IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නැටුමෙන් රටක් නැළවූ අපේ රැජිනි මිස්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ප්‍රවීණ නර්තනාචාරිනියක වූ අභාවප්‍රාප්ත රැජිනි සෙල්වනායගම් මහත්මියගේ අවසන් කටයුතු අද (25) පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අපිට විතරක් නෙවෙයි රටටම රැජිනක් වූ අපේ රැජිනි අක්කා අන්ත්‍රා වුණා යැයි අජන්ත සෙනවිරත්න සිකුරාදා මහ රෑ දුරකථනයෙන් කතා කර මා සමඟ කිව්වේ කඳුළු අතරිනි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ප්‍රවීණ සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න මහතා ප්‍රවීණ නැටුම් ආචාරිනී රැජිනි සෙල්වනායගම් මහත්මියගේ එකම සහෝදරයාය.

රැජිනි සෙල්වනායගම් මහත්මිය හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලට ප්‍රථම පත්වීම ලබා නැටුම් ගුරුවරියක ලෙස පැමිණියේ 1976 වසරේදීය.

1976 වසරේ සිට 1981 වසර දක්වා සෙල්වනායගම් මිස් සේනානායක විදුහලේ නැටුම් ආචාර්යවරිය ලෙස සේවය කළාය. රැජිනි සෙල්වනායගම් අපේ මිස්ට පාදාන්තය දක්වා ගෑවෙන තරමට ලස්සන දිගු වරලසක් තිබුණා මට තවමත් මතකය.

සෙල්වනායගම් මිස් හිමිදිරි උදෑසන ගුරු නිවසේ සිට මාර්ගය හරහා ලැසි ගමනින් විදුහලට පැමිණෙන්නේ ඒ වරලස පුරා පිච්ච මල්වලින් සරසාගෙනය. සිසු සිසුවියන් කාටත් ඇය හද පත්ලෙන්ම කට පුරා කතා කළේ දුවේ පුතේ යැයි කියමින් ලොකු ළෙන්ගතුකමකිනි.

වේවැල අතින් ගෙන සැරවැර වෙමින් රැජිනි සෙල්වනායගම් මිස් කවදාවත් නර්තන කලාව උගන්වන්න ගියේ නැති බව ඇයගෙන් නර්තන කලාව හැදෑරූ සේනානායකයේ ආදී සිසු සිසුවියන් අදටත් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.

සෙල්වනායගම් මිස් සිසු සිසුවියන්ට නැටුම් උගන්වන දෙස නැටුම් කාමරේ දැල්වල එල්ලී ගෙන දෑස් අයා බලා සිටීමට සිසු සිසුවියෝ බොහෝ දෙනෙක් පුරුදු වී සිටි අයුරු මට තවමත් හොඳ හැටි මතකය. ඒ අන් කිසිවක් නොව රැජිනි මිස්ගෙ නර්තනයන් බැලීමට තිබෙන නොතිත් ආසාව නිසාය. රැජිනි මිස්ගෙ නර්තන නැරඹීමට දැල් ගසා ඇති නැටුම් කාමරයේ එල්ලී සිටියදී සමහර ගුරුවර ගුරුවරියන්ගේ වේවැල් පහරට ලක්වූ අවස්ථා ආදි සිසු සිසුවියෝ අද ද සිහිපත් කරති.

වසර පහක කාලය තුළ රැජිනි මිස් සේනානායකයේ සිසු දරු දැරියන්ට නර්තන කලාව උගන්වමින් අනූපමේය මෙහෙයක් ඉටු කළාය. සිසු දරු දැරියන්ගේ නර්තන හැකියාවන් එළිදැක්වීමට අපූරු වේදිකාවක් සෙල්වනායගම් මිස් තනා දුන්නාය. ඒ 1978 වසරේ මධුරංගිකා නමින් විවිධ ප්‍රසංගයක් සංවිධානය කරමිනි. ඒ වෙනුවෙන් රැජිනි සෙල්වනායගම් මිස් අපමණ කැපකිරීම් කළාය. එයින් උපයාගත් මුදල් වැය කරනු ලැබුවේ එතෙක් විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවැති තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය සංගීත භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙනි. මධුරංගිකා විවිධ ප්‍රසංගයේදී රැජිනි මිස් නර්තනයක් ඉදිරිපත් කළේ ප්‍රධාන ශාලාවේ අතුරු සිදුරු නොමැතිව සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ප්‍රසංගය විදුහල් මෑණියන්ගේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇත. අදටත් ඒ ප්‍රසංගය ගැන කතාබහ කරන්නේ ඒ නිසාය.

රැජිනි සෙල්වනායගම් මිස් එදා මධුරංගිකා ප්‍රසංගයේදී ඉදිරිපත් කළ නර්තනයක හරිම කලාත්මක ඡායාරූපයක් මේ මෑතක් වනතුරුම මාදම්පේ නගරයේ ඡායාරූප ශාලාවක ප්‍රදර්ශනය කර තිබිණි.

මාදම්පේ සේනානායක ජාතික පාසලේ වසර 5ක සේවා කාලයක් සැපිරූ සෙල්වනායගම් මිස් ස්ථාන මාරුවීම් ලබා ඊළඟට ගියේ කොළඹ දෙමටගොඩ වේළුවනාරාම විද්‍යාලයටය. එම වේළුවන විද්‍යාලයේ සේවය කරමින් සිටි අතරවාරයේ සෙල්වනායගම් මිස් ගුරු සේවයට සමු දුන්නාය.

මාදම්පේ සේනානායක විද්‍යාලයේ උගන්වන කාලයේ සෙල්වනායගම් මිස්ගෙන් නර්තන කලාව හැදෑරූ සිසු සිසුවියෝ බොහෝ දෙනෙක් මිස් සමඟ දිගටම ගුරු සම්බන්ධකම් පවත්වනු ලැබූහ.

දුවේ! පුතේ! ඔයගොල්ලන්ගේ මුහුණ දකින්න හරිම ආසාවක් තිබෙනවා යැයි මාදම්පේ සේනානායක විද්‍යාලයේ සිටියදී නර්තන කලාව හැදෑරූ සිය ගෝල බාලයන්ට ඇය මුහුණ පොත හරහා පවසා තිබුණාය.

ආදි සිසු සිසුවියන් පිරිසක් සෙල්වනායගම් මිස් බැහැදැක සුවදුක් බැලීමට යාමට සූදානම් වී සිටි දිනයේම දැඩි ලෙස රෝගාතුර වී ඇතුළත් කරනු ලැබුවේ මහරගම අපේක්ෂා රෝහලටය. ඒ නිසා ගුරු මෑණියන් දැකබලා ගැනීමට යෑමට තිබූ අවස්ථාව අවසන් මොහොතේ ගිලිහී ගියේය.

 දැඩි ලෙස රෝගාතුර වීමට සතියකට දෙකකට පමණ කාලයකට පෙර රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන් ඇය මුලින්ම පත්වීම් ලබා පැමිණි මාදම්පේ සේනානායක විද්‍යාලයට රුපියල් ලක්ෂ ගණනක් වටිනා නර්තන ඇඳුම් කට්ටල පිරිනමනු ලැබීය.

රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන් රෝගාතුරව සිටි නිසා එම නර්තන ඇඳුම් කට්ටල රැගෙන ආවේ ඇයගේ සහෝදරියක වන සුදර්ශනීය. සුදර්ශනී ද මාදම්පේ සේනානායක ජාතික පාසලේ ආදි සිසුවියක වූවාය. රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන්ගේ එකම සහෝදරයා වන අජන්ත සෙනෙවිරත්න ද සේනානායක විදුහලේ ආදි සිසුවෙකි.

මාදම්පේ සේනානායක ජාතික පාසලේ ගොඩනැගිල්ලක් රැජිනි සෙල්වනායගම් අනුස්මරණ ශාලාව ලෙස නම් කර ගුරු මෑණියන්ට උපහාර දැක්වීමට කටයුතු කරන බව වත්මන් විදුහල්පති මොරිස් අත්තනායක මහතා පවසයි.

නර්තන කලාව වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් රැජිනි සෙල්වනායගම් ගුරු මෑණියන් කලාකීර්ති සහ විශ්වකීර්ති යන ගෞරව නාමවලින් පිදුම් ලබා ඇත.

හෙළයේ නර්තන රැජිනිය ලෙස විරුදාවලිය ලැබ සිටි අපේ ගුරු මෑණියනි ඔබතුමියට සුබ ගමන්.

 



අදහස් (4)

නැටුමෙන් රටක් නැළවූ අපේ රැජිනි මිස්

Senarath Wednesday, 25 October 2023 01:54 PM

එතුමියට නිවන් සුව ලැබේවා...!

:       0       9

පැරකුම් Wednesday, 25 October 2023 03:29 PM

ඇයගේ සැමියා ගැන නොකියන්නේ මන්ද?

:       5       7

visnu Thursday, 26 October 2023 12:18 PM

මම හිතන්නේ ඇගේ සැමියා පොලිස් නිලධාරියෙක් සහ CID එකේ වැඩකළේ...!

:       3       0

kasun Sunday, 29 October 2023 06:03 PM

මෙච්චර වටින මනුස්සයෙක් රට වෙනුවෙන් කරපු දේවල් කියලා තියෙද්දී මගුල් අහන අය ඉන්නේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site