ගෙවුණු මාර්තුවේ දී, ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සම්මත වූ යෝජනාවලිය හා සමාන තවත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනපද කොංග්‍රසය කටයුතු කරමින් සිටීම සම්බන්ධව, රජය දක්වා තිබෙන ප්‍රතිචාරය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි පන්නයේ නොවේ.

ගෙවුණු සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙහි මෙම යෝජනාවලියේ සම්පූර්ණ අන්තර්ගතය පළකිරීමත් සමග, ඒ සම්බන්ධයෙන් පසුගිය බදාදා කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කළේය. ඡේද 4කට පමණක් සීමාවී තිබූ එම නිවේදනයෙන්, එක්සත් ජනපද කොංග්‍රසය හමුවට ඉදිරිපත්ව තිබෙන යෝජනාවලිය එරට සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතැති සුලු පිරිසකගේ වුවමනාව මත ඉදිරිපත්ව තිබෙන්නේ යැයි හුවා දැක්වීමට උත්සාහ කර තිබිණ. 

ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් 32 ක තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය නැවත ක්‍රියාත්මක කිරීමට ගන්නා වෑයමකැයි, විදේශ කටයුතු අමාත්‍යංශය එම යෝජනාවලිය හදුන්වා දී, තිබිණ.

මේ සම්බන්ධයෙන් වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහාත්, එක්සත් ජනපද විදේශ කටයුතු සම්බන්ධයෙන් වන කමිටුව හරහාත්, ආසියානු කලාපය සම්බන්ධයෙන් වන කොංග්‍රස් උප කමිටුව හරහාත් මෙන්ම කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහාත්, ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරමින් සිටින්නේයැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති රවිනාථ ආරියසිංහ මහතා, එරට විදේශ කටයුතු සම්බන්ධයෙන් වන කමිටුවේ සභාපතිවරයා හමුවී මෙම යෝජනාවලියට ශ්‍රී ලංකාවේ විරෝධය දැක්වීමටත්, ඒ සම්බන්ධයෙන් රටේ ස්ථාවරය පැහැදිලි කිරීමටත්, දැනටමත් කටයුතු කර ඇතැයි පැවසුවේ ය.

රජයෙන් නඟන චෝදනාව

විදේශ කටයුතු අමාත්‍යංශයෙන්, නොඑසේ නම් ශ්‍රී ලංකා රජයෙන් නඟන මෙම චෝදනාව සත්‍යයක් විය හැකි වුවත්, මෙම යෝජනාවලිය පසුපස සිටින, ගණනින් තවමත් කී දෙනෙක් දැයි නොදන්නා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයන් මුලු පිරිසම බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන ඒමට තැත් කරන්නේ යැයි චෝදනා කිරීම, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගත්විට කෙතරම් බුද්ධිගෝචර දැයි පැනයක් නැඟේ. එය විශේෂයෙන්ම, එල්.ටී.ටී.ඊ සංවිධානය එක්සත් ජනපදයේ තහනම් කර ඇතැයි ද, යෝජනාවලියේ අන්තර්ගතය ප්‍රමාණවත් සාක්කි නොමැති, පදනම් විරහිත ප්‍රලාපයන් යැයි ද, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමකය. 

එක්සත් ජනපදයේ හිතවත්ම ආධාරකරුවකු වන එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ද, අප අනුගමනය කළේ මෙවැනිම ස්ථාවරයකි. එහිදී, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එසේ ඉදිරිපත් කැරුණු යෝජනාවලිය අරබයා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ සමග තවදුරටත් අඛණ්ඩ සංවාදයක් පවත්වාගෙන යමින් සිටී. ඒ සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමට දැඩි අවධානය යොමුව තිබෙන අතර, එහිලා එක් මතයක් වන්නේ මීළග සැසිවාරය පැවැත්වෙන සැප්තැම්බර් මාසය තෙක් බලා සිට, එහිදී ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය අධ්‍යනය කිරීමය. අනෙක් මතය වන්නේ, දෙරට යුරෝපා සංගමය සමග එක්ව, යම් යම් පියවරයන් කිහිපයක් ගැනීමය.

විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර තිබෙන නිවේදනය විශේෂණ පදවලින්ද, ගහණ බව හඳුනාගත හැකිය. 
එක්සත් ජනපදය ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය එහි විස්තර කර තිබෙන්නේ, ප්‍රමාණවත් සාක්කි නොමැති, පදනම් විරහිත, ප්‍රලාපයන් ලෙසය. ප්‍රමාණවත් සාක්කි නොමැති මෙන්ම පදනමක් විරහිත යම් ප්‍රකාශයක් කොටින්ම කිවහොත්, ප්‍රලාපයක් මිසම අන් කිසිවක් නොවන බව යම් අයෙකුට අමතකව ඇති සෙයකි. 

වචන පැටළීම

මේ දිනවල විදේශ කටයුතු අමාත්‍යංශය නම් පමණක් නොව, අදහස් දැක්වීමේ දී, යොදාගන්නා වචනද පටලවා ගන්නා බව පෙනෙන්නට තිබේ. අනෙක් කාරණය නම් එම නිවේදනයෙන් අවධානය යොමුකර තිබෙන්නේ එක්සත් ජනපද කොංග්‍රසය හමුවට ඉදිරිපත්ව තිබෙන යෝජනාවලියේ ප්‍රස්ථාවනාවට පමණක් වීමය. 

එහි දැක්වෙන නිර්දේශයන් හත අතරින් එක් නිර්දේශයකට හෝ, විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර තිබෙන නිවේදනයෙන් අවධානය යොමුකර නොමැත. විශේෂයෙන්ම එම නිර්දේශයන් හතෙන්ම, නැවත නැවතත් සඳහන් කැරෙන බෙදුම්වාදී න්‍යාය පත්‍රය ගෙනහැර දක්වා තිබෙන පසුබිමක, එසේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර නොතිබීම කණගාටුදායකය.

අංක 413 ලෙස අංකනය කර තිබෙන මෙම යෝජනාවලිය, එක්සත් ජනපද 117 වන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දී එය පවත්නා ස්වරූපයෙන්ම අනුමත වනු ඇතැයි කිසිවෙකුටත් සහතිකයක් දිය නොහැක. නමුත්, ජීනීවා යෝජනාවලියට ද, සහාය දැක්වූ එක්සත් ජනපදයේ වර්තමාන ජෝ බයිඩන් පරිපාලනයට එරට කොංග්‍රස් මණ්ඩලයේ ද බහුතරය හිමිබව සිහියේ තබාගත යුතු වේ. 

එක්තරා අතකට, යෝජනාවලියේ ප්‍රධාන කරුණුවලින් නිරූපණය වන්නේ ශ්‍රී ලංකාව අරබයා බයිඩන් පරිපාලනයේ නව ප්‍රතිපත්තිය වේ.

යෝජනාවලිය අධ්‍යනය කෙරෙයි

මෙම යෝජනාවලිය දැන් පවතින්නේ එක්සත් ජනපද විදේශ සබඳතා පිළිබද කමිටුවේ අධ්‍යනයට ලක් කැරෙමිනි. මෙතැන තිබෙන ගැටලුව, වෙනම නිජභූමියක් හෝ ඒ හා සමාන අර්ථයක් ගෙන දෙන වෙනත් වදන්, මෙහි අන්තර්ගතව තිබීම නොවේ. 2009 වසරේ මැයි මාසයේ දී බෙදුම්වාදී අරගලය අවසානයේ සිට මේ දක්වා ගෙවී තිබෙන කාලයේදී එම අරගලයේ දී දිවි පිදූවන් සිහිපත් කරන අතරම, ඔවුන් වෙනුවෙන් යුක්තිය, වගවීම, සංහිදියාව, නැවත ගොඩනැගීම, වන්දි ගෙවීම සහ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව වෙනුවෙන් සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කැරෙන ස්ථීරසාර, සාමකාමී දේශපාලනමය විසදුමක් ලැබෙන පරිදි ශ්‍රී ලංකාව වෙනස් කිරීම, යනාදියට සහාය දක්වන බව එහි සදහන් වේ. 

මෙම කාරණා, මේ අයුරින්ම ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් වූ යෝජනාවලියේද සඳහන් විය. එයට බයිඩන් පරිපාලනය සිය සම්පූර්ණ ආශිර්වාදයද ලබා දුන්නේය. එවැනි තත්ත්වයක, ඊටත් වඩා දරදඬු යෝජනාවලියක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට එක්සත් ජනපද කොංග්‍රසයේ සාමාජිකයන් පිරිසක් කටයුතු කරමින් සිටින අවස්ථාවක, ඔවුන්ට චෝදනා කිරීමෙන් අපට ලැබෙන ඵලය කුමක් ද? 

ගෙවුණු මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්වලදීද කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙන්ම ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සිටි ශ්‍රී ලංකා පඬිවරයන් කළේද මෙයමය. අතීතය, වර්තමානයේදීත් දිගහැරෙමින් පවතින සෙයකි.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා, කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටින කණ්ඩායම් හමුවී ඔවුන්ව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට නිව්යෝර්ක් නුවර බලා ගොස් සිටින බව දැනගන්නට තිබේ. එක් අතකට, එම කණ්ඩායම් මාර්ගයන්හි කොඩි ළෙලවා විරෝධය පළකිරීමන් ශ්‍රී ලංකා රජයටත් යම් සහායක් හිමි බවට අදාළ පාර්ශවයන්ට ඒත්තු ගැනීමටත් ඒ හරහා යම් දිරියක් වඩවා ගැනීමටත් හැකිවිය හැකිය. නමුත්, එවැන්නකින් කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් නතර කරගත හැකි නොවේ. 

රාජ්‍යතාන්ත්‍රිකත්වය වැදගත් වන්නේ මෙතැනදීය. වොෂින්ටන් නුවර සිටින ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයන් කොළඹට මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටීම වහාම නවතා, කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් හැකිතාක් ප්‍රමාණයක් සමග පෞද්ගලික මට්ටමින් සංවාදයන් ගොඩනගා ගැනීම ආරම්භ කළ යුතුය. එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ව්‍යවස්ථාදායකය වන කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයන්ට චෝදනා කිරීමෙන් මෙය කිසිසේත්ම කළ නොහැකිය. 

එවැනි චෝදනා ගැබ්ව තිබෙන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිවේදනය ප්‍රසිද්ධ කිරීමට වගකිවයුතුව තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය ගුණවර්ධන මහතාද නැතහොත් අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතාද යන්න පැහැදිලි නැත.

කට වරද්දා ගැනීම

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී, මුහුණදුන් අබග්ගයෙන් පසුව සති ගණනාවක් සහ මාස කිහිපයක්ම ගෙවී තිබෙන පසුබිමක, එදා සහ අද වැඩි වෙනසක් සිදුව තිබෙන බවක් හදුනාගන්නට නැත. සමූලඝාතනයන් සම්බන්ධයෙන් අන්තර්ජාතික විද්වතුන්ගේ සංවාදය මැයෙන් පසුගිය පළමුවැනිදා පැවැති වෙබ් සංවාදයක් මෙහිදී, උදාහරණයකට ගත හැකිය. 

එය සංවිධානය කර තිබුණේ අන්තර්ජාතික බුද්ධි පර්ෂදයක් යැයි තමන්ව හදුන්වාදෙන චීනයේ ග්‍රෑන්ඩ් වීව් ආයතනයයි. මෙම ආයතන ආරම්භ කර තිබෙන්නේ 2013 වසරේය. එරට ෂින්ජියෑන්ග් කලාපයේ වාසය කරන උගුර් මුස්ලිම් ජාතිකයන් සමූලඝාතනය කරමින් සිටින්නේ යැයි චීනයට එරෙහිව චෝදනා නැගෙමින් තිබෙන අතර බීජිං පරිපාලනය එම චෝදනා තරයේම බැහැර කරයි. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සංවාදයට සහභාගීව සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් තැන්පත් ජයනාත් කොළඹගේ මහතාය. ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ දෙමළ ජනතාව සමූලඝාතනය කළේ යැයි දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් චෝදනා නගමින් සිටින වාතාවරණයක (මෙය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත චෝදනාවකි), ඔහු පැවසුවේ මෙවැන්නකි.

“සමූලඝාතනයන් සම්බන්ධයෙන් වන චෝදනා නැඟිය යුත්තේ අන්තර්ජාතික අධිකරණය වැනි පිළිගත් නීතිමය අධිකාරීන් මිස තම තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරමින් සිටින රටවල් හෝ පුද්ගලයින් නොවේ”
කොළඹගේ මහතා, රාජ්‍යතාන්ත්‍රිකමය වශයෙන් කටවරද්දා ගත් පළමු අවස්ථාව මෙය නොවේ. නොදැනුවත්වම දෝ, ඔහු මේ පවසන්නේ, කොටි ත්‍රස්තයින්ට හිතවත් කණ්ඩායම් ඔවුන්ගේ චෝදනා අන්තර්ජාතික අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බව ද?

කොටි හිතවාදී ඩයස්පෝරා කණ්ඩායම් කැනඩාවේ සමූලඝාතනයේ සතියක් ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සහ පසුව ලන්ඩනයේ ආරක්ෂක අමාත්‍යංශය ආසන්නයේම ඊළාම් ධජයක් නංවා, සමූලඝාතනය කළේ යැයි ශ්‍රී ලංකාවට චෝදනා කළ අවස්ථාවේ, මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය හෝ ලේකම් කොළඹගේ මහතා හෝ කළේ කුමක්දැයි ඇසිය යුතු වේ. 

දැන් අවශ්‍යව ඇත්තේ එකම දෙය නැවත නැවතත් කියා සිටීම නොව වහා ක්‍රියාත්මක විය හැකි සැළසුමකි. තවත් ආකාරයකින් කියන්නේ නම් නියපොත්තෙන් කඩා දැමිය හැකි දේ පොරොවෙන් කපන්නට සිදුවීමට පෙර ක්‍රියාත්මක විය යුතු බවයි. 

විදේශ කටයුතු අමාත්‍යංශයට, ඉක්මනින්ම අවධානය යොමුකළ යුතුවන කාරණාවලට අවධානය යොමුවීමේ හැකියාව අහිමිව ගොස් තිබෙන සෙයකි. 

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර