ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2026 - 30) ලබන අප්‍රේල් 25 වැනිදා පස්වරු 4 ට එහි ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. පසුගිය සෙනසුරාදා (14) පැවැති එහි විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය කළ පරිදි නාමයෝජනා කැදවීම ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා සිදු කෙරේ.

නිලවරණ මෙහෙයුම් කමිටුව නිර්දේශ කර ගැනීමත් එහිදී සිදු කෙරෙනු අතර ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි කටයුතු කරයි. ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර හා නීතිඥ පියසේන රණසිංහ එහි සෙසු සාමාජිකයෝ වෙති.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිල කාලය (2021 - 25) පසුගිය දෙසැම්බර් 27 වැනිදා අවසන් විය. කෙසේවූවත් ඊළඟට යෙදෙන නිලවරණය පවත්වා අවසන් කෙරෙන තුරු ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සහන කාලයක් ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකඟ විය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් පැවැසුවේ අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී තමා සභාපති ධූරයට නාමයෝජනා බාරදීමට තීරණය කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ වත්මන් සභාපතිවරයා වන ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ සැපයුම් උප කමිටුවේ ප්‍රධානියාද වන අතර මේ වන විට නෙළුම් කුලුන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ඔහු මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත් වීමේදී තමා ප්‍රධාන කොන්දේසි දෙකක් වත්මන් සභාපතිවරයා වෙත යොමු කර සිටි බවයි.ඒ සිය පාර්ශ්වයෙන් මහ ලේකම් ධුරයේ අපේකත්වය එය දැනටත් දරමින් සිටින රිෆ්ඩි ෆාමිට ලබාදීමත් වත්මන් උප සභාපතිනියක් වන නිලූ ජයතිලක මහත්මිය යළිත් විධායක සභාවට පත් කර ගැනීමත් සිදු කළ යුතු බවයි.

මේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර්ද ජාතික ඔලිම්පික් කමිටුවේ එළඹෙන නිලවරණයේදී සභාපති ධුරයට ඉදිරිපත් වන ලෙස ජාතික ක්‍රීඩා සංගම් වෙතින් ආරාධනා ලැබෙමින් පවතින බව ඔහු පවසයි.

ඒ පිළිබදව ඉරිදා ලංකාදීපය කළ විමසුමකදී ඔහු පැවැසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 20 කට වැඩි ගණනක් තමාට ඒ සදහා ආරාධනා ලැබී තිබෙන බවයි.ඒ අනුව තමා එම ආරාධනාව පිළිගැනීමට සූදානමින් සිටින බව ඔහු පැවැසීය.

මේ අතර අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට සමගාමිව පැවැත්වෙන මහ සභා රැස්වීමට එහි නව සාමාජික ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇරියුම් ලබා තිබේ.

කෙසේවූවත් ක්‍රිකට් ආයතනයට මෙම නිලවරණයේදී ඡන්ද බලය හිමි නොවන අතර ඒ ඔවුන් වසරක නිරීක්ෂණ කාලයක් ගෙවා අවසන් කළ යුතු බැවිනි. මීළඟට නියමිත වසර 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව (විස්සයි - 20) නිර්දේශ කර තිබෙන බැවින් මෙලෙස මෙරට ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ප්‍රදානය කර තිබේ.

කෙසේවූවත් ජාතික ඔලිම්පික් කමිටුවේ අප්‍රේල් 25 වැනිදාට යෙදී තිබෙන නිලවරණය එදින කැදවීම කෙතෙක් දුරට සාර්ථකවේද යන්න ගැටලුවකි.ඒ ජස්වර් උමාර්ට නාමයෝජනා ඉදිරිපත් කිරීමට බාධා පමුණු වන්නේ නම් ඔහු අධිකරණය හමුවට යාමට සැරසෙන බවට පළවී තිබෙන වාර්තා හේතුවෙනි.

ඒ ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කඩ කර ඇතැයි ජස්වර්ට එහි වත්මන් විධායක සභාවෙන් එල්ලවී තිබෙන බව කියන චෝදනාවයි.

ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කඩ කර ඇතැයි ජස්වර් මහතාට එහි වත්මන් විධායක සභාවෙන් එල්ලවී තිබෙන බව කියන චෝදනාවයි. ජාතික ඔලිම්පික් කමිටුවේ පැවැති විශේෂ මහ සභා රැස්වීම ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ පැමිණීමෙන් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ පැවැති විශේෂ මහ සභා රැස්වීම ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර්ගේ පැමිණීමෙන් උණුසුම් මුහුණුවරක් ගත්තේය.එම කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 30 නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ මහ සභ රැස්වීම පැවැත්වුණි.

ජස්වර් උමාර් ඇතුළු නම් කළ ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් තිදෙනකුට මෙම විශේෂ මහ සභා රැස්වීමට සහභාගිවීමට අවසර නොලැබෙන බව ඔලිම්පික් කමිටුව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේවූවත් ජස්වර් උමාර් විශේෂ මහ සභා රැස්වීමට පාපන්දු ආයතනය නියෝජනය කරමින් අසුන් ගත් අවස්ථාවේදී මෙලෙස උණුසුම්කාරී තත්වයක් පැන නැඟුණි. එහිදී ජස්වර් පැවැසුවේ තමා සම්බන්ධයෙන් සභාවේදී පැන නැගෙන කරුණු සාකච්ඡා කිරීමේදී තමන්ට ඒ වෙනුවෙන් පෙනී සෙටීමට අවස්ථාව ලබාදීම යුක්ති සහගත වන බවයි.

ඒ අනුව පාපන්දු ආයතනයේ සෙසු නියෝජිතයන් දෙදෙනා සමග සභාවේ දිගටම රැදී සිටීමට ජස්වර්ට විරෝධයක් එල්ල නොවුණි.එක් අවස්ථාවකදී පමණක් ඔහු සභාවෙන් ටික වේලාවකට ඉවත්ව ගොස් නැවත සභා ශාලාවට ඇතුළු විය.

තමා සභාවට ඇතුළුවීම වැළැක්වීමේ යෝජනාව අනුමත කර ගැනීම සදහා ඡන්දයක් විමසන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියත් එවැනි ඡන්ද විමසුමක් සිදු නොවිණි. අවසානයේදී සිය ප්‍රශ්නය සාමකාමීව විසඳා  ගත් බව ජස්වර් පවසයි.

එහෙත් ජස්වර්ගේ ප්‍රශ්නය විසඳුනු බවට ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාවෙන් ප්‍රකාශවී නොමැති තත්ත්වයක් මත එහි අළුයට ගිනි පුපුරු තවමත් පවතින බව පැහැදිළිය.

මේ අතර මාධ්‍ය හමුවකදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් පැවැසුවේ පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ජස්වර් උමාර්ගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කරන බවයි.

සභාපති අපේක්ෂක ශිරන්ත පීරිස්

ඔහු අනවසර පුද්ගලයන් පිරිසක් සමග විශේෂ මහ සභා රැස්වීම් ශාලාවට ඇතුළුවීමට උත්සහ කළ බවට එහිදී චෝදනා කළ සුබ්‍රමනියම් ඊට අදාළව වීඩියෝ දර්ශනද මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කර සිටියේය.

එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර සිටි ජස්වර් විශේෂ මහ සභාවට ඇතුළු වූයේ තමන් ඇතුළු පාපන්දු ආයතනයේ නියෝජිතයන් තිදෙනා පමණක් බව පැවැසීය.

එය සනාථ කිරීම සඳහා පාපන්දු ආයතනය සතුවත් වීඩියෝ දර්ශන පවතින බවත් ඒ සම්බන්ධයෙන් එල්ල විය හැකි චෝදනා ගැන සැලකිලිමත් වෙමින් පාපන්දු ආයතනය වෙනම විඩියෝ දර්ශන ලබා ගැනීමට උනන්දු වූ බවත් එහිදී ඔහු පැවැසීය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජාතික ඔලිම්පික් කමිටුවේ බැංකු ගිණුම් වාර්තා ඉල්ලා සිටීමෙන් ජස්වර් උමාර් ඇතුළු අදාළ ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් තිදෙනා ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කඩ කර ඇති බැවින් ආචාර ධර්ම කමිටුව හා විනය කමිටුව වෙනම ඔවුන්ට එරෙහිව විමර්ෂණ ආරම්භ කර ඇතැයිද සුබ්‍රමනියම් පවසයි.  තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටීම එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගමයක නියෝජිතයකුට පමණක් නොව රටේ ඕනෑම පුරවැසියකුට හිමි අයිතියක් බවත් එය වැරදි නම් තොරතුරු දැන ගැනීමේ පනතෙන් පුරවැසියකුට ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි ජස්වර් එහිදී ප්‍රශ්න කර සිටියේය.

ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළගට යෙදෙන නිලවරණයෙන් තමන් වැළැක්වීමට දරන ඕනෑම උත්සහයකට එරෙහිව තමන් අධිකරණය හමුවට යාමට පසුබට නොවන බවත් ඔහු ලංකාදීපයට පැවැසීය. ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලබාදී තිබෙන උපදෙස් අනුව එය ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය.

ඔලිම්පික් ආචාර ධර්ම කඩ කිරීමේ චෝදනා ලබා සිටින නිලධාරීන් වෙතොත් ඔවුන් නිලවරණයෙන් ඈත් කළ යුතු බවත් ඔවුන් ඊට සහභාගි කර නොගත යුතු බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට එහිදී අවධාරණය කර සිටියේය. ඒ අතර ජස්වර් උමාර් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් ශ්‍රී ලංකාවට දැනුම්දී සිටියේ ජස්වර් උමාර් සම්බන්ධයෙන් මතුවී තිබෙන කාරණා අභ්‍යන්තර ගැටලුවක් බැවින් එය ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට අනුකූලව විසඳා ගැනීම ත්මන් අනුමත කරන බවයි.

නාමල් පතිරගේ