IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


අරාබි පාසලේ බුද්ධ ධර්මය

නිදහස ලබා හැත්තෑ හතර වසරකි. මේ ගෙවුණු කාලයට රටක් වශයෙන් අප අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය කිසි ලෙසකින් හෝ සතුටු විය නොහැක. එක් අතකින් මතු උපදින දරුවාත් ලෝකයට රුපියල් ලක්ෂ 10ක ණයකාරයෙකි. වේලක් කෑ පසු ඊළඟ වේල කන්නේ කෙසේ දැයි සිතන්නට සිදුවී ඇති රටක් නිර්මාණය වී තිබේ. යාචකත්වයේ පතුලටම රට වැටුණු පසු හෙටක් ගැන සිතන්නට නොහැකි අඳුරු - නපුරු කල දශාව අපට අපේ ඉරණම ලෙස බාර ගැනීමට සිදුවී තිබේ.

ඉහත තත්ත්වය ඉබේ නිර්මාණය වූවක් නොවේ. සැබැවින්ම එය හේතු සමුදායක ප්‍රතිඵලයකි. මේ ගෙවුණු හැත්තෑ හතර වසර පුරාවටම අප වැඩියෙන් සිදු කර තිබෙන්නේ කුළල් කා ගැනීම්ය. ජාතිකත්වය අතර ගැටුම් ඇවිළී ගියේය. ආගමික ගැටුම් පැතිර ගියේය. විමුක්තිය ඇත්තේ අසල්වැසි අන්‍ය ජාතිකයාගේ පණ නළ තුළ බව සිතන විසම මනස ජාතිවාදී කෝලාහලවලට මග පෑදුවේය.

අන්‍ය ආගමිකයා බලාගෙන සිටින්නේ තම ආගම විනාශ කරන්න යැයි සිතන තරමට සිත් වෛරයෙන් පිරී ඇස් මෝහාන්ධකාරයෙන් වැසී ගියේය. අද දවසේ මුළුමහත් ජාතියම ගෙවමින් සිටින්නේ එහි තාර්කික වන්දිය විනා අන් යමක් නොවේ.

ජාතික සමගිය මෙන්ම ආගමික සමගිය සම්බන්ධයෙන් කප්පරක් දේශන, වැඩමුළු මෙන්ම විවිධ ක්‍රියාකාරකම් බහුලව පැවතිය ද, ඒවා යථාර්ථය තුළ ප්‍රායෝගික වී ඇති බවක් නොපෙනේ. ගිනි නිවා දැමූව ද අළු යට ගිනි පුපුරු සැඟවී තිබෙන්නේ එහෙයිනි. මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා ඇත්ත ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආදේශ විය යුතුව තිබේ. මහනුවර කටුකැලේ ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයට අයත් අරාබි පාසල ඒ සඳහා කදිම පියවරක් ගෙන තිබේ.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ පුවතකට අනුව එම අරාබි පාසලේ සියලුම සිසුන්ට විෂයක් ලෙස බුද්ධ ධර්මය ඉගැන්වීමට එහි පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. එම පාලක මණ්ඩලය සඳහන් කරන ආකාරයට ත්‍රිපිටකය සහ අභිධර්මය මූලික කරගනිමින් විෂයක් ලෙස බුද්ධ ධර්මය උගන්වන අතර, ත්‍රිපිටකය සහ ශුද්ධ වූ කුරාණයේ ඇති සමානාත්මක ඉගැන්වීම පිළිබඳවත්, ආගම් දෙක අතර පවතින සමානතා පිළිබඳවත් එහිදී සිසුන්ට මූලික දැනුම ලබා දීමට පියවර ගනු ලබයි.

දුරස්ථවීම තුළම අනවබෝධයට පදනම වැටේ. අවිශ්වාසය ජනිත වන්නේ එම අනවබෝධය තුළය. ගැටුම් වර්ධනය වී පුපුරා යන්නේ ඉන් පසුවය. ඒ අනුව මහනුවර කටුකැලේ අරාබි පාසලේ එළැඹුම ඉතා යහපත් ය. අප පුවත්පත වාර්තා කර තිබුණේ, එම අරාබි පාසලේ නව අධ්‍යාපන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන ආකාරය දැක බලා ගැනීමට වැඩම කරන්නැයි ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයේ පාලක සභාව මහා සංඝරත්නයට අාරාධනා කළ බවය. ඒ අනුව කොනකලගල උදිත උඩරට අමරපුර මහා නිකායේ අනුනායක මාහිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා හැට නමක් එහි වැඩම කළ බව ය. එහිදී අදහස් දක්වා ඇති අනුනාහිමියන් පවසා ඇත්තේ, බෞද්ධාගමික සිද්ධස්ථානවල ආගමික කටයුතු සිදුවන ආකාරය දැකබලා දැනුවත් වීම සඳහා මව්ලවිතුමන්ලාට සහ මුස්ලිම් සිසුන්ට ඉදිරියේ දී ආරාධනා කරන බව ය.

ආගමික සංහිඳියාව බුදු දහමේ දැක්වෙන මූලික ඉගැන්වීමකි. බුදුන් සරණ ගිය අන්‍ය ආගමිකයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතෙක් පවත්වාගෙන ආ වත්පිළිවෙත් නතර නොකරන ලෙස ය. උපාලි ගෘහ පුත්‍රයාට දුන් ඔවදන එයට කදිම නිදසුනකි. රටක් ජාතියක් සවිබල ගැන්වීමට ජාතීන් අතර සමගියත්, ආගමික සංහිදියාවත් අත්‍යවශ්‍ය කොන්දේසියකි.

තිස් වසරක් පැවැති යුද්ධය අප රට සියවස් ගණනාවක් ආපස්සට රැගෙන ගියේය. දකුණේ පුපුරා ගිය තරුණ කැරැලි දෙක රටට අත්කර දුන්නේ ඉමහත් අභාග්‍යයකි. පටු සහ පවිටු අරමුණු ඉටුකර ගැනීම සඳහා ඇවිලූ ආගමික ගැටුම් රට තුළ සංහිඳියාවට මාරාන්තිකය. රටකට මෙසේ ඉදිරියට යා නොහැකිය. රට හැමදාමත් මේ නරා වළේ ගිල්වා තැබිය නොහැකිය. අප පැමිණි ගමනේ අස්වැන්න පරාජය සහ විනාශය බව ඔප්පු වී අවසන්ය. අප නියත වශයෙන්ම අලුත් මාවතක් සොයා ගත යුතු ම ය.

මහනුවර කටුකැලේ අරාබි පාසලේ නව අධ්‍යාපන වැඩපිළිවෙළ නොනැවතී පැසසුමට ලක් කළ යුතු වන්නේ එහෙයිනි. එමෙන්ම කොනකලගල උදිත උඩරට අමරපුර මහා නිකායේ අනුනායක හිමියන්ගේ අාරාධනාව ඉතාමත් අනර්ඝ ය. සමගිය තිරසර වන්නේ එවැනි බැඳීම්වලිනි. රටට අවශ්‍ය වන්නේ එබඳු බැඳීම් අැති කරන නවමු ආකාරයේ ක්‍රියාමාර්ගයන් ය.

විවිධත්වය තුළ විචිත්‍රත්වය අන්තර්ගතය. එම විචිත්‍රත්වය විඳීමට විසිතුරු පිවිතුරු මනසක් අවැසි ය. ජාතිවාදී සහ ආගම්වාදී වස විසෙන් පිරුණු මනසකට එම විචිත්‍රත්වය අත්විඳිය නොහැකිය. ක්ෂිතිජයට ඔබ්බෙන් ලෝකය දැකිය හැකි විසල් මනසක් නිර්මාණය කර ගත යුතුය. ලෝකය දියුණු වන්නේත්, සුන්දර වන්නේත් මිනිස් ක්‍රියාකාරකම් මත ය. ඕනෑම ආගම දහමක ප්‍රධාන පරමාර්ථය වන්නේ එබඳු විසල් මනසක් ඇති මිනිසකු බිහි කිරීම ය. ඒ මිනිසා නිර්මාණය කිරීම අද දවසේ ප්‍රධාන වගකීම විය යුතු ය. කටුකැලේ අරාබි පාසලේ නව අධ්‍යාපන වැඩපිළිවෙළ වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි.

(***)



අදහස් (6)

අරාබි පාසලේ බුද්ධ ධර්මය

fairoos Thursday, 22 September 2022 12:23 PM

රට අද මේ තත්වෙට බංකොළොත් වුණේ නන්දසේන සහ නඩය ජාතිවාදය අවුස්සපු නිසාමයි.

:       58       11

ජැක්සන් Thursday, 22 September 2022 03:16 PM

හැම ආගමක්ම එහෙම කරන්න ඕනේ එහෙනම්.

:       48       16

Senarath Friday, 23 September 2022 09:05 AM

සෑම ආගමක් ගැනම සිසුන්ට සහ වැඩිහිටියන්ට දැනුමක් ඇතිනම් එය ඉතාම හොඳ දෙයක්...

:       2       37

ආර්. එම් එච්. අරුණ ශාන්ත. Friday, 23 September 2022 08:43 PM

බෞද්ධ දර්ශනය අනුව සියලුම දේ අනිත්‍ය බව අවධාරණය කරගත්විට සියලුම භේද භින්න අවසන් වනු ඇත.

:       3       47

Sunil Perera Sunday, 25 September 2022 10:46 AM

සියලුම ශ්‍රී ලාංකිකයින්, සෑම ආගමක් ගැනම මූලික දැනීමවත් තිබිය යුතුයි. එහෙම වුණොත් ආගම් භේද සදහටම නැතිවේවි...!

:       10       21

ruwan Sunday, 25 September 2022 12:57 PM

මම ඉන්නේ මුස්ලිම් රටක... දැන් අවුරුදු ගාණක්. ඇත්තටම මේ ආගමේ ජීවිතේට ගන්න හොඳ දේවල් ගොඩක් තියෙනවා.

:       42       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site