IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දේශපාලකයන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රශ්නය

වත්කම්, බැරකම් ප්‍රකාශ අපේ රටේ දේශපාලනය සමඟ දැඩිව බැඳී තිබෙන විෂයයකි. නීතියට සහ සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කළ යුතු වෙයි. විශේෂයෙන් ම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන සියලු ම ඡන්ද අපේක්ෂකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අවශ්‍ය ය. තත්ත්වය එසේ වුව ද මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම ක්‍රියාත්මක වන්නේ වක්කඩේ හකුරු හැංගුවාක් වැනි ආකාරයකට ය. අන්තිමට ගත යුත්තක් නැත.

මැති ඇමැතිවරුන් ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශවල අතට හසුවන දෙයක් නැති වුව ද එසේ සිදුවෙන්නේ මේ මැති ඇමැතිවරුන්ට ප්‍රකාශ කිරීමට තරම් වත්කම් හෝ බැරකම් නැති නිසා යැයි වරදවා වටහාගත යුතු නැත. මේ අය අතුරින් වැඩි පිරිස වැටෙන්නේ ඇති හැකි අයගේ ගණයට මිස නැති බැරි අයගේ ගණයට නොවේ.

ඔවුන් වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් නොකරන්නේ ඔවුන් සතු වත්කම් නැති නිසා නොව ඒවා හෙළිදරව් කිරීමෙන් තමන්ට අමාරුවේ වැටීමට සිදුවන බව දන්නා හෙයිනි. මේ හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හැමවිට ම පවතින්නේ සැඟවුණු මාතෘකාවක් වශයෙනි.

කොළඹ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැදගත් කරුණක් හෙළිකර තිබිණි. සිය වත්කම් බැරකම් ප්‍රකාශ කිසිදු චකිතයකින් තොරව ප්‍රසිද්ධියට පත්කරන මන්ත්‍රීවරයකු වශයෙන් නමක් දිනාගෙන සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පෙන්වා දී තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීරුන් 225 දෙනාගෙන් දොළොස් දෙනකු පමණක් බව ය.

මූල්‍ය අරමුදල ලබා දී තිබෙන නිර්දේශ 16න් දෙවැන්න ලෙස දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙවත් ජනාධිපතිවරයා, අගමැති, ඇමැතිවරුන් මෙන් ම පාර්ලිමේන්තුවේ සියලු දෙනා ජනතාවට බලා ගත හැකි වන අයුරින් වත්කම් ප්‍රසිද්ධ කළ යුතු ව ඇති බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දී තිබිණි. එම වත්කම් ප්‍රකාශන තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි 24 වන විට ප්‍රසිද්ධ කළ යුතු බව ද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර තිබෙන මැති ඇමැතින් කවුදැයි තව ම හෙළි වී නැත. එහෙත්  එසේ හෙළි කළ සියලු දෙනා සැබෑ මහජන සේවකයන් වශයෙන් අපි අගයමු. තමන් කවුදැයි තමන්ගේ ඡන්ද දායකයාට හරිහැටි හඳුන්වා නොදෙන මහජන නියෝජිතයන් බොහෝ දෙනකු වැටෙන්නේ කට්ට කයිරාටික ගණයට බව ද ප්‍රකාශ කිරීමට ද අපි මැලි නොවෙමු. හෙළි කිරීමට නොහැකි තරමට වත්කම් සහ බැරකම්  හිමි බොහොමයක් මැති ඇමැතින් දේශපාලනයේ අතපොත් තබන විට සිට ඇත්තේ කෙසේ දැයි සොයා බැලුවහොත් ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි යන්නට පිළිතුරක් ලැබෙනු ඇත.

මුළු රට ම දුප්පත් වී බංකොළොත් වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් සහ ඔවුන්ගේ සමීප ඥාතීන් ද ගජ මිතුරන් ද අසීමිත ලෙස පොහොසත් ව සිටීමේ මන්ත්‍රය ඇත්තේ මේ රටේ ක්‍රියාත්මක ව පවතින ගඳ ගසන දූෂණයෙන් සහ වංචාවෙන් පිරී ඉතිරී ගිය දේශපාලනය තුළ ය. මේ හේතුවෙන් තමන්ගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීම ජනතාව ඉදිරියේ රෙදි ගලවා ගැනීමක් බව ඔවුහු දැන සිටිති.

මූල්‍ය අරමුදල මෑතක දී නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවේ ඔවුන් සඳහන් කර ඇත්තේ දූෂණයට එරෙහිවීමට ශ්‍රී ලංකාව වසර 50කට ආසන්න කාලයක සිට උත්සාහ කළත් ශ්‍රී ලංකාවේ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව ය. ලංකාවේ දූෂණය ඉහ වහා ගොස් තිබෙන බව ද එම වාර්තාවේ සඳහන් වී තිබේ.

එම දූෂණ ක්‍රියාවලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දීමට නම් 1975 වසරේ සිට ක්‍රියාත්මක ව පවතින වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන් අනුගත වීම අවශ්‍ය ය. එයින් මග හැර යාම තමන්ගේ වරද තමන් ම පිළිගැනීමක් වනු ඇත.

(***)



අදහස් (0)

දේශපාලකයන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රශ්නය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site