අමෙරිකාවේ පෙන්සෙල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් බෞද්ධ මධ්‍යස්ථානයේ මෙන්ම, ඔහායෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති වන්නේ ආචාර්ය සුරක්කුලමේ පේමරතන ස්වාමීන් වහන්සේය. ආණමඩුවේ සුරක්කුලමේ දී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ, මුදලක්කුලිය විජය විද්‍යාලය, කුලියාපිටිය දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරයෙන් අධ්‍යාපනය ලබා පසුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳව ගෞරව උපාධි ප්‍රථම පන්තියේ සමාර්ථයක් ලැබූ හිමිනමකි. රාජකීය පණ්ඩිත පිරිවෙන් අධ්‍යාපනය ද ලබා ඇති උන්වහන්සේ, තායිලන්තයේ මහා චුලාලංකාර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම, අමෙරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ආගමික අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශාසනරතන නාහිමිපාණන් වහන්සේ යටතේ ආචාර්ය පේමරතන හිමියන් පැවිදි දිවියට පැමිණ මෙලෙසින් බෞද්ධ දර්ශනයේ බොහෝ දේ ඉගෙනගෙන ඇති අතර අද ඒ දර්ශනය අමෙරිකාවේ සිට වඩාත් ප්‍රායෝගික ලෙස තවත් පිරිසකට දහමේ හරය – දැනුම – අරුත වටහා දෙන හිමිනමක වන්නේය. අමෙරිකානුවන්ට බෞද්ධ දර්ශනය ප්‍රායෝගික කරවීමට කටයුතු කරන නායක ස්වාමින් වහන්සේ නමක ලෙස හැඳින්වීම වඩා සුදුසුය. ඉහත සඳහන් කළ පිට්ස්බර්ග් බෞද්ධ මධ්‍යස්ථානය සහ ක්ලීව්ලන්ඩ් බෞද්ධ විහාරයේ නායක හිමි ලෙස කටයුතු කිරීමට අමතරව, පිට්ස්බර්ග් කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය ලෙස ද උන්වහන්සේ කටයුතු කරති.

ඔබ වහන්සේ අමෙරිකාවේ සිට මොන වගේ කටයුත්තක ද යෙදෙන්නෙ ?

ධර්ම ප්‍රචාරයේ හෙවත්, ධර්ම දූත මෙහෙවරක යෙදී සිටින භික්ෂුවක කිව්වොත් නිවැරදියි.

අමෙරිකාවට වැඩියෙ?

2008 දී

ඉගෙන ගත්තෙ බෞද්ධ දර්ශනය ගැන පමණ ද?

බෞද්ධ දර්ශනය සහ මනෝ විද්‍යාව

ලංකාවේ වැඩසිටියදීත් ඉගැන්වීම් සිදු කළාද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු දෙකහමාරක් විතර ඉගැන්නුවා.

අමෙරිකාවට ගිය හේතුව, යාමට හේතු වූ අරමුණ?

එතකොට මම සේවය කරමින් සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඒ කාලයේදිම වගේ මේ ඇරයුම ලැබුණෙ. මම පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී ඉංග්‍රීසි අධ්‍යාපනයට එතරම් තැනක් තිබුණෙ නැහැ. අපේ නායක හිමි, වත්මනෙහි රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරි වන පූජ්‍ය අත්තංගනේ සාසනරතන නාහිමිපාණන් වහන්සේ කුඩා කල සිට මාව ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු කළා. ඒ වගේම ඒ වෙනුවෙන් මාව සෑහෙන්න උනන්දු කළා. ඒ ආ ගමනේ දී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙර රාජකීය පණ්ඩිත උපාධිය දක්වා පිරිවෙන් අධ්‍යාපනය ලැබුවා. එතකොට මගේ වයස අවුරුදු 18 යි. ඇත්තම කිව්වොත් අමෙරිකාවට ඒමට බලපෑවේ එදා මා ලැබූ ඉංග්‍රීසි අධ්‍යාපනයයි. අමෙරිකාවට ඇවිත් ආචාර්ය උපාධිය කිරීමට පවා මුල් වුණේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමයි. පේරාදෙණියෙ උපාධිය අවසන් කරමින් සිටිය දී තායිලන්ත බෞද්ධ සරසවියක ‘MA’ උපාධිය වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ අතරවාරයේ දී සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයට අයැදුම් කළේ භාරතීය දර්ශන අංශය ගැන ඉගෙන ගන්න. ඒකටත් ශිෂ්‍යත්වයක් ලැබුණා. මේ ඔක්කෝම ඉවර කරලා පේරාදෙණියේ උගන්වමින් සිටිය දී තමයි ආචාර්ය උපාධිය කරන්න අමෙරිකාවට ඒමට හේතු වුණේ. ඒ වනවිට මෙහේ පිට්ස්බර්ග් හි ශ්‍රී ලාංකීය කණ්ඩායමක් එකතුවෙලා සංගමයක් හදලා, ඉංග්‍රීසියෙන් කටයුතු කළ හැකි හිමිනමක් සොයමින් සිටිය දී මා ගැන දැන සිටි නෑහින්නේ අරියඤාණ හිමි ඒ පිරිසට මා ගැන කියා තිබුණා. අමෙරිකානු ගමන ආරම්භ වුණේ ඒ විදිහටයි. මම එහි යන විට පිට්ස්බර්ග් හි පන්සලක් හදලා තිබුණෙ. 

අමෙරිකානු ජනතාවට උගන්වන්න පටන් ගත්තෙ එහි සිට ද?

පිට්ස්බර්ග් පළාතේ පදිංචිව සිටින ශ්‍රී ලාංකීය පිරිස අඩුයි. ඒ නිසා අරියඤාණ හිමි ඇතුළු පන්සල නිර්මාණය කළ පිරිසගෙ අදහස වුණේ, අමෙරිකානු ජාතිකයන්ට වගේම ඕනෑම කෙනකුට ධර්මය ඉගෙන ගන්න පුළුවන් විදිහෙ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න. ඉංග්‍රීසියෙන් ඒ කටයුත්ත කරන ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට මාව සම්බන්ධ කරගත්තෙ ඒ නිසයි. මම අමෙරිකාවට ගියාට පස්සෙ උන්වහන්සේ ඒ මධ්‍යස්ථානය මට බාරදීලා ලංකාවට වැඩියා. පසුව මා එක්ක පේරාදෙණියෙ ඉගෙන ගත්ත භික්ෂුවක සහ මගේ ශිෂ්‍යයන් විදිහට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත් භික්ෂූන් වහන්සේ දෙනමක් ගෙන්වා ගත්තා. අමෙරිකාවට මුලින්ම එන්න මගේ කැමැත්තක් තිබුණෙත් නැහැ. හැබැයි ආචාර්ය උපාධියක් කරන්න තැනක් හොයමින් සිටි නිසා, මෙහෙට ඇවිත් බලන්නයි මට ඕනෑ වුණේ. ඒ වෙනුවෙන් මේ පිරිස මහාචාර්යවරු පවා හමුවන්න මට අවස්ථාව සලසා තිබුණා. අමෙරිකාවට ධර්ම ප්‍රචාරය කරවීම ඉන්පසුව අපි අරමුණු කරගෙන කටයුතු කරන්න පටන් ගත්තා. මෙතැන නම් කරලා තියෙන්නෙ පිට්ස්බර්ග් බෞද්ධ මධ්‍යස්ථානය නමින්.

මොන වගේ වැඩසටහන් ද එහි සිදු කෙරෙන්නෙ?

ඉංග්‍රීසි බසින් ධර්මය ගැන දේශනා, භාවනා වැඩසටහන්, සාකච්ඡා එහෙම මුලදී පටන් ගත්තා. මෙතැන සිට පැය දෙකක විතර යාමට ගතවෙන නගරයක් තියෙනවා. ඒකෙ නම ක්ලේව්ලන්ඩ්. ඒ නගරයේ මාසයකට වතාවක් ලාංකිකයකුගේ ගෙදරට ගිහින් එහි සිට ධර්ම සාකච්ඡාවක්, භාවනා වැඩසටහනක් සහ ළමයින්ට පන්ති එහෙම පවත්වන්නත් පටන් ගත්තා. වසර 12ක් ඒ විදිහට කරගෙන යද්දී, ඒ පිරිසගේ එකතුවෙන් පන්සලක් නිර්මාණය වුණා. ක්ලේව්ලන්ඩ් බෞද්ධ විහාරය ලෙස එය නම් කළා.

බොදු දහම කෙරෙහි අමෙරිකානු ජනතාව අතර ඇති ආකල්පය සහ නැඹුරුව ගැන කතා කළොත්?

අධ්‍යාපනයක් ඇති, දැන උගත් පිරිස අතර, බුද්ධාගම ගැන තියෙන්නෙ යහපත් ආකල්පයක්. හැමෝම එය අනුගමනය නොකළත්, බුද්ධාගම යනු සාමකාමී ආගමක්, ලෝකයට ප්‍රශ්න ඇතිකරවන ආගමක් නොවේය යන ධනාත්මක ආකල්පයක් තියෙන්නෙ. ඒ වගේම කිසිම ආගමක් අනුගමනය නොකරන නිරාගමික පිරිසකුත් මෙහි සිටිනවා. හැබැයි ඒ අයගෙන් කාටවත් කරදරයක් නැහැ. ඒ වගේම ඒ අය හරියට පොත්පත් පරිශීලනය කරනවා. අන්න ඒ අයට බෞද්ධ පොතක් ලැබුණොත්, ඒක එයාලට වඩා ආකර්ෂණය වෙනවා. බුද්ධාගමේ කියන පණිවුඩය අනෙක් ආගම්වල පොත් කියවීමට වඩා වෙනසක් ඇති වග එයාලා වටහා ගන්නවා. බුද්ධාගමේ මැවීම් කතාවක් නැහැ, මනස සහ මනස මුල් කරගත් විදිහ වගේම අපට ජීවිත වෙනස් කරගන්න පුළුවන් කොහොමද කියන දේ, මානසික නිදහස අපටම ඇතිකරගන්න පුළුවනි කියන දේ, එයාලට හරි අලුත්. එයාලා ඒ ගැන අන්තර්ජාලයෙන් කියවාගෙන යද්දී, ප්‍රායෝගිකව ඒ ගැන දැන ගන්නෙ කොහෙන්ද කියලා සොයා බලාගෙන යද්දී, අපේ පන්සල ගැන දැන ගන්නවා. එවිට එයාලා අපට කෝල් කරලා, ඊමේල් පණිවුඩ එවලා, වෙලාව යොදා ගන්නවා. සෑම සතියකම ඒ විදිහට කිහිප දෙනෙක් වේලාව වෙන් කරගෙන මෙම මධ්‍යස්ථානයට පැමිණෙනවා.

ඔවුන් වෙනුවෙන් කෙරෙන වැඩසටහන් මොනව ද?

මුලින්ම එන්නෙ එයාලා අවබෝධයක් ලබාගෙන මේ තැන බලලා යන්න. ඉන්පසුව විවිධ වැඩසටහන්වලට දායක වෙනවා. සෑම බදාදාවකම අපි පවත්වන භාවනා වැඩසටහන, ධර්ම සාකච්ඡාව හැමෝටම විවෘතයි. ඉතින් ඒ විදිහට එන අයට එම වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මාසිකව ඉරිදා දිනයක පැවැත්වෙන ධර්ම සාකච්ඡාවක් සහ කෑම වේලක් සංග්‍රහ කිරීම අපේ දායක පිරිස සිදු කරනවා. ඊටත් අමතරව මෙහේ මහජන පුස්තකාල ආයතනවලදී භාවනා පන්ති නොමිලේ පවත්වන්න පුළුවන් කියලා අපි ඉල්ලීම් කළා. යෝග උගන්වන ගුරුතුමිය අපට ඒ වෙනුවෙන් උදව් කළා. ඒ අනුව සඳුදා - අඟහරුවාදා - බ්‍රහස්පතින්දා යන දිනවල මහජන පුස්තකාල තුනකදී භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. කතෝලික අය පවා බොහෝ නැඹුරුවක් ඊට දක්වනවා. භාවනාව පටන් ගන්නෙ, ධර්ම කාරණාවකුත් කෙටියෙන් පැහැදිලි කර දීලයි. ඊටත් අමතරව අවුරුද්දකට තුන් වතාවක් Introduction to Buddhism පාඨමාලාව. ඒ වෙනුවෙන් පන්ති 6ක් ඇතුළත්. සති හයක පාඨමාලාවක්.

මෛත්‍රී භාවනාව කිරීමෙන් පිළිකා රෝගයෙන් සුවය ලබන්න පවා ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න පුළුවනි!

බුදුන් වහන්සේ ගැන, බුද්ධ චරිතය ගැන, බුදුවීම කොහොම ද සිදුවුණේ යන්න බෝධිසත්ව ලක්ෂණ, බුදු වූ පසු විදිහ මොන වගේද යන්න, චතුරාර්ය සත්‍යය, කර්මය, ඇතුළු දහමේ කරුණු, ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොම ද ජීවිතයට සමීප කරගන්නෙ යන කරුණු කියා දෙනවා. මේ විදිහට කරගෙන යද්දී පාඨමාලාව කරන්න කැමති අය ලියාපදිංචි වෙනවා. අපි එය ඉතා ක්‍රමානුකූලව සිදු කරනවා. පන්සලේ ඇති පුස්තකාලයේ පොත්පත් තියෙනවා. ඉතින් ඒවා අරගෙන ගිහින් කියවීම කරන්නත් ඉඩ සලසා දෙනවා. ඒ විතරක්ම නෙවෙයි, සෑම අඟහරුවාදාකම ඒ විදිහට පොත් කියවන අය එක්ක ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. පොතක් තෝරාගෙන, පිටුවෙන් පිටුව කියා දීම එහි දී සිදු කෙරෙනවා. ඉරිදා සවස ළමුන් වෙනුවෙන් භාවනා වැඩසටහනකුත් සිදු වෙනවා. ඒ ඉල්ලීම ආවේ කොවිඩ් සමයෙන් පසුවයි. ළමයින් වෙනුවෙන් කළ හැකි දෙයක් තිබේ ද කියලා අපෙන් විමසුවාම මුලින්ම අපි Zoom තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන ගියා. ලංකාවේ ළමයින් වැඩිපුර ඊට සහභාගි වෙනවා. අමතරව අමෙරිකානු ළමයිනුත් ඉන්නවා. අද වනවිට ළමයින් අතර එය ජනප්‍රියයි. එය පැයක වැඩසටහනක්. ළමයින්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරලා, මානසික ආතතිය ඇත්නම් ඊට විසඳුම්, මතකය වැඩිකර ගැනීමට විසඳුම් ධර්ම කරුණු මගින් අපි ළමයින්ට වටහලා දෙනවා.

ඔබ වහන්සේ ආචාර්ය උපාධිය කිරීම නිසා මේ වගේ කටයුතු කරගෙන යාමට එය උපකාරි වුණාය කියලා හිතනව ද?

බෙහෙවින්ම උපකාරි වුණා. මෙහි සිටින ජනතාවට පැහැදිලිව යමක් ප්‍රකාශ කිරීමට සහ ඒ අය හිතන විදිහ දැනගන්න තරමට අපට ධර්මය ගැන සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ආචාර්ය උපාධිය කරද්දී මම ඉගෙන ගත්තෙ බෞද්ධ දර්ශනය ගැන විතරක් නෙවෙයි, අනෙක් ආගම් ගැනත් ඉගෙන ගත්තා. අමෙරිකානු ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන, එයාලට යමක් ප්‍රකාශ කිරීමට නම්, එයාලාව හඳුනාගන්න වෙනවා. ඒ නිසා ආචාර්ය උපාධිය කිරීම ඉතාම ප්‍රයෝජනවත් වී තිබෙනවා.

මෙහි සිටින සමහර අමෙරිකානු පවුල්වල දරුවන් විවාහ වනවිට, විවාහයට අත්සන් කරන්නෙ ආගමික පූජකවරයෙක්. විවාහය ලියාපදිංචි කරන්නෙ ආගමික පූජකවරු වගේ අය. බෞද්ධ වූ අමෙරිකානු අය විවාහ ලියාපදිංචිය කරද්දී අපට තමයි ඒ චාරිත්‍ර කරන්න, නැතිනම් විවාහය ලියාපදිංචි කරවන්න තියෙන්නෙ. ඒ වෙනුවෙන් බෞද්ධ විදිහට විවාහය කෙරෙන වැඩසටහන් අපි පිළියෙළ කර තිබෙනවා. සිද්ධාර්ථ – යශෝදරා කතාව එහෙම එහිදී අපි කියා දෙනවා. මේ වනවිට පන්සලේ විවාහ චාරිත්‍ර කිහිපයක්ම සිදුකර තියෙනවා. බෞද්ධාගමික විදියට කරන ඒ ක්‍රමය දැන් මෙහේ අලුත් සංස්කෘතියක් බවට පත් වෙමින් තිබෙනවා. මේ වගේ දේ නිසා ජීවිතය යහපත් විදිහට වෙනස් කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා.

මෙහේ වෛද්‍යවරු පවා රෝගී වූ අයට භාවනා කරන්න කියනවා. ආතතිය තියෙන අයට භාවනා කරන්න කියනවා. ඒ වගේ අයටත් අපට සහනයක් වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. බොහෝ පිළිකා රෝගින් පවා පැමිණ භාවනා කටයුතු කිරීම නිසා සුව වීම වෙලා තියෙනවා. අනේ මේ කැන්සර් එක හැදිච්ච නිසානෙ මම මේ විදිහට භාවනාවට යොමු වුණේ කියලා කියූ අයත් සිටිනවා. එයාලට මේ දහම ලැබීම අන් සියලු දේට වඩා සතුටක් ලෙස සලකන වග පෙනෙනවා. කීමෝ ප්‍රතිකාර ගන්නා අතරේ, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නෙ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරවීමටයි. ඒ නිසා අතුරු ආබාධ ඇතිවීම වළක්වා ගන්න මෛත්‍රී භාවනාව ඉවහල් වෙනවා. යළි නොහැදී තිබෙන්නත් මෛත්‍රී භාවනාව ඉතා යෝග්‍ය වග එයාලා වටහාගෙන ඉන්නෙ. එවැනි අයට උදව් කරන්න ලැබීම නිසා අපට තියෙන්නෙ ලොකු සතුටක්. ඒ ක්‍රමවේදය අපි ලංකාවේ පිළිකා රෝගීන්ගේ සහනය වෙනුවෙන් භාවනා කරන්න කියලා මම යෝජනා කරන දෙයක් සහ උපදෙස් ලබා දෙනවා.

සාකච්ඡා සටහන - සඳුන් ගමගේ