IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගුරු ගෞරවය වනසන ඇමීබාවන් පිටුදකිමු

බාල වයස්කාර දරුවකු අපයෝජනය කළ චෝදනාවලට වරදකරු වූ හිටපු විදුහල්පතිවරයකුට බරපතළ වැඩ සහිත අවුරුදු 7ක සිරදඬුවමක් නියම වූ පුවතක් පසුගියදා වාර්තා විය. මන්නාරම මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මේ දඬුවම දී තිබුණේ, මන්නාරම පාසලක හිටපු විදුහල්පතිවරයකුටය. ඔහු 2014 වසරේ එම පාසලේ සේවය කරමින් සිටියදී මේ අපරාධය සිදු කළ බවට චෝදනා ලබා සිටි අතර, එම චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට විනිසුරුවරයා තීරණය කර තිබිණි.

පාසල් ඇතුළේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අතින් අපයෝජනයට ලක්වෙන සිසු සිසුවියන් පිළිබඳ වරින් වර වාර්තා වෙමින් තිබීම කාගේත් සිත් කම්පාවට හේතු වන තත්ත්වයකි. පාසල් තුළදී දරුවකුට තිබිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු මවුපියකුට සැකයක් තිබිය යුතු නැත. උදෑසන තම දරුවන් පාසලට ඇරලවන මවුපියන් ඊළඟට බලාපොරොත්තු වන්නේ, එම දරුවන් නිසි පරිදි අධ්‍යාපන කටයුතු අවසන් කර නිරුපද්‍රිතව ආපසු නිවෙසට පැමිණෙනු දැකීමටය. පාසලට යන දරුවා සූදානම්ව සිටින්නේ තම ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට මිස ඔවුන්ගේ අපයෝජනයට ලක්වීමට නොවේ. එසේ දරුවන් අපයෝජනය කිරීම මුළුමනින්ම පිටුදැකිය යුතු උපුටා දැමිය යුතු පිළිලයකි. එම වැරැද්දට ලබාදිය යුත්තේ ඉහළම දඬුවමය.

මේ අතර, කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලකින් ද මෙවැනි ළමා අපයෝජන පැමිණිල්ලක් ලැබී ඇති බව ද වාර්තා විය. එම පාසලේ පහ වසර ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් 11 දෙනකු පමණ එම දැරියන්ට ඉංග්‍රීසි විෂයය ඉගැන්වූ ගුරුවරයාගේ අතවරයට වරින් වර ලක්වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිලි ලැබී තිබේ. 55 හැවිරිදි දෙදරු පියකු වන සැකකාර ගුරුවරයා සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බව දැනගත් වහාම ප්‍රදේශයෙන් පැනගොස් සිටි අතර, පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය.

මේ සිද්ධියේදී අදාළ විදුහලේ විදුහල්පතිවරයාගේද වැරැද්දක් වාර්තා වී ඇතැයි චෝදනා කෙරේ. අතවරයට ලක්ව සිටින සිසු දැරියන්ගේ මවුපියන් මේ අපරාධය පිළිබඳව විදුහල්පතිවරයාට පැමිණිලි කර තිබුණ ද, ඒ පැමිණිලි ඔහු නොසලකා හැර කටයුතු කර ඇති බවට මවුපියෝ චෝදනා කරති. එයින් කෝපයට පත් මවුපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර, රාජකාරියට බාධා කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ මවුපියන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කර තිබිණි.

තම දරුවන්ට අතවරයක් සිදුව තිබෙන අවස්ථාවක මවුපියන්ට ඉවසුම් නැතිව යාම පුදුමයක් නොවේ. එහෙත්, කුමන අවස්ථාවකදී වුව ද නීතිය අතට ගැනීම අනුමත කළ නොහැක. වැරැදිකරු සොයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පොලීසියේ හා අධිකරණයේ රාජකාරියයි. මවුපියන් කළ යුත්තේ, පොලීසියට තමන්ගේ සහාය ලබාදීම මිස ඔවුන්ගේ රාජකාරිය තම අතට ගැනීම නොවන බව ද පෙන්වා දිය යුතුය.

මෙවැනි සිදුවීම් පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරිණි. එසේ අතවරයකට ලක්වන දරුවෝ මානසිකව කඩා වැටීමකට ලක්වීමේත්, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීමේත් අවදානමට මුහුණ දෙති. ඒ තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට මවුපියන්ගේ අවධානය යොමු වීම අවශ්‍යය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

පාසල් තුළදී දරුවන් අපයෝජනය කරන පාපකාරී අධම ගුරුවරුන්ටත්, විදුහල්පතින්ටත් නීතියෙන් ඉහළම දඬුවම් ලබාදීම අවශ්‍යය. එසේ දඬුවම් ලබාදීම මේ වැරැද්ද යළිත් සිදු වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමට හේතු වනු ඇත. එවැනි අසික්කිත ගුරුවරුන් ආරක්ෂා කිරීමට ආධාර සහ අනුබල දෙන විදුහල්පතිවරුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රයට අරක්ගත් එවැනි අපරාධකාරී ගුරුවරුන් සහ විදුහල්පතින් කිහිප දෙනකු හේතුවෙන් සමස්ත ගුරු පරපුරේ කීර්තිය සහ අභිමානය සේදී යාමට ඉඩ දිය යුතු නැත.

(***)



අදහස් (0)

ගුරු ගෞරවය වනසන ඇමීබාවන් පිටුදකිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site