වේදිකාව තුළ පෙළහර පානා කලා නිර්මාණ හා කලාකරුවන් උදෙසා රාජ්‍යයක් වශයෙන් ඇගයීම් සිදුකරන රාජ්‍ය නාට්‍ය උලෙළේ ඉතිහාසය දිව යන්නේ පනහේ දශකයේ අගභාගයටය. එනම් අපේ රට තුළ රාජ්‍ය නාට්‍ය උලෙළ පළමුවරට ආරම්භ වන්නේ 1959 වසරේ ය. විවිධ හේතූන් මත වසර කීපයක් රාජ්‍ය නාට්‍ය උලෙළ අඛණ්ඩව නොපැවැත්වුණු අතර, එය 1976 වසරේ දී යළි ආරම්භ විය. ඒ අනුව ඉකුත් 2025 වසරේ පැවැත්වූයේ 52 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළයි.
රටක මහා මංගල්‍යයක් බඳු වූ රාජ්‍ය නාට්‍ය උලෙළ - මෙවර මාධ්‍යයට පවා වසන් කරමින් පැවැත්වුණු බවත්, බොහෝ නාට්‍යකරුවන්ගේ විවේචන හා දෝෂාරෝපණ ඊට එල්ල වූ බවත්, දක්වමින් නාට්‍යවේදියකු හා නීතිවේදියකු ලෙස කටයුතු කරන ආනන්ද ගුණවර්ධන ඇතුළු කීපදෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 |
| “ඉරිදා ලංකාදීප” කළ විමසුමකට පිළිතුරු දෙමින් ආනන්ද ගුණවර්ධන මෙසේ ප්‍රකාශ කළේය. |
“රාජ්‍ය නාට්‍ය උලෙළ පවත්වනු ලබන්නේ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ උපදේශකත්වය මත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වය යටතේ. එයට උපදෙස් හා උපකාර කිරීමට 1952 අංක 18 පනතට සමගාමීව කලා මණ්ඩලයත්, ඒ යටතේ නාට්‍ය උපදේශක සභාවත් (නාට්‍ය අනුමණ්ඩලය), ස්ථාපිතකර තිබෙනවා. කලා මණ්ඩල පනත 1987 අංක 44 දරන (සංශෝධිත) පනතින් ද, 2025.09.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මත නැවත 278වන පරිච්ඡේදය සංශෝධිතව ද ක්‍රියාත්මකව පවතිනවා.
278 පරිච්ඡේදයේ 2.2 ට අනුව කලා මණ්ඩලයේ අරමුණු වන්නේ ශ්‍රී ලාංකික ලලිත කලාවන් දියුණු කිරීම, පෝෂණය කිරීම හා එකී කටයුතු ශ්‍රී ලාංකිය ජනතාව වෙත ගෙනයාම දියුණු කිරීම වගේ දේවල්. කලා මණ්ඩලයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා රජයේ දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය බල මණ්ඩල සහ අනිකුත් ආයතනවලට උපදෙස් දීම වෙනුවෙන් එකී පනතට අනුව නාට්‍ය උපදේශක සභාවක් පිහිටුවා තිබෙනවා. එසේම එම සංශෝධනයේ 12 වගන්තියේ - සිංහල නාට්‍ය, දෙමළ නාට්‍ය, බටහිර නාට්‍ය, නැටුම්, සංගීතය වැනි ක්ෂේත්‍ර 09 කට අදාළව උපදේශක සභා පත් කිරීම සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. එහි ද දක්වා ඇත්තේ එකී කටයුතුවල පොදු දියුණුව සඳහා උපදෙස් දීමට සහ උපකාරී වීමට සුදුසු යැයි මණ්ඩලයට පෙනී යන අන්දමේ පුද්ගලයන්ගෙන් සමන්විත උපදේශක සභා පත්කිරීමක් ගැනයි.”
මෙසේ විධිමත් නීති හා ව්‍යවස්ථාපිත ආයතන රාමුවක් මත රටේ නාට්‍ය කලාව නගා සිටුවීමට රජයන් විසින් මග පෙන්වීම් හා පහසුකම් සලසා ඇතත් - කලා මණ්ඩලයට, නාට්‍ය උපදේශක සභාවට, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට හා අදාළ අනිකුත් ආයතනවලට අඩුම තරමේ රාජ්‍ය නාට්‍ය උලෙළවත් විධිමත්ව හා එය පැවැත්වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලවත් ළඟාකර ගැනීමට හැකි වන ආකාරයටවත් පවත්වා ගැනීමට නොහැකි වී ඇති බව ඔහුගේ අදහසයි.
“මෙම උලෙළ පැවැත්වීම සංවිධානය කරනු ලබන නාට්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අනිකුත් ආයතන තම තමන්ට පැවරී ඇති බලතල, වගකීම් හා ඉටුකළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳවත් නිසි අවබෝධයක් නැති බව ඔවුන් කරනු ලබන අනීතික හා අත්තනෝමතික ක්‍රියා දෙස බැලීමේ දී මනා ලෙස පැහැදිලි වනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ නාට්‍ය කලාවේ අභිවෘද්ධිය කෙසේ වෙතත් මේ වනවිට රාජ්‍ය නාට්‍ය උලෙළ සම්ප්‍රදායිකව පවත්වා කීපදෙනකුට සම්මාන හා සහතික බෙදාදෙන නිකම්ම නිකං සාමාන්‍ය උත්සවයක තත්ත්වයට මෙම උලෙළ පත්වෙලා තියෙන එක.”
“ඇත්තටම නාට්‍ය කලාවට ආදරය කරන නිර්මාණකරුවකු ලෙස මේ අකටයුතුකම් හමුවේ තවත් නිහඬ විය යුතු නැහැ කියලා සිතලයි මම මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඒ පෞද්ගලිකව කවුරුවත් අපහසුතාවට පත් කරන්න නෙමෙයි. අපට ඕන අපේ නාට්‍ය කලාව හරි තැනකට ගෙනයන්න. 2025 රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වූයේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි මහත්මියගේ අත්සනින් 2025.05.05 දාතමින් නිකුත් කරන ලද චක්‍රලේඛ 06/2025ට අනුවයි.
“එම චක්‍රලේඛයේ දිගු නාට්‍ය තරග කොන්දේසි 12(2) ට අනුව නාට්‍ය උලෙළේ අවසාන වටයට නාට්‍ය තෝරාගත යුත්තේ දෙවැනි වටයෙන්. එහි පොදු කොන්දේසි 5(2),5(3), 5(4), 8 යන වගන්තිවලට අනුව නාට්‍ය උලෙළේ දෙවෙනි වටය පැවැත්විය යුතුයි. එසේම දෙවැනි වටය නොපැවැත්වීමට එම චක්‍රලේඛනය මගින් කිසිදු ප්‍රතිපාදනයක් සලසා නැති අතර දිගු නාට්‍ය කොන්දේසි 10හා 11 ට අනුව ප්‍රතිපාදන සලසා ඇත්තේ අවසාන වටය නොපැවැත්වීමට හෝ එම වටයේදි සම්මාන දීම හෝ නොදීමටයි. එහි 12(11)ට අනුව පළමු වටය දී විනිශ්චය කළ යුත්තේ විනිශ්චයකරුවන් තිදෙනකු වුවත්, එය ද උල්ලංඝනය කරලා. කොන්දේසි 12ට අනුව විනිශ්චය සඳහා සහභාගි කරගත යුත්තේ ස්වාධීන විනිශ්චයකරුවන්. එසේ වුවත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ලයිස්තු මන්ත්‍රී අපේක්ෂිකාවක ද නාට්‍ය විනිශ්චයට සම්බන්ධ කරගෙන තිබුණා.”
මෙම නාට්‍ය උලෙළේ තවත් අකටයුතුකම් රැසක් සිදුවූ බව ආනන්ද ගුණවර්ධන පවසන අතර, පළමු වටය සඳහා තේරීපත් වූ නාට්‍ය අතර තිබූ 2024 යෞවන සම්මාන නාට්‍ය උලෙළේ හොඳම පිටපත හා හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වූ සජිනි අප්සරා ගේ“හයිනා ටවුන්” නාට්‍යය හා ඕවිටගල ගයාන් ගේ“දශම” යන නාට්‍ය මෙම නාට්‍ය උලෙළේ දෙවෙනි වටයටවත් සුදුසු නැති බවට විනිශ්චය මණ්ඩලය තීරණය කිරීමයි.
“ඒ වගේම තමයි 2024 වයඹ පළාත් නාට්‍ය උලෙළේ හොඳම පිටපත, නාට්‍යය හා ඇතුළුව සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ නාට්‍යවේදී ගාමිණී විජේවර්ධනගේ නාට්‍ය පිටපත රාජ්‍ය නාට්‍ය උලෙළේ මූලික වටයෙන්ම ඉවත දමා තිබුණා. වයඹ නාට්‍ය උලෙළ විනිශ්චය කිරීමට සහභාගි වෙලා තිබුණෙ නාට්‍ය උපදේශක සභාවේ සභාපති චන්ද්‍රසිරි බෝගමුව සහ එම මණ්ඩලයේ සාමාජිකයන් බව ඔහු පවසයි. අපේ රටේ විනිශ්චයකරුවන්ගේ ප්‍රමිතියක් නැති බව ඔහුගේ අදහසයි.
“ඒ වගේම තමයි නාට්‍ය උපදේශක සභාවේ සාමාජිකයන් වශයෙන් නව රජය යටතේ පත්වීම් ලැබ, උලෙළ පැවැත්වීමේ චක්‍රලේඛය සකස් කිරීමට පවා මැදිහත්ව නාට්‍ය උලෙළට ඉදිරිපත් වීමට ඉන් ඉවත් වූ දෙදෙනකුගේත් නාට්‍ය අවසාන වටයට තෝරාගෙන තිබුණා. එසේම අවසාන වටයේ තරග වැදුණු “මට සිහිනයක් ඇත” නාට්‍යයට නිෂ්පාදන වියදම සොයා දී ඇත්තේ සංස්කෘතික අමාත්‍යවරයා බව එම නිෂ්පාදකම සාක්ෂි දරනවා.
ඒ වගේම නාට්‍ය උලෙළේ අවසාන වටයට තෝරාගෙන තිබුණු “පළිගු රෑණ” නාට්‍යය පාර්ලිමේන්තුව තුළ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දී තිබුණා වගේම එම නාට්‍ය තරගය වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රඟ දැක්වීමට අවස්ථාව උදා කරගෙන අමතර වටිනාකමක් මත ප්‍රවේශ පත්‍ර අලෙවි කර ආදායම් උපයාගැනීමටත් අවස්ථාව උදාකර දී තිබුණා. එය තරගාවලියේ අවසාන වටය නියෝජනය කළ කිසිදු නාට්‍යකරුවකුට නොලැබුණු වරප්‍රසාදයක් ඒක. එම අධ්‍යක්ෂවරයා නාට්‍ය උපදේශක සභාවේ සිට තරගයට නාට්‍ය ඉදිරිපත් කිරීමට ඉන් ඉවත්වූ අයෙක්.”
මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් පෙන්වා දෙනු ලබන්නේ, පළමු වටයේ නාට්‍ය විනිශ්චය කිරීමට එකම කණ්ඩායමක් සහභාගි නොවූ බව නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් වන රුවනි මනම්පේරි මහත්මිය ප්‍රකාශ කරන බවයි. එහි සහකාර ලේකම් ආර්. එම්. සුරන්ජිත් රත්නායක ප්‍රකාශ කරනු ලබන්නේ නාට්‍ය උලෙළේ දෙවැනි වටය නොපැවැත්වීමට නාට්‍ය අනුමණ්ඩලයේ උපදෙස් මත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට හැකි බවත් දෙවෙනි වටය නොපවත්වන්නේ වැඩිපුර සල්ලි යන නිසා බවත් ය.
“අදාළ චක්‍රලේඛයේ දිගු නාට්‍ය පොදු කොන්දේසි කොටසේ 12.3 හි ‘මෙම ලේඛනය රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ උපදේශනය හා නිර්දේශ මත අර්ථකථනය කිරීම හෝ සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම හෝ නව ලේඛනයක් සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම සංස්කෘතික දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය සතුවේ.’ ලෙස සඳහන්ව තිබෙනවා. අදාළ ආයතන නීතිය පිළිබඳව අනවබෝධයෙන් මෙම වගන්තිය මත පිහිටා කටයුතු කරන බවක් තමයි දකින්නට තියෙන්නෙ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැක්කේ මේ හා සමාන කරුණක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරයක් වන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති හා තවත් අයට එරෙහි දයාරත්න හා තවත් අය (045-SLLR-1999-V-1) නඩුකරයෙන් තීන්දු වී ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුව ක්‍රියාවලියක් සිදුව පවතින විට එම ක්‍රියාවලිය අවසන් වන තෙක් අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාවකින් තොරව මැදින් අවසන් කළ නොහැකි බවයි.”
නාට්‍යවේදී ආනන්ද ගුණවර්ධන මහතා සහ තවත් පිරිසක් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මගින් නීතිය සර්ව සාධාරණව ඉටුකිරීම සම්බන්ධයෙන් හා භාෂණයේ නිදහස අහිමි කිරීමට එරෙහිව ඉල්ලා සිටින ඉදිරියේ දී පවත්වනු ලබන නාට්‍ය උලෙළවල දී එවැනි දෝෂ හා අනීතික දෑ ඇතිවීම වළක්වා, සියලු තරගකරුවන්ට සම බිමක් සෑදෙන ආකාරයෙන් සුදුසු නිර්ණායක හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීමට අදාළ බලධාරීන්ව යොමුකිරීමට අවශ්‍ය මැදිහත් වෙන ලෙස ද ඉල්ලා සිටී.
“තවදුරටත් රටේ නාට්‍ය කලාව හෑල්ලු විය යුතු නැහැ. නාට්‍ය උලෙළ ගෞරවනීය ලෙස පවත්වා, නිර්මාණකරුවන්ට නිසි ගෞරවය පිරිනමන එකක් විය යුතුයි. ඒ සඳහායි මෙවැනි පියවරක් ගන්න යොමු වුණේ. වේදිකා නාට්‍ය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන්, තරුණ නාට්‍යවේදීන් හා ප්‍රාදේශීය වශයෙන් සිටිමින් නාට්‍යකරණයේ යෙදෙන පිරිස් සම්බන්ධ කරගෙන පුළුල් හා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කළ යුතුයි.
ඒ වගේම රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වීම සම්බන්ධ යහපත් ප්‍රතිපත්ති තීරණ ගනිමින් ඊට අදාළ ක්‍රමවේද හා චක්‍රලේඛන විධිමත් පරිදි සකස් කළ යුතුයි. ඒ වගේම තමයි වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ රේඛීය අමාත්‍යාංශය හා පළාත් සභා සම්බන්ධ කර ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කළ යුතුයි. රටේ නාට්‍ය කලාව සම්බන්ධ තීන්දු තීරණ ගනු ලැබීමේ දී රට පුරා විසිරී පැතිරී සිටින නාට්‍යකරුවන් ගේ හඬට අවස්ථාවක් ලැබෙන පරිදි අදාළ ක්‍රියාවලිය හැසිරවීමට කටයුතු කළ යුතුයි වගේම, රටේ නාට්‍ය සංවර්ධනයට පැවැත්විය යුත්තේ නාට්‍ය තරගද, නොඑසේනම් නාට්‍ය උත්සවද යන්න පිළිබදව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කටයුතු කළ යුතුයි.” යැයි ඔහුගේ අදහසයි.
මේ පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. එස්. දිල්හානි මහත්මිය මෙසේ පැවැසුවාය.
රාජ්‍ය නාට්‍ය උලෙළේ විනිශ්චයේදි මුලින්ම අත්පිටපත් තෝරාගෙන ඊළග වටයට නාට්‍ය හතක් තෝරාගෙන තිබුණා. ඉදිරිපත් වූ නාට්‍යවලින් තේරී තිබුණේ නාට්‍ය හතක් නිසා වට දෙකක් අවශ්‍ය නැහැ කියලා විනිශ්චය මණ්ඩලය තීරණය කර තිබුණා.
මොකද අපි නැවත නාට්‍ය උලෙළවල් දෙකක් කරලා රජයේ මුදල් නිකරුණේ වියදම් කරනවාට වඩා අවසාන වටයට ඒ නාට්‍ය හත සුදුසු නිසා දෙවැනි වටයක් නැතිව අවසන් වටය පමණක් පවත්වමු කියා විනිශ්චය මණ්ඩලය ගත් තීරණය අපි රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලයට යොමු කළා. අනුමණ්ඩලයත් ඒ තීරණය බාර අරගෙන නිර්දේශ කර තිබුණා ඒ නාට්‍ය හතම අවසාන වටයට ගෙන යමු කියලා.
එතැනින්‍් ඉවත් වූ නාට්‍ය කණ්ඩායම්වල සාමාජිකයන් තමයි මානව හිමිකම් කොමිසමට පැමිණීලි කර තිබුණේ දෙවැනි වටයක් පවත්වන්නේ නැතිව කෙළින්ම අවසන් වටයට ගිය නිසා ඔවුන්ට අසාධාරණයන් වුණා කියලා.එයාලා කොහොමත් ඊළඟ වටයට සුදුසුකම් ලබා තිබුණේ නැහැ. අපෙන් මානව හිමිකම් කොමිසම තොරතුරු ඉල්ලා තිබුණා වගේම නීතිපති දෙපාර්තුවෙනුත් ඉල්ලා තිබුණා.
අපි ඒ තොරතුරු ලබාදුන්නා ඒක තමයි සිදුවුණේ. ඒවගේම තමයි රාජ්‍ය නාට්‍ය උලෙළ වෙනුවෙන් ම නෙමෙයිනෙ නාට්‍යකරුවො නාට්‍ය හදන්නේ. එහෙම කොන්දේසියක් අපි දාලා නෑ. ඒ නිසා ඔය චෝදනාවට ලක්වන නාට්‍යය පාර්ලිමේන්තුවේ පෙන්නපු එක මේකට අදාළ නැහැ.
සුජිත් ප්‍රසංග
නාට්‍ය උළෙලේ සමහර දේවල් පිළිවෙළක් නෑ - ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල
පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළට මගේ නාට්‍යයක් එක්වුණේ අහම්බෙන්. මොකද මේ දේවල් තුළ දිගින් දිගටම සිටීමේ බලාපොරොත්තුවක් මට නැහැ. අපේ නාට්‍යය තුළ දක්ෂ, අලුත් පිරිසක් හිටියා. ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන නිසා තමයි ඉදිරිපත් කළේ. ඒ කැපකිරීම මම කළා වගේම අවසන් වටය තේරුණා. සම්මාන දෙකකුත් ලැබුණා. ඒ ගැන මට ගැටලුවක් නැහැ වගේම විනිශ්චය සම්බන්ධවත් මට ගැටලුවක් නැහැ.
නමුත් මේ උලෙළේ සමහර දේවල්වල පිළිවෙළක් නැහැ. එක නාට්‍යයක් අවසාන වටයට තේරුණාට පසුව මොකක්හරි හේතුවක් උඩ පාර්ලිමේන්තුවේ පෙන්වන්න තෝරගෙන තිබුණා. ඒ හේතුව මොකක්ද කියලා මම දන්නෙ නැහැ.
ඒ නාට්‍යය විකල්ප නාට්‍යයක් කියලා රාජ්‍ය නාට්‍ය උලෙළෙන් බැහැරව පෙන්වන්න ඉඩදෙන්න කියලා ඒ නාට්‍යකරුවා අමාත්‍යංශයේ තිබුණු නාට්‍යකරුවන්ගේ රැස්වීමෙදි ඉල්ලා සිටියා. මමත් විකල්ප නාට්‍ය කරලා තියෙන නිසා මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි ඒක කපටිකමක්. ඒ කපටිකමට අමාත්‍යංශයයි, නාට්‍ය අනුමණ්ඩලයයි ඉඩදුන්නා කියලයි මට හිතෙන්නෙ.
අනෙක යාපනේ වගේ දුර බැහැර සිට නාට්‍ය පෙන්වන්න එන අය අතින් ලක්ෂ ගාණක් වියදම් කරගෙන නාට්‍ය කළේ. රුපියල් පන්සියයේ ටිකට් එකෙන් එන ආදායම මදි හැරෙන්නවත් රාජ්‍ය නාට්‍ය උලෙළේ.
එහෙම දේවල් තිබියදී මේ නාට්‍යකරුවා ඉල්ලා සිටියා රුපියල් දහසේ ටිකට් ගහගෙන වෙනත් තැනක එයාගෙ නාට්‍ය පෙන්වන්න. අමාත්‍යංශය ඇඟ බේරගත්තා නාට්‍යකරුවො පිටින් තියලා පෙන්වන්න දෙනවා කියලා. ඒ වෙලාවෙ මම ඇතුළු නාට්‍යකරුවො කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඔහුගේ ඉල්ලීමට ඉඩ දුන්නා ඔහුත් නාට්‍යකරුවකු නිසා. පස්සෙ තමයි තේරුණේ ඒ වැඩේ කොච්චර අසාධාරණයක්ද කියලා. යාපනය, මඩකළපුව වගේ දුර ඉඳන් එන නාට්‍යකරුවො ලක්ෂ ගාණන් අතින් වියදම් කරගෙන ඇවිත් නාට්‍ය පෙන්වලා අතේ සතයක්වත් නැතිව යනවා. කොළඹ නාට්‍ය කරුවෙක් දහසෙ ටිකට් ගහලා ලක්ෂයකට වැඩිය ලාබ ගන්නවා. ඒ අසාධාරණය මේ නාට්‍ය උලෙළහි සිදුවුණා.
දෙවැනි වටය සම්බන්ධව මට මොනවත් කියන්න බෑ. විනිශ්චය මණ්ඩලය කිව්වා දෙවැනි වටයට තෝරගන්න තරම් නාට්‍ය නැහැ නාට්‍ය 7යි තිබුණේ ඒ නාට්‍ය 7ක දෙවැනි වටයට දාලා අවසන් වටයට කීයක්ද තෝරාගන්නේ කියලා ප්‍රශ්න කළාම නාට්‍යකරුවන්ට දෙන්න උත්තර තිබුණේ නැහැ. මමත් නිශ්ශබ්ධව හිටියා ඒක විනිශ්චය මණ්ඩලය තීරණය කළ නිසා. චක්‍රලේඛයේ තියෙනවා තමයි. එතැන විවාදාත්මක තත්ත්වයක් තිබුණා. තේරුවේ හත නම් තව වියදම් කරලා දෙවැනි වටයක් තියන එක තේරුමක් නැහැ. ඒක අපට පිළිගන්න සිදුවනවා.
ඉදිරිපත් වූ නාට්‍ය අතරින් දෙවැනි වටයට තරුණ සේවා සභාවේ යෞවන සම්මාන දිනූ නාට්‍ය දෙකක් තෝරලා තිබුණෙ නැහැ. මමත් බලලා නැහැ ඒ නාට්‍ය දෙනකම්. ඒ නිසා අපට කියන්න බැහැ අවසන් වටයට එන්නම ඕන කියලා. මීට පෙරත් රාජ්‍ය අවසාන, දෙවැනි වටවලට යෞවන සම්මන නාට්‍ය තේරුණේ නැති අවස්ථා තියෙනවා. තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළේ අනෙක් නාට්‍ය එක්ක තරග වදින කොට තීරණ වෙනස් වෙන්න පුළුවන්. ඒක විවාධාත්මක දෙයක්.
හැබැයි මේ දේවල්වලින් පැහැදිලිවන්නේ නිශ්චිත වැඩපිළවෙළක් නැති එක. තම තමන්ට ඕන විදියට උලෙළ භාවිතා කරන්න අවකාශ ලැබෙනවානකම් එ්ක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. ඒක මඟ හැර ගන්න ඕන කියලයි මගේ අදහස.
අපට සුරංගනා ලෝකයක් පෙන්වා නාට්‍ය උළෙලේ දෙවැනි වටය අහිම් කළා - තරුණ නාට්‍යවේදී ගයාන් ඕවිටිගේ
මම රාජ්‍ය නාට්‍ය උලෙළට නාට්‍යයක් ඉදිරිපත් කරන්නේ ප්‍රථම වතාවට. මිට පෙර ටවර් හෝල්, යෙවන සම්මාන උලෙළවලට නාට්‍ය ඉදිරිපත් කර තියෙනවා. ඇත්තටම මේ වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ චක්‍රලේඛය දිහා බැලුවම පසුගිය වසරවලට වඩා ධනාත්මක එකක් තමයි තිබුණේ. අලුත් නාට්‍ය ශිල්පීන් ලෙස ඒ ගැන සතුටක් තිබුණා අපට. මිට පෙර තිබුණේ පිටපත් තෝරගන්නවා. දෙවැනි වටයට රාජ්‍ය අනුග්‍රහය එක්ක නාට්‍යය පෙන්වන්න තැනක් දෙනවා.අවසාන වටයට තෝරගන්නවා.
මේ සැරේ තිබුණේ පිටපත් තෝරගන්නවා. විනිශ්චය මණ්ඩලය ලංකාවේ ඕනෑම තැනකට ඇවිත් පළමු වටයේ නාට්‍ය බලනවා. අපි මුදල් වියදම් කරලා එය සංවිධානය කරගන්න ඕන. එතැන පොඩි ගැටලුවක් තිබුණේ එයාලා අපට සූදානම් වෙන්න කියලා කිව්වෙ හදිසියේම. මම මගේ නාට්‍යය පළමු වටයට පෙන්නුවේ ටවර් හෝල් එකේ මගේ වියදමින්. පසුව නාට්‍ය උත්සවයක් ලෙස දෙවැනි වටයක් තියෙනවා කිව්වා තෙවැනි වටය තමයි අවසන් වටය.
මෙහිදී මම මගේ නාට්‍යය ඉදිරිපත් කළේ දෙවැනි වටයට තේරෙන පරිදි. නමුත් පසුව දෙවැනි වටයක් නැහැ කියලා ලියුමක් එවුවා. ඉදිරිපත් වූ නාට්‍ය 14න් 7ක් අවසන් වටයට තේරුවා.
මේ පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන්ට කතා කරාම කිව්වේ නාට්‍ය නැහැ කිව්වා දෙවැනි වටයක් තියන්න.පසුව අපි කැපුණු නාට්‍ය බැලුවා .එතැන අගැයීමට ලක්විය යුතු නාට්‍ය තිබුණා. අපි මේකට විරෝධතා දක්වාඇමතිවරයාපවා දැනුම්වත් කළා. අවසන් වටයට තේරුණු නාට්‍ය කණ්ඩායම්වල අයත් එකතු වී ලියුමක් දුන්නා මේ ගැන හේතු දක්වන්න කියලා.
අපි අලුත් නාට්‍ය ශිල්පීන්. අපට ලොකු සුරංගනා ලෝකයක් පෙන්වලා දෙවැනි වටය නැති කළා. කලින් වසරවල තිබුණට වඩා පහත් මට්ටමට වැටුණා. හොඳ දෙයක් කරන්න චක්‍රලේඛ ගැහුවට වැඩක් නෑ.
මම තරුණ නාට්‍යකරුවකු ලෙස මේ සැරේ නාට්‍ය උලෙළ පිළි ගන්නේ නැහැ. ගොඩක් අයගේ විරෝධයක් තියෙනවා මේ ගැන. කලාකරුවො කියන්නෙ බොහොම අහිංසක පිරිසක්. මේවගේ දේවල්වලට නඩු දාගෙන කටයුතු කරන්න අපට බැහැ.
නිලධාරීන් මේක තේරුම් ගන්න ඕන අසාධාරණයක් කියලා. හැමෝම ඇඟ බේරගත්තා. මම ඉන්නෙ අම්පාරේ. අරන්තලාව කියන ග්‍රාම සේවා වසමේ පාසලක ගුරුවරයතු ලෙස මම වැඩකරන්නේ. මට කොළඹ යන්න එන්න පවා විශාල වියදමක් යනවා. අපි එහෙම කැපවීමක් කරන්නෙ කලාව වෙනුවෙන්. ලොකු කළකිරිමත් තියෙනවා පසුගිය රාජ්‍ය නාට්‍ය උලෙළ ගැන තරුණ නාට්‍යකරුවකු ලෙස.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd