අප ජීවත් වන ග්‍රහලෝකය පෘථිවියයි. පෘථිවිය අයත් ග්‍රහ මණ්ඩලයට අයත් තාරකාව සූර්යයාය. එහෙයින් පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය යනුවෙනි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද සූර්යයා නැතිනම් හිරුය. පෘථිවියේ ජීවය පහළ වීමට ද හේතු සාධක වුණු හිරුගේ ඇති අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා, පෘථිවිය ද ඇතුළු අනෙකුත් සියලු‍ම ග්‍රහලෝක සහ ග්‍රහ වස්තූන් සූර්යයා වටා නිශ්චිත කක්ෂවල රඳවා තබා ගැනීමක් සිදුවෙයි. සූර්යයාගේ සිට පිළිවෙළින් ග්‍රහලෝක අටකි. 

මෙම ග්‍රහලෝක අට ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙයි. ඒ, පාෂාණමය ග්‍රහලෝක සහ වායු යෝධයන් වශයෙනි. ග්‍රහලෝකවලට අමතරව උපග්‍රහයන් එසේත් නැතිනම් චන්ද්‍රයන්, ග්‍රහක, ධූමකේතු හෙවත් වල්ගාතරු සහ වාමන හෙවත් කුරු ග්‍රහයන් ද දකින්න ලැබේ. 

ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග්‍රහයකු ලෙසය. මේ සියල්ල එකට ගත් කල සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙයි.

අප පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය ඇත්තේ මන්දාකිණියක් තුළය. මේ මන්දාකිණිය ක්ෂීරපථය යන නමින් හැඳින්වෙයි. තාරකා විද්‍යාඥයන්ට ක්ෂීරපථයෙන් තවත් ග්‍රහ මණ්ඩල හමුවී ඇත. සාමාන්‍යයෙන් ග්‍රහ මණ්ඩලයක් පිහිටන්නේ තරුවක් කේන්ද්‍ර කර ගනිමිනි. තාරකා විද්‍යාඥයන් අලු‍තින් සොයාගන්නා ග්‍රහ මණ්ඩල අධ්‍යයනය කරන්නේ ඒවා අප සෞරග්‍රහ මණ්ඩලය හා සන්සන්දනය කිරීමෙනි. පසුගියදා විද්‍යාඥයෝ නව සොයා ගැනීමක් කළහ. විද්‍යාඥයන් සොයා ගත්තේ නව ග්‍රහ මණ්ඩලයකි. මෙම ග්‍රහ මණ්ඩලය, සෞරග්‍රහ මණ්ඩලය සමග සැසඳීමට යෑමේදී, එය හාත්පසින්ම වෙනස් එකක් බව අවබෝධ විය. දැන් මෙම නව සොයා ගැනීම - ග්‍රහ මණ්ඩල ගැන මෙතෙක් අප දැන සිටි කරුණු කාරණා වෙනස් කිරීමට හේතුවක් වී තිබේ. 

අප සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණමය ග්‍රහලෝක යනුවෙන් හැඳින්වෙන්නේ - ප්‍රමාණයෙන් කුඩා, මතුපිට ඝන පාෂාණවලින් සැදුම්ලත් ග්‍රහලෝක ය. බුධ සූර්යයාට සමීපතම සහ කුඩාම ග්‍රහලෝකයයි. සිකුරු දීප්තිමත්ම සහ උණුසුම් ම ග්‍රහලෝකයයි. අප ජීවත්වන පෘථිවිය - අප දන්නා පරිදි විශ්වයේ ජීවය පවතින එකම ග්‍රහලෝකයයි. අඟහරු හෙවත් රතුග්‍රහයා පිහිටන්නේ පෘථිවියෙන් පසු සිවුවැනි ස්ථානයේය. මේ ග්‍රහයන් පාෂාණමය ග්‍රහලෝක අතරට අයත් වෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ වායු යෝධයන් යනුවෙන් හැඳින්වෙන්නේ සෙසු ග්‍රහයන්ය. මේවා ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර, වැඩි වශයෙන් වායූන්ගෙන් සමන්විතය. යෝධයන් යැයි කියන්නේ ඒ නිසාය. බ්‍රහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකයයි. සෙනසුරු සුන්දර වළලු‍වලින් සමන්විත වායු යෝධයෙකි. යුරේනස් අයිස් යෝධයෙක් වන අතර, නෙප්චූන් සූර්යයාට දුරින්ම පිහිටි ශීතල ග්‍රහලෝකයයි. 

පසුගිය වසර ගණනාව පුරාම සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි පිහිටි තවත් ග්‍රහ මණ්ඩල දහස් ගණනක් තාරකා විද්‍යාඥයන් විසින් මේ වන විට සොයාගෙන ඇත. මේවා බහිර්සූර්ය ග්‍රහලෝක ලෙස හැඳින්වෙයි. විශ්වය යනු අප සිතනවාට වඩා අතිවිශාල සහ විවිධත්වයෙන් පිරි තැනකි. වසර 1990 දශකයට පෙර අපගේ සූර්යයාට හැර වෙනත් තාරකාවලට ග්‍රහලෝක පවතින බවට ස්ථිර සාක්ෂි තිබුණේ නැත. ඒත් අද වන විට නාසා ආයතනයට අනුව අපගේ ක්ෂීරපථය තුළ පමණක් තහවුරු කරන ලද බහිර්සූර්ය ග්‍රහලෝක 5,000 කට වඩා සොයාගෙන තිබේ.

සෞරග්‍රහ මණ්ඩලයේ පිළිවෙළ අනුව හිරුට ළං වී මුලින්ම ඇත්තේ එක පෙළට පාෂාණමය ග්‍රහලෝකයන්ය. වායු යෝධයන් ඇත්තේ එක පෙළට ඉන් පසුවය. තාරකා විද්‍යාඥයන් මෙතෙක් කල් විශ්වාස කළේ ඕනෑම ග්‍රහ මණ්ඩලයක ග්‍රහලෝක පිහිටන නිශ්චිත රටාවක් පවතින බවය. සෞරග්‍රහ මණ්ඩලයේ මෙන්ම අනෙකුත් ග්‍රහ මණ්ඩලවල ද ඒවායේ ඇති තාරකා වටා මුලින්ම කුඩා පාෂාණමය ග්‍රහලෝක පිහිටන බවත්, ඉන්පසු විශාල වායුමය ග්‍රහලෝකත් පිහිටන බවත්, විද්‍යාත්මක පිළිගැනීම විය. කෙසේ නමුත් අලු‍තින් හමුවුණු “එල්.එච්.එස්. 1903” නම් රතු වාමන තාරකාව සහ එය වටා ඇති ග්‍රහ මණ්ඩලය මේ මත සියල්ල වෙනස් කර ඇත. ඒ මෙතෙක් පැවැති මෙම මූලික විද්‍යාත්මක මතය සම්පූර්ණයෙන්ම අභියෝගයට ලක් කරමිනි. 

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ චියොප්ස් දුරේක්ෂය ඇතුළු ප්‍රබල නිරීක්ෂණාගාර කිහිපයක දත්ත ඇසුරින් මෙම එල්.එච්.එස්. 1903 වාමන තාරකාව සහ ග්‍රහ මණ්ඩලය සොයාගැනීම සිදුවිය. එල්.එච්.එස්. 1903 ග්‍රහ මණ්ඩලයට ග්‍රහලෝක හතරක් ඇති බව හඳුනාගැනුණි. අසාමාන්‍ය කරුණ වන්නේ ග්‍රහලෝක පිහිටා ඇති අනුපිළිවෙළය. පළමු ග්‍රහලෝකය පාෂාණමය එකක් වන අතර, දෙවැනියට සහ තෙවැනියට පිහිටා ඇත්තේ වායුමය ග්‍රහලෝක දෙකකි. විද්‍යාඥයන් මවිතයට පත් කරමින් පද්ධතියේ කෙළවරින්ම - එනම් තාරකාවට බෙහෙවින් ඈතින් සොයාගත් සිවුවැනි ග්‍රහලෝකය යළි පාෂාණමය ග්‍රහලෝකයකි‍.  

මෙවැනි දෙයක් විද්‍යාඥයන් බලාපොරොත්තු වී නැත. විද්‍යාඥයන් පවසා ඇත්තේ තමන්ට ඇතුළත සහ පිටත මාරු වූ ග්‍රහ මණ්ඩලයක් හමුවුණු බවය. වෝර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් විල්සන් මෙම සොයා ගැනීමට සහ මේ සම්බන්ධයෙන් සිදු කරන අධ්‍යයනයන්ට සම්බන්ධ වී සිටී.

“සාමාන්‍යයෙන් තාරකාවක සිට මෙතරම් ඈතක දී පාෂාණමය ග්‍රහලෝකයක් නිර්මාණය වීමට අවශ්‍ය ද්‍රව්‍ය සාන්ද්‍රණය අවම බැවින්, මෙය මෙතෙක් විශ්වයේ නිරීක්ෂණය නොකළ අලු‍ත්ම ආකාරයක ග්‍රහලෝක බිහිවීමේ ක්‍රියාවලියක් විය හැකි බව මාගේ අදහසයි. මෙම සොයා ගැනීමත් සමග ග්‍රහලෝක විද්‍යාව සම්බන්ධයෙන් අප භාවිතයට ගන්නා බොහෝ ගණිතමය ආකෘති සහ උපකල්පන ගැන වෙනස් විදියකට බලන්න අපට සිදුවේවි”  

මහාචාර්ය තෝමස් විල්සන් එසේ පැහැදිලි කරයි.

තරුවලට සමීපව පිහිටන අභ්‍යන්තර ග්‍රහලෝක කුඩා සහ පාෂාණමය ඒවා වනු ඇතැයි තාරකා විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම වෙයි. ඊට හේතුව ඒ ඒ තාරකාවෙන් නිකුත් වන ප්‍රබල විකිරණ මගින් එම ග්‍රහලෝකවල පාෂාණමය හරය වටා ඇති වායූන් ඉවත් කර දැමීමය. කෙසේ වෙතත් සෞරග්‍රහ මණ්ඩලයක ඈතින් පිහිටි ශීත කලාපවලදී, ග්‍රහලෝක හරය වටා ඝන වායුගෝලයක් නිර්මාණය විය හැකි අතර එමගින් වායු යෝධයන් බිහි වේ. එල්.එච්.එස්. 1903 නමැති මෙම අසාමාන්‍ය ග්‍රහ මණ්ඩලය පිළිබඳව විමතියට පත් වූ තාරකා විද්‍යාඥයෝ එය එසේ නිර්මාණය වූ අයුරු සෙවීමට උත්සාහ කරමින් සිටිති‍.  

සාමාන්‍යයෙන් ග්‍රහලෝක නිර්මාණය වන්නේ - ප්‍රෝටෝප්ලැනටරි තැටිය ලෙස හැඳින්වෙන වායු සහ දූවිලි සහිත දැවැන්ත වළල්ලක් තුළ එකවරය. මෙහිදී කුඩා දූවිලි අංශු එකිනෙක එකතු වී පසුව විශාල හරයන් බවට පත්වී, අවසානයේ ප්‍රබල ග්‍රහලෝක ලෙස පරිණාමය වෙයි. කෙසේ නමුත් මහාචාර්ය විල්සන් පවසන පරිදි, එල්.එච්.එස්. 1903 ග්‍රහ මණ්ඩලයේ සිව්වැනි ග්‍රහලෝකය නිර්මාණය වන විට - එම පද්ධතියේ තිබූ වායු අවසන් වී යන්නට ඇත.‍ ඒ අනුව සිවුවැනි ග්‍රහලෝකය වායු-හීන නිර්මාණය වූවකි. එපමණක් නොවෙයි වායු-හීන පරිසරයක නිර්මාණය වූ ග්‍රහලෝකයක් පිළිබඳ ලැබුණු පළමු සාක්ෂිය වන්නේ මෙය යැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

1990 දශකයේ සිට මේ දක්වා තාරකා විද්‍යාඥයින් අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 6,000 කට වඩා සොයාගෙන ඇත. මේවා බොහොමයක් හඳුනාගෙන ඇත්තේ - ඒවා තම තරුව ඉදිරියෙන් ගමන් කරන විට සිදුවන දීප්තියේ සුළු වෙනස්වීම් නිරීක්ෂණය කිරීමෙනි. ඈත තාරකාවල ග්‍රහලෝක පියවි ඇසට හෝ සාමාන්‍ය දුරේක්ෂයකට පෙනෙන්නේ නැත. ග්‍රහලෝක සහ ග්‍රහමණ්ඩල සොයාගැනීමට විද්‍යාඥයෝ ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතයට ගනිති. සංක්‍රාන්ති ක්‍රමය යනු පළමුවැන්නය. මෙහිදී ග්‍රහලෝකයක් තාරකාව ඉදිරියෙන් ගමන් කරන විට එම තාරකාවේ දීප්තිය සුළු ප්‍රමාණයකින් අඩුවීම මැන බැලීම සිදුවෙයි. කෙප්ලර් දුරේක්ෂය මෙහිදී ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙයි. ඩොප්ලර් ආචරණය යනු දෙවැනි ක්‍රමයයි. ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණය නිසා තාරකාව සුළු වශයෙන් සෙලවෙන ආකාරය නිරීක්ෂණය කිරීම මෙම ක්‍රමයයි.

ලු‍සිත ජයමාන්න
Science Alert  ඇසුරිනි