අමාත්‍යාංශයක ලේකම්වරියක ලෙස පත්වූ පළමු ශ‍්‍රී ලාංකීය කාන්තාව ජ්‍යෙෂ්ඨ නීතිවේදිනී

ධාරා විජයතිලක


ඕනෑම වෘත්තියක පනස් වසරක් නියැලීම යනු සුළුපටු කර්තව්‍යයක් නම් නොවේ. නීති විෂයෙහි උපාධිධාරිනියක සහ නීතිඥවරියක ලෙස වෘත්තීය ජීවිතයට පිවිස ඇය ගත කළ කාලය දශක පහක් හෙවත් වසර 50 ට වඩා වැඩිය. මෙරට රාජ්‍ය සේවයේ ලේකම් තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව වන්නේ ද ඇයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති සහකාරවරියක සහ පසුව අධිකරණ අමාත්‍යාංශයේ නීති අංශයේ සිට වෘත්තීය ජීවිතයේ කටයුතු කළ ඇය දශක හතරකට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ පමණක් කටයුතු කර ඇත. 
කැබිනට් අමාත්‍යාංශයක ලේකම්වරියක ලෙස පත්වූ පළමු ශ්‍රී ලාංකීය කාන්තාව වන ඇය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහ තාක්ෂණ හා පර්‌යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කළාය. ශ්‍රී ලංකාවේ විශේෂ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයේදී (ADR) 1988 දී කෙටුම්පත් කළ සමථ මණ්ඩල පනත කණ්ඩායමට නායකත්වය දුන් ඇය, පළමු ප්‍රජා සමථ මණ්ඩල පිහිටුවීම සඳහා මූලික වූ අතර, විශේෂ ආරවුල් කාණ්ඩ පනත 2003 දී සංකල්පනය කිරීමට දායක වූ කර්තෘවරිය ලෙස ද සඳහන්ය. 
ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානයේ සභාපතිනිය ලෙස ද ඇය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා නීති කොමිසමේ සාමාජිකාවක සහ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකාවක ඇතුළු තවත් අංශ ගණනාවකට සම්බන්ධ වී ජාත්‍යන්තර ADR මධ්‍යස්ථානය බිහිකිරීමේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ කාන්තාවකි. තමුන් නියැලී සිටින ක්ෂේත්‍රයේදී ජාත්‍යන්තරව දැනුම ලබා ඇති ඇය එය ප්‍රායෝගික කළ අපූරු කාන්තා චරිතයකි. මේ තාක් ජීවත් වූ කාලයට වඩා ජීවිතයට තම වෘත්තීය දැනුමෙන් මහා අරුතක් ලබා දුන් ධාරා විජයතිලක අද අපේ විශ්‍රාමික සුපිරි තරුව වන්නීය.
‘ධාරා’ විතර ද භාවිත කරන නම?
මගේ නම ධාරණී. පාසල් සමයේදී ගුරුවරු මට කතා කළේ ධාරණී කියලයි. හැබැයි එයින් පසුව හැමෝම වගේ මාව අමතන්න පටන් ගත්තෙ ‘ධාරා’ කියන නමින්. මගේ සම්පූර්ණ නම ධාරණී ශිරන්තා විජේසිංහ.


එතකොට විජේසිංහ විජයතිලක වුණේ?

විවාහයෙන් පසුව.


උපන්නේ?

කොළඹදී.


අධ්‍යාපන කටයුතු කළේ?

කොළඹ කාන්තා විද්‍යාලයෙන්.

 

මොන වගේ පවුලකින් පැවත එන කෙනෙක් ද?

තාත්තා ලෝයර් කෙනෙක්. අම්මා නම් රැකියාවක් කළේ නැහැ. ගෙදර වැඩ රැසක් අම්මා කළා. මගෙ අයියගෙ නම සුනිල් විජේසිංහ. එයා ඉංජිනේරුවරයෙක් සහ සභාපති ලෙස ආයතන කීපයක කටයුතු කළා. පවුලේ දෙවැනියා මම. මට පස්සෙ නංගි. එයා වරලත් ගණකාධිකාරිවරියක්. ඊළඟ මල්ලි, එයත් වරලත් ගණකාධිකාරිවරයෙක්. බාලම නංගි, ලෝයර් කෙනෙක්. එයා පදිංචිය ඕස්ට්‍රේලියාවෙ. මම හැදී වැඩුණේ, පාසල් ගියේ කොළඹ වුණාට මට බෙහෙවින්ම සමීප වුණේ තාත්තාගෙ ගම ගැටමාන්න. බෙලිඅත්තෙ ගැටමාන්නෙ තියෙන ඒ නිවස අපේ මුතුන් මිත්තන්ගේ සිට පවතින දේපළක්. ඒ නිවසට සහ ගමට මම හරි කැමැතියි. පාසල් නිවාඩුව බොහෝ විට ගත කළේ ගැටමාන්නෙ.


කොහොමද පාසල් ජීවිතයේ මතකයන්?

හරිම සුන්දර කාලයක්. තවමත් මගේ කිට්ටුම මිතුරන් වෙන්නේ, එදා පාසලේදී හමුවූ යෙහෙළියන්. එක්තරා කාලයක මම පාසල් නේවාසිකාගාරයේ නතර වෙලා හිටියෙ. ඒ කාලය හරිම ප්‍රසන්නව ගෙවූ සමයක්. අපේ අම්මට අසනීප වෙච්ච නිසා විවේකය අවශ්‍ය නිසා අම්මව ගැටමාන්නෙ මහ ගෙදරට එක්කගෙන ගියා. ඒ නිසා මට පාසල් නේවාසිකාගාරයේ නවතින්න සිදුවුණා. හැබැයි ඒ ගෙවී ගිය කාලය අදටත් මට සුන්දර මතකයක්. තාත්තා  ලෝයර් කෙනෙක් විදිහට රාජකාරිවල යෙදුණෙ තංගල්ල උසාවියෙ. තාත්තාගෙ නම එඩී විජේසිංහ.


පාසලේදී ඔබ දක්ෂ සිසුවියක් වෙන්න ඇති?

පොත පතේ වැඩවලට වඩා පාසලේ ජනප්‍රිය වුණේ, ක්‍රීඩිකාවක් විදිහටයි. රැජින බාලදක්ෂිකාවන් අතරට මාත් ඇතුළත් වුණා. රැජින බාලදක්ෂිකාවක ලෙස සම්මානත් ලැබුණා. පාසලේ ක්‍රීඩා නායිකාව, මලල ක්‍රීඩා නායිකාව, ටෙනිස්, ටේබල් ටෙනිස්, හොකී, නෙට්බෝල් වගේ ඔක්කෝම ක්‍රීඩා කළා.


ඒ ඔක්කෝම කරන්න කොහොම ද වෙලාව වෙන්කර ගත්තෙ?

සමහර ක්‍රීඩා දිනපතා කළ ඒවා නෙවෙයි. ඒ ඒ ස්වභාවය එක්ක කාලය තිබුණා. ඒ හැරත් ඒ කාලයේ අපි සෑම දෙයක්ම කළේ විනෝදයට වගෙයි. අපට සෑම ක්‍රීඩාවකටම පුහුණුකරුවන් හිටියෙත් නැහැ. සමහර ඒවාට හිටියා. ඒ වගේම ඉස්සර එච්චර තරගකාරිත්වයක් තිබුණෙත් නැහැ.


ඒ කියන්නෙ අමතර පන්ති එහෙම ගියෙත් නැහැ?

අපෝ නැහැ. ඒ දවස්වල ටියුෂන් කියලා දෙයක් තිබුණෙත් නැති තරම්.


මොන විෂයට ද වැඩි කැමැත්ත තිබුණෙ?

ගණිතයට.


අරමුණ වුණේ?

ගෘහ නිර්මාණ ශිල්පිනියක වීමට.


ඇයි ඒ අදහස වෙනස් කළේ?

 තාත්තාගෙ උපදෙස් නිසා ‘ලෝ’ කරන්න හිතුවා. ඒ වගේම ගණකාධිකරණය ගැනත් අදහසක් තිබුණා. ඒත් අන්තිමට තෝරා ගත්තෙ ‘ලෝ’ (Law). ලෝ උපාධියත් කළා. ඊට පස්සෙ Law කොලේජ් ගියා. දිවුරුම් දුන්න හැටියෙ අධිකරණ අමාත්‍යාංශයට බැඳුණා.

 


මුලින්ම දැරූ තනතුර?

1974 ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති සහකාර.


හොඳ වැටුපක් එහෙම ලැබෙන්න ඇති?

රුපියල් 960 ක වැටුපක් ලැබුණා. ඒක ඇත්තටම විශාල මුදලක් විදිහටයි දැනුණේ. ගෙදරින් සියලු දේ ලැබෙන නිසා අමතර වියදම් තිබුණෙත් නැහැ.


අධිකරණ ක්‍රියාවලිය රටක ක්‍රියාත්මක කළ යුත්තේ කොහොම කියල ද ඔබ හිතන්නෙ?

නීතිය පදනම් කරගෙන අධිකරණ ක්‍රියාවලියක් රටක පවත්වාගෙන යන්නෙ ‘අපක්ෂපාතී’ විනිශ්චයක් දීමේ අරමුණ වෙනුවෙන්. අධිකරණයට යන ඕනෑම කෙනෙකුට සාධාරණය ඉටුකර දීම වෙනුවෙන් තමයි අධිකරණ පද්ධතියක් ස්ථාපිත වෙලා තිබෙන්නෙ. හැමෝම උසාවි යන්නෙ සාධාරණය ඉෂ්ට කර ගන්නයි.


යම්කිසි විදිහකට එහෙම නොවුණොත්?

එහෙම නොවුණොත් ප්‍රතිපත්ති සම්පාදකයින්, (Policy Makers) ඇයි එහෙම වෙන්නෙ කියන කාරණය ගැන සලකා බලා, විමසා බලා, කටයුතු කිරීම කළ යුතු වෙනවා. සෑම තැනකම අපක්ෂපාතීත්වයෙන් තොරව එය සිදුවෙනවා නම්, ප්‍රතිපත්තිමය තීරණ ගන්න අයගෙ වගකීම වෙන්නෙ ඇයි එහෙම වෙන්නෙ? මොන වගේ අඩුපාඩු නිසා ද කියලා සොයා බලන එකයි. එහෙම නම් වෙනස් කළ යුත්තෙ මොන වගේ කාරණා ද යන්න සොයා බලා ප්‍රතිපත්ති සම්පාදනය කරන්න වෙනවා. අයුක්තිය වෙනවා නම්, ඒකට බලපාන ප්‍රශ්නය මොකක්ද කියලා මූලිකව බලන්න වෙනවා. ප්‍රතිපත්තිමය තීරණය ගන්න අයගෙ ප්‍රධාන වගකීම එයයි. ඒ රාජකාරිය තමයි අපි ඉටු කළේ. නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා.


විජේසිංහ – විජයතිලක වුණේ හරියටම කොයි අවුරුද්දේ ද? 

ඒක නම් මට කවදාවත් අමතක නොවන වසරක්. මම විවාහ වුණේ 1975 දී. අපි දෙන්නා දැන හඳුනාගත්තෙ නීති විද්‍යාලයේදී. සැමියාගෙ නම ලක්ෂ්මන් විජයතිලක. එයාගේ තාත්තා එස්.ආර්. විජයතිලක මහාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළා. නීතිපති ලෙස කටයුතුළ යුවන්ජන විජයතිලක සැමියාගෙ මල්ලී. මගේ තාත්තගෙ මල්ලී තමයි පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සෑම් විජේසිංහ.


ඔබ දෙපළගෙ දරුවන් ගැන දැනගන්න කැමැතියි?

දුව විද්‍යාඥවරියක්. එයා විවාහවෙලා පදිංචිය ඇමෙරිකාවේ. පුතා E Sports අංශයේ එයාගෙම ආයතනයක් පවත්වාගෙන යනවා. එයත් විවාහකයි.


මෙරට රාජ්‍ය සේවයේ කැබිනට් අමාත්‍යාංශයක ලේකම් තනතුරට පත්වීමෙත්, කාන්තාවක් හැටියට ‘ලේකම්’ තනතුර දැරූ ප්‍රථම කාන්තාව වීමට ඔබගෙ පවුල් පසුබිමත් බලපාන්න ඇති?

මම ‘පැරෂුට්’ එකකින් ඇවිත් එකපාරටම ඒ තනතුරට පත්වෙච්ච කෙනෙක් නෙවෙයි. පටන් ගත්තෙ සහකාර ලේකම් ලෙස. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ අතිරේක ලේකම්, අදියරෙන් අදියර නියමිත ක්‍රියාපටිපාටියට සහ සුදුසුකම් අනුව තමයි ඒ තනතුරට පත්වුණේ. කරන දේ ඉතාම හොඳ කැපවීමකින් කළේ. රාජකාරිය උපරිමය දෙන්න මට අවශ්‍ය වුණා. සියලු දේ ප්‍රමිතියකට කිරීම සහ කළ යුතු දේ අනෙක් අයට බෝලෙ පාස් කර කර හිටියෙ නැහැ. ඒ ආකල්පය රාජ්‍ය නිලධාරීන්ට තිබිය යුතුය කියලා මම විශ්වාස කරනවා.


මහජන සේවයෙන් විශ්‍රාම ගිහින් කාලය නිකරුණේ ගෙවා දැම්මේ නැහැ නේද?

විශ්වාස කරන්න, අදටත් මම ෆුල්ටයිම් විශ්‍රාමික ජීවිතයක් නෙවෙයි ගෙවන්නෙ. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියාට, මගේ සේවය විශ්‍රාම ගියේ නැහැ. විශ්‍රාම යාමත් එක්කම වගේ ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම්වරිය ලෙස කටයුතු කරන්න ඇරයුම් ලැබුණා. පෞද්ගලික අංශයේ ඒ තනතුරට පත්වෙච්ච පළමු කාන්තාව මම.


එතකොට කාලයක් ඔබ ඇමරිකාවේ හිටියා නේද?

උසස් අධ්‍යාපනය ලැබූ කාලයේදි ශිෂ්‍යත්වයක් (AFS) ලැබිලා ඇමෙරිකාවේ උසස් පාසලක වසරක අධ්‍යාපන කටයුතු කරන්න ලැබුණා.


අද ඔබ මොනවද කරන්නෙ? ඔබ කිව්වනෙ පූර්ණව විශ්‍රාමිකව කටයුතු කරන්න ලැබුණෙ නැහැ කියලා?

මේ වන විට මම ස්වෙච්ඡාවෙන් මගේ සේවය ලබා දෙනවා. කාලයක් මම හානිපූර්ණ කාර්යාලයේ සභාපති ලෙසත් කටයුතු කළා. වින්දිතයින්ට සහන සලසන ක්‍රමවේදයක් වෙනුවෙන් අලුතින්ම ස්ථාපිත කළ කාර්යාලයක්. 2018 සිට මම කටයුතු කරන්නෙ. 
'Pro Bono'  විදිහට. ඒ කියන්නෙන කිසිදු මුදලක් අය නොකර නීතිමය සේවාවන් සැපයීමයි. අඩු ආදායම්ලාභීන් සහ පොදු යහපත උදෙසා නීතිඥවරු විසින් සිදුකරනු ලබන සමාජ සත්කාරක සේවයක් ලෙස 'Pro Bono' යන්නෙන් අදහස් වෙනවා. උසාවියට නොගොස් උසාවියෙන් පිටත සිට ආරවුල් විසඳීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරනවා.


එච්චරටම නඩු අධිකරණ පද්ධතියේ තියෙනව ද? ඒ කියන්නෙ උසාවියෙන් පිට සමථ මණ්ඩල වැනි අංශ වලින් විසඳන තරමට?

Pending හැටියට නඩු මිලියනයකට වඩා හරියටම කිව්වොත් 1.1 මිලියන ගොඩගැහිලා තියෙනවා. ඒ විදිහට නඩු කල් යෑම ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.


ඇයි ඒ විදිහට නඩු කල්යන්නෙ? කල් දැමෙන්නෙ?

නඩු කල්යෑමට හේතු කීපයක් තියෙනවා. ඒ ඔක්කෝම කරුණු සාකච්ඡා කරන්න ගියොත් ඒක ටිකක් සංකීර්ණ වේවි.’ ඒ ගැන අපට වෙනම කතා කරන්න වෙනවා. සරලව අපි බැලූ බැල්මට අදහසක් ප්‍රකාශ කළොත්, අපේ සංස්කෘතියේ අපේ ස්වභාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක සමහර විට අපට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවලට බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා දැන් ඒ වෙනුවෙන් විසඳුම් සොයමින් සිටිනවා. ඒ කාර්යය පැවරිලා තියෙන්නෙ 'Policy makers' ලට. ඒ කියන්නෙ නීති අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට. 
අධිකරණ අමාත්‍යාංශයට, ප්‍රතිපත්තිමය තීරණ ගන්න අයට සහ නීති ක්ෂේත්‍රයේ විශාරදයන් බොහොමයකට තිබෙන අභියෝගය වන්නේ ඒ වෙනුවෙන් විසඳුම් සෙවීමයි. සෑම ආරවුලක්ම විසඳීමේ ක්‍රමවේදය උසාවි යාම විතර ද? යන්න දැන් ලෝකයේ නීති අංශයේ විසඳුම් සොයන ප්‍රශ්නය වෙනුවෙන් බොහෝ විවාද සිදුකෙරිලා තියෙනවා. උසාවි යාම වෙනුවට සමහර නඩු විසඳීමේ උසාවියෙන් පිට ක්‍රම ගැන අවධානය යොමු වෙනවා. 
ඒත් උසාවියෙන් පිටස්තරව තියෙන ඒ උසාවියක් වගේ අංශ වලදීත් පදනම් කරගෙන තියෙන්නෙ නෛතික අයිතිවාසිකම් වෙනුවෙන්. සමථකරණය කියන්නෙ ඊට හාත්පස වෙනස් ක්‍රියාවලියක්. අපි දැන් කරගෙන යන්නෙ ඒ ක්‍රියාවලියයි.


ලංකාවේ මිලියනයකට වඩා, ඔබ සඳහන් කළ පරිදි ලක්ෂ 11 ක පමණ නඩු ගොඩගැහිලා තියෙනව නම්? ඇයි පොඩි පොඩි නඩු කඩිනමින් විසඳන්න බැරි? තීන්දුවක් දෙන්න බැරි?

නඩුවක් කල් දාන්නෙ ඇයි කියලා ඇහුවොත්? ඒක තමයි මම කිව්වෙ අපේ සංස්කෘතියේ තියෙන දුර්වලතා කියලා. ඒක එක කාරණයක් විතරයි. ඒත් දැන් ලොකු වෑයමක් අරගෙන තියෙනවා, දිනෙන් දින නඩු අරගෙන විභාග කරලා විසඳුම් දෙන්න කියලා. ඒත් ඒක කියන තරමට ප්‍රායෝගික නැහැ. අපේ රාජකාරි කාලයේදී නීති ප්‍රතිසංස්කරණ කටයුතු සැකසීමේදී අපි ඒ ගැන වැඩි අවධානයක් යොමුකර, විකල්පයක් මගින් විසඳුම් සොයන්න සම්මත කරගත්තා.


මොන විදිහකින් හෝ නඩු විසඳීම ප්‍රමාද වුණාම සමාජයේ ඇතිවෙන්නෙ විශ්වාසනීයත්වයක්  නෙවෙයි නේද?

නඩු ප්‍රමාද වීමෙන් එහෙම වෙන්න පුළුවන්. සමාජයට බලපාන්නෙ සමාගම් නඩු වැනි දේ කඩිනමින් විසඳුනේ නැති වුණාමයි. ඒක ආර්ථිකයට බලපානවනෙ. ආයෝජකයින් මේ රටට එන්නෙ, නීති ක්‍රියාවලියේ ප්‍රශ්න නැති විටනෙ. ඒක ඇත්තටම සංකිර්ණ ප්‍රශ්නයක්. මෙහේ නිදහස් පරිසරයක් සහ කාර්යක්ෂමව නීති ක්‍රියාවලිය සිදුවෙන විට ආයෝජකයින් බහුලව පැමිණේවි. ඒ වගේ දේ නිසා තමයි මේ දිනවල අපි සමථකරණ ක්‍රියාවලිය පණගන්වන්න කටයුතු සකස් කරමින් සිටින්නෙ. ලංකාවට වාණිජ හා සිවිල් ආරවුල් විසඳීම වෙනුවෙන් සමථකරණය අත්‍යවශ්‍යයි. එම ක්‍රමවේදය වෙතින් ප්‍රතිලාභ තියෙනවා. එහිදී ආරවුල්කරුවනට තමයි ප්‍රමුඛත්වය දෙන්නෙ. එයාලගෙ අවශ්‍යතා හඳුනාගෙන, ඒවා සපුරාලන්න එකඟතාවකට යා හැකි නම්, එය අපේ අවසාන අභිප්‍රායයි.


‘ලංකාවේ’ නීති පද්ධතිය ක්‍රියාත්මක වෙද්දි සමහර ප්‍රශ්න ඇතිවුණාම බාහිර සමාජයේ අය තීන්දු තීරණ දෙන්න පටන් ගන්නවා. එයාලගෙ මත සෝෂල් මීඩියාවල ප්‍රචාරය කරන්නෙ ඇයි?

යුක්තිය පසඳලීමට ඇති සාකච්ඡාවට එහා ගිය ඊට පටහැනි සාකච්ඡාවක් ගැන තමයි ඔබ ඔය කියන්නෙ. සෝෂල් මීඩියා තිබුණත් නැතත්, ඉස්සර ඉඳලම ඒ වගේ දේ තිබුණනෙ. ළිඳ ළඟ කට්ටිය එකතු වුණාම ඕපා දූප කතා කළා. ක්‍රම ක්‍රමයෙන් මාධ්‍ය තාක්ෂණය දියුණු වෙද්දි දැන් වෙන විදිහක. කවුරුහරි කියන දෙයක් සමහරු ඇත්ත විදිහට පිළිගන්නවා. ඒක තම තමුන්ගෙ දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. යාළුවෝ මට මොනවා හරි ඕපාදූපයක් හෝ දෙයක් ගැන කිව්වොත්, අයියෝ මට සාක්ෂි කිසිවක් නැතුව ඒක බාර ගන්න බැහැ කියලා එතකොට මම එයාලට උත්තර දෙනවා. ඒ නිසා අද සෝෂල් මීඩියා නිසා වෙන දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ අපේ සමාජයේ හැසිරීම පදනම් කරගෙන සිදුවන ස්වභාවයක්. කවුරුහරි මොනවා හරි කිව්වොත්? ඒක තමයි සත්‍යය කියලා පිළිගන්න තැනට අද ලෝකය තල්ලු වෙලා. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. නීතිය කියන්නෙ ඊට වඩා සාධාරණ සහ නීතිය අනුව සත්‍යගරුකව සිදුවන දෙයක්. අධිකරණ පද්ධතිය, නීතිය වඩා ගෞරවණීය වෙන්නෙ ඒ නිසයි.


මේ පවතින ‘නීති’ අදට  ගැලපෙනව කියලා ඔබ විශ්වාස කරනවද?

ගැළපෙන්න ඕනෑ. ගැළපිය යුතුයි. ඉන් එහා වෙන ක්‍රමවේදයක් අපට නැහැ. සාමකාමී ජීවිත ගත කරන්න නම් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ අත්‍යවශ්‍යයි. එහෙම නොවුණොත් මානව සමාජය පවතින්නෙ නැහැනෙ. එක් එක්කෙනා තමුනට හිතෙන හිතෙන දේ කරාවි. මානව ප්‍රජාව අද ඉතා දියුණුයිනෙ. නීතියට අප කොයි කවුරුත් ගරු කළ යුතුමයි. ඉන් එහා වෙනත් විකල්ප මානව සමාජයට නැහැ. ‘නීතිය’ තමයි බලගතුම දේ. සමාජයේ සෑම දෙනෙක්ම නීතියට අවනත විය යුතුයි. 
ඒ නිසා අපි හැමෝම නීතිගරුක අය විය යුතුයි. එය ගෙදර සිටම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මග තොටේ යද්දී මිනිස්සු රථවාහන පදවද්දි පවා වැරදි කරන්නෙ, ඊට ඉඩක් තිබෙන නිසයි. දඬුවමක් නොලැබෙන නිසා, ඒ හිඩැස්වලින් රිංගා යන්න බලනවා. වැරැද්දක් කෙරුවාම එය වැරැද්දක් ලෙස අනිවාර්‌යයෙන්ම පිළිගැනීම සිදු කරන්නේ නැත්නම්? ඒ වැරැදිද දිගටම කරන්න වැරදි කරන මිනිස්සු පෙලඹෙනවා. වැරැද්ද අනුව දඬුවම පැනවීම අවශ්‍යයි. ඒ වගේම නීතිගරුක බව රැකීම වඩා වැදගත්. අනෙක් අයගේ අයිතිවාසිකම් රැකෙන විදිහට හැසිරීමට කවුරුත් වගබලා ගත යුතුයි.


ඔබගේ විශාරද නීති දැනුමෙන් සහ පළපුරුද්දෙන් කාන්තා පරපුරට ගත හැකි හොඳම දේ මොකක් ද?

මවකට  විතරක් නෙවෙයි, මව්පිය දෙදෙනාටම තියෙන ලොකුම වගකීම වෙන්නෙ මොන රැකියාවක නිතර වුණත්, ඒ කටයුතු සමබරව කරන අතරේ දරුවන් කෙරෙහි වැඩිපුර අවධානය යොමුකර කටයුතු කිරීමයි. මොන විදිහෙ හෝ ලොකු රස්සාවක් කළත්, දවසේ දරුවන් එක්ක සිටින්න කාලය වෙන්කර ගත යුතුමයි. වෘත්තියේ යුතුකම් වගේම මවකගේ යුතුකම් ද වටහාගෙන ප්‍රායෝගිකවීම වැදගත්. ඒක අත්‍යාවශ්‍යයි. මේ කාලයේ කවුරු මොනවා කිව්වත්, එය මව්පිය දෙදෙනා සතු ලොකු වගකීමක්.


දුව පදිංචිය ඇමෙරිකාවනෙ. ඇයි ඔබ දෙපළ එහේ යන්නෙ නැද්ද?

අපි දෙන්නා දරුවන් දෙදෙනාගෙන් දුරස්ථ නැහැ. අපි දුව බලන්න යනවා. එක්කෝ එයා එනවා. අපි හරි කිට්ටුයි. කොච්චර දුරක හිටියත්, දරු දෙදෙනා ගැන තමයි හිත තියෙන්නෙ. කොහොමටත් මගේ ජීවිතයේ අංක එක වුණේ ‘පවුල’ කියන සංකල්පය. අපි සමාජය හදන්න කලින් ඒ හැදියාව ගෙදරින් ඇති කරගන්න පුළුවන් නම් එය වඩා හොඳයි.


සඳුන් ගමගේ


ඔබත් රාජ්‍ය සේවයේ යෙදී සිටි මෙවැනි අවංක අත්දැකීම් ඇති නිලධාරී මට්ටමේ, පරිපාලන අංශයේ චරිතයක් නම්? මෙවැනි අත්දැකීම් ඔබට ඇත්නම් ඉරිදා ලංකාදීප අපට කතා කරන්න. එවැනි විශ්‍රාමික සුපිරි තරු ගැන විස්තර දන්වන්න. 
0112 479 261
[email protected]
අපගේ ඊමේල් ලිපිනයයි.