IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඇමෙරිකාවේ ටැක්සි එලවන ඇෆ්ගනිස්ථාන හිටපු ඇමැති

ලංකාවේ හිටපු ඇමැතිවරයකු බලයෙන් ගිලිහී ගියත් උන්හිටි තැන් අහිමි වී වෙනත් රටකට ගොස් රියැදුරු රැකියාවක නිරත වී කලදවස ගෙවාගන්නා බවක් අප කවදාවත් අසා නැත. අඩු තරමින් පිටරටක රැකියාවකට යාම කෙසේ වෙතත් රට ඇතුළේවත් ආදායමක් නැතිව දුකසේ ජීවත් වීමට සිදු වූ බවක් අපේ ඉතිහාසයේවත් සඳහන් නොවේ. මේ නිසා ඇෆ්ගනිස්ථානයේ හිටපු මුදල් ඇමැතිවරයා වන ඛාලිඩ් පයේන්දාගේ කතාව අපට අදහා ගැනීමත් අපහසු වීම ගැන පුදුම විය යුතු නැත.

තම මවුබිමේ ඇමැති තනතුරින් තවත් රටක රියැදුරු රැකියාවකට වැටුණු පයෙන්දාගේ කතාව මේ වනවිට සමාජ මාධ්‍යයේ ප්‍රබල ආකර්ෂණයක් දිනා සිටී. ඔහු පවසන කතාව අනුව ඇෆ්ගනිස්ථානයේ දී හරි හම්බ කළ ඉතිරි කළ සේසතම මේ වනවිට අහෝසි වී තිබේ.

ඔහු හම්බ කළේ වැටුප පමණක් ද යන්න අපි නොදනිමු. එහෙත් මේ වනවිට අමෙරිකාවට පැනගොස් සිටින පයේන්දා තම දරුපවුල නඩත්තු කිරීමේ බරපතළ ගැටලු‍වට මුහුණ දී සිටි. 


ඇෆ්ගනිස්ථානය අමෙරිකානු හස්තය යටතේ ආණ්ඩු කරන කාලයේ එම රජයේ ඇමැතිවරුන්ට ආදායමේ ප්‍රශ්නයක් නොතිබිණි.

ඔවුන්ට තිබුණේ ජීවිතාරක්ෂාව පිළිබඳ ගැටලු‍ව පමණි. ඒ සඳහා ඇමෙරිකානු හමුදාවල රැකවරණය ඉහළින්ම තිබිණි. එහෙත් දැන් පෙනෙන්නට තිබෙන්නේ වත්මන් අමෙරිකාවේ ජෝ බයිඩන් පාලනය මගින් ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන් අතහැර දමා තිබෙන බවය. මේ නිසා අමෙරිකන් ගැති ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් සහ නිලධාරීන් සියලු‍ දෙනා ලෙල්ල ගැල වූ කෙසෙල් ගෙඩි තත්ත්වයට වැටී සිටිති. කෙසේ හෝ අමෙරිකාවට සේන්දු වීමට වාසනාව ලැබූ හිටපු මුදල් ඇමැති ඛාලිඩ් පයේන්දාද එවැනි ලෙල්ල ගැලවුණු කෙසෙල් ගෙඩියකි.

ඔහු තමන් සතු ධනයක් නැති බවත් මේ නිසා දරු පවුල රැක ගැනීමට කැබ් රියක් පදවමින් හම්බ කරන බවටත් කරන ප්‍රකාශයේ සැබෑව කුමක්දැයි අපි නොදනිමු. එය යථා කාලයේ දී හෙළිවනු ඇත. එහෙත් එක දෙයක් නම් සහතිකය. ලංකාවේ නම් කවදාවත් ඇමැතිවරයකුට තබා මන්ත්‍රීවරයකුටවත් මේ ඉරණම අත් නොවන බවය. ලංකාවේ මැති ඇමැතිවරුන්ට අනුව නම් මේ මිනිහා පල් මෝඩයෙකි.

ඔවුන්ට බලය ගිලිහී ගියත් මේ භවයේදී පමණක් නොව ඊළඟ භවයන් ගණනාවකටත් ඇති තරම් මදි නොකියන්නට හරිහම්බ කරගත් වස්තුව තිබේ. ඉතා ස්වල්ප දෙනකු පමණක් මේ ගණයට අයත් නොවන බවත් කිව යුතුය. ඇමැතිවරුන් පමණක් නොව ඔවුන්ගේ සමීප ඥාතියකුවත් කැබ් රියැදුරකු වන්නේ නැත. ඒ වෙනුවට කැබ් රථ සේවාවක අයිතිකරුවකු වීමේ වරමට නම් හිමිකම් කිව හැකිය.

මේ රටේ බොහොමයක් මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන් අධ්‍යාපනය ලබන්නේ යුරෝපයේ හෝ අමෙරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ආයතනවල බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන්ගේ ඉගෙනීම් හැකියාව පිළිබඳ අපි කතා නොකරමු. එහෙත් තම දූ දරුවන් වෙනුවෙන් වියදම් කිරීමට මැති ඇමැති තාත්තලාට ඇති තරම් ධනය තිබෙන බව පමණක් සඳහන් කළ යුතුය. ඒ කාලයේ තිබූ තැපැල් නයින්ටි බයිසිකලේ තල්ලු‍ කරගෙන යන්තම් පළාත් පාලන ඡන්දයෙන් පාලනයට එක් වූ සමහර දේශපාලනඥයන්ට අද නැව්, වතු, පිහිනුම් තටාක සහිත නිවෙස් පමණක් නොව විවිධ ව්‍යාපාර ද තිබේ.

සමහරුන්ට එංගලන්තයේ, අමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ තමන්ටම කියා නිවාස ද තිබේ. තවත් සමහරුන්ට වෙනත් රට රාජ්‍යවල විවිධ ව්‍යාපාර පවා තිබෙන බවද මේ රට තුළම අති සුඛෝපභෝගී නිවාස තෑගිවලට පවා ලැබී තිබෙන බව ද සඳහන් කළ යුතුය.

කම්කරු පක්ෂවල යන්තමින් එල්ලී මෝටර් සයිකලයේ කොළඹ පැමිණ බෝල්පොයින්ට් පෑනෙන් අත්සන ගැසූ ඇතැම් දේශපාලනඥයන්ට අද කොළඹ නගරයේ පමණක් නොව ඕස්ට්‍රේලියාවේ පවා නිවෙස් තිබේ. ඒ ගණයට වැටෙන මැති ඇමැතිලා තම බිරිඳට හෝ දුවට පුතාට උපන් දින තෑගි වශයෙන් ලබා දෙන්නේ බී.එම්.ඩබ්ලිව්, බෙන්ස් වැනි කාර්ය.

ඒවායේ ප්‍රතිඵල වශයෙන් බිමටම සමතලා වුණු ආර්ථිකයක් රටට උරුම වීම නිසා ලංකාවට සියලු‍ වාහන පමණක් නොව චීස්, බටර් ගෙන්වීම පවා නැවැතී තිබේ. එහෙත් උපන්දින තෑගි නම් වෙනත් ආකාරයට ලබා දීමට ඔවුන්ට කිසිදු නොහැකියාවක් නැත.

ලංකාවේ නම් මැති ඇමැතින් කවදාවත් අමෙරිකාවේ වැනි රටක වුවද කැබ් රියක් පදවන තත්ත්වයට වැටෙන්නේ නැත. ලංකාව තුළම අමෙරිකානු සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන ධනය හරිහම්බ කර ගැනීමට ක්‍රම සහ විධි තිබේ. ඇමැති වගේම ඔවුන්ගේ පවුල්වල අයට පමණක් නොව ඔවුන්ගේ ගජ මිතුරන්ට ද වාහන තබා ගැනීමට ඇති තරම් ධනය තිබේ. දුප්පත් රටවල් බොහොමයක් දුප්පත් බවේම රැඳී සිටින්නේ මේ දහජරා දේශපාලන සංස්කෘතිය හේතුවෙනි.

අප රටේ වුවද රියැදුරු රැකියාව සලකන්නේ අධ්‍යාපන මට්ටම අඩු පිරිසට අයිති රැකියාවක් වශයෙනි. එහෙත් කිසිදු සුදුසුකමක් නැති ඇතැම් පුද්ගලයන් පාර්ලිමේන්තුවට ඡන්දයෙන් පත්වී පිල් මාරු කරමින් හෝ මැති ඇමැති පට්ටම් ලබාගෙන පරම්පරා ගණනකට හම්බ කර ගනිති.

රටේ ජනතාව අපා දුක් විඳිති. එවැනි මැති ඇමැතින්ගේ ඥාතීන් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත්වීම් ලබා එම ආයතනවල රීරි මාංසද උරා ගනිති. ඇෆ්ගන් හිටපු මුදල් ඇමැති පයේන්දා පල් මෝඩයකු හැටියට ලංකාවේ දේශපාලනඥයන් දුටුවොත් එය පුදුමයට කරුණක් ද? නැත.

(***)



අදහස් (0)

ඇමෙරිකාවේ ටැක්සි එලවන ඇෆ්ගනිස්ථාන හිටපු ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 425 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site