තිබේ. එය ඉතා බරපතළ තත්ත්වයකි.
ධනය ඉපැයිය යුත්තේ සාධාරණවය. මහා පරිසර විනාශයක් කරමින් ධනය ඉපැයීම බරපතළ වරදකි. පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ජලය බෙදාහරින තෙප්පන් ඇළට අපවිත්‍ර ජලය මුදාහැරීමෙන් සිදුවන පරිසර විනාශය ගණනය කළ නොහැකිය. ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාගනු ලබන්නේත්, ගොවිතැන සඳහා ප්‍රයෝජනයට ගනු ලබන්නේත් මෙම ජල කඳය.
එහෙයින්, එම ජල කඳට අපවිත්‍ර ජලය මුදාහැරීම දැන දැනම සිදුකර තිබීමෙන් පැහැදිලි වන්නේ, පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් මෙන්ම රටේ නීතිය සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නැති බවය. මෙබඳු වැරැදි රටේ බොහෝ තැන්හි සිදු වෙයි. එබන්දක් මෙල්ල කළ හැකි වන්නේ, නීතියේ විධානය ක්‍රියාත්මක කිරීමෙන් පමණි.
(***)
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
පරිසරය වැනසූ හෝටලේට අධිකරණයෙන් පාඩමක්
ajith Tuesday, 08 August 2023 06:02 PM
අදාළ සංචාරක හෝටලයේ හිමිකරු නොදැන කළමනාකාරවරයා විසින් සිදුකළ වරදක්...
surath Thursday, 10 August 2023 07:24 AM
මේවා ඇස් බැන්දුම් පමණි. ඉදිරියට නාන තටාකය වෙනවද? නැතහොත් බැහැර කරන ජලය පිරියම් කර මුදා හරිනවාද?
kamal Thursday, 10 August 2023 05:30 PM
අල්ලපු මිනිස්සුන්ට ස්තූති කරන අතරම මේ වගේ කොන්ද පණනැති මාධ්‍ය වලට ලැජ්ජයි කියන්න ඕන... පොඩි මනුස්සයෙක්ගේ වුණා නම් ලොකුවට හෝටලේ නමත් දායි. අරලියා කියලා දාන්නේ නැත්තේ මොවුන් සල්ලි අරන් ඇති...
Perera Tuesday, 15 August 2023 07:35 AM
ඒ වුණාට ඇමැතිලා අනුරාධපුරයේ වැව්තාවුල්ලේ රක්ෂිත ඉඩම් බලන් අයිතිකරන් පරිසරය විනාශ කරකර හෝටල් හැදුවට කමක් නැහැ..
Indika Wednesday, 16 August 2023 06:51 AM
පාඩම අමාරු වැඩි නැද්ද? 75,000ක් කියන්නේ කජු ඇටද , කොස් ඇටද? කොහෙන් හිනා වෙන්නද මන්දා...?