භාණ්ඩ සීමාව ගැන ආර්ථික විද්‍යා විශ්ලේෂණයක්

 

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට ආනයන සීමා දැඩි කරමින් මුදල් අමාත්‍යාංශය විශේෂ ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ එම ආනයන සීමා ක්‍රියාත්මක කරන බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ඒ අනුව ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී බදු පැනවීමක්ද සිදු කෙරේ. භාණ්ඩ ආනයනය කිරීමේදී බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.   


මෙම තත්ත්වය හමුවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, රෙදි සෝදන යන්ත්‍ර වැනි දේවල්වල මිල ඉහළ යාමක් සහ එම භාණ්ඩ හිඟවීමේ අවදානමක්ද පවතියි. කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු මෙන්ම පිටි සහ පිටි ආශ්‍රිත අාහාර වර්ගද මෙම සීමාවට යටත්ය.   


මෙම භාණ්ඩවලට සීමා පැනවීම තුළින් සිදු​ෙවන බලපෑම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා:-   


මේ ආනයන සීමා කරන්නේ රට තුළ ඩොලර් හිඟයක් මතුවී ඇති නිසා. මේ ඩොලර් නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි 1948 ඉඳලා රටේ ආර්ථිකය මෙහෙය වුණ ආකාරය. අපේ ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්ව තුනක් හඳුනා ගත්තොත් පළමු පාර්ශ්වය රජය දෙවැනි පාර්ශ්වය තමයි රටේ ජනතාව රටේ භාණ්ඩ පරිභෝජනය කරන. තුන්වැනි පාර්ශ්වය තමයි ඔය ආනයන, අපනයනයට සම්බන්ධ පාර්ශ්වය.   


එතකොට 1948 ඉඳලා මේ දක්වා හැමදාම අපේ අපනයන ආදායමෙන් උපයා ගන්න ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආනයන වියදම සිදු කරලා තිබෙනවා. දළ වශයෙන් සෑම වසරකම සාමාන්‍ය වශයෙන් බැලුවහොත් ඩොලර් බිලියන 7.14 ක වගේ හිඟයක් මෙතෙක් ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ ලෝකයෙන් ණයට බිලියන 7ක් වගේ භාණ්ඩ සෑම වසරකම රටට ගෙන්වලා තිබෙනවා. රට අභ්‍යන්තරය ගතහොත් රජය විසින් සෑම වසරකම රජයේ පාර්ශ්වයෙන් රජයේ ආදායම් වියදම් එන්නේ බදුවලින්. එතකොට මේ ආදායම් සුභ සාධන සහ ප්‍රාග්ධන වියදම් හැමදාම මේ ආදායම් වියදම් අතර සාමාන්‍ය පරතරය ඍන 7% ක් විතර වෙනවා. ඒ කියන්නේ රජයට ලැබෙන ආදායමට වඩා වියදම් කරලා තිබෙනවා. ඒකත් ණයට. එතකොට රට අභ්‍යන්තරයේ වුණ ණයයි, රටේ බාහිර ආර්ථිකයත් ණයයි. මේ එකතුවෙලා ඇවිල්ලා තමයි විශාල ණය අර්බුදයකට මුහුණ දුන්නේ. එක පැත්තකින් ඩොලර්වලින් ණය අර්බුදයක්. අනික් පැත්තෙන් රට අභ්‍යන්තරයේ රුපියල්වලින් ණය අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව තමයි සමස්ත රටේ අර්බුදයක් නිර්මාණය වෙන්නේ.   


එතකොට මෙයට විසඳුම හැටියට අපි දැනට කරන්නේ අර එළියෙන් එන අර්බුදය විසඳන්න තමයි මේ ආනයන සීමා දාලා තිබෙන්නේ. මේ සංඛ්‍යාත්මක ලෙස සීමා පනවලා තිබෙන්නේ අන්න ඒ නිසයි. එතකොට අපි අඳුන ගන්නෙ නැති දෙයක් තමයි රටේ සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන පැස දිහා බැලුවොත් ඒ පරිභෝජන පැස තුළ විශාල වශයෙන් තිබිලා තිබෙන්නේ පිටරටින් ගෙනෙන දේවල්. එතකොට ඔවුනුත් පරිහරණය කරලා තිබෙන්නේ ඩොලර් තමයි.   


ඊළඟට තිබෙන්නේ සුභසාධනයෙන් ලැබෙන ප්‍රමාණය. රටේ ජනතාව අපි පිනවලා තිබෙන්නේ මෙතෙක් ණයට. එතකොට කලින් සඳහන් කළ පාර්ශ්ව තුනම ණයට තමයි හැසිරිලා තිබෙන්නේ. ආනයන - අපනයන වෙ​ෙළඳාම ණයට ගියා. රජය ණයට වැඩකටයුතු කළා. ජනතාවත් බොහෝ වේලාවට අර ණයට තිබෙන භාණ්ඩ තමයි පරිභෝජනය කරලා තිබෙන්නේ. අර ‘‘නැවෙන් කටට’’ කියන ප්‍රතිපත්තිය වගේ. එතකොට මේ ආනයන සීමා කිරීම තුළ සිදුවුණේ රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන් අන්තර් භාණ්ඩ පවා ගෙනාවේ පිටරටින්. හොඳම උදාහරණයක් තමයි ඇඟලුම් කර්මාන්තය. ඒ කර්මාන්තය දිහා බැලුවොත් ඇඟලුම් නිෂ්පාදනයට ගෙනෙන අමුද්‍රව්‍ය 80% ක් වගේ ප්‍රමාණයක් පිටරටින් ගෙනාවේ. එතකොට ඇඟලුම් කර්මාන්තයට මේක බලපානවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිහා බලපුවහම ඔවුන්ගේ කර්මාන්ත 80% ත් 90% ත් තරම් ප්‍රමාණයක් යැපුනේ දේශීය අමුද්‍රව්‍යවලට වඩා අර පිටරටින් ගෙනෙන අමුද්‍රව්‍ය මත. අපි යෝගට් කෝප්පය පවා හදන අමුද්‍රව්‍ය පිටරටින් ගෙනෙන්නේ. කෘෂිකර්මාන්තය, පොලිතින් කර්මාන්තය ගත්තත්, තීන්ත කර්මාන්තය ගත්තත් ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්. එතකොට මේ ආනයන පාලනය නිසා ඩොලර් නැති නිසා සිදුවන්නේ සමස්ත රටේ ආර්ථිකයම අඩපණ වීමක්, එක් පැත්තකින් සිදුවෙනවා. ඒක තාවකාලික ඩොලර් හිඟයට පිළියමක් වේවි මේ ආනයන සීමා පැනවීම. මෙන්න මේක සංකීර්ණ තත්ත්වයක්. රටේ සමස්ත පරිභෝජනයට බලපානවා. ගෑස් හිඟයක් මතු වුණා. ඒ වගේම අර කර්මාන්තවලට අවශ්‍ය අන්තර් භාණ්ඩත් සියල්ලම හිඟවෙනවා. ඒ නිසා මේක රටේ ආර්ථිකය ආපස්සට යන්න බලපාන හේතුවක් වෙලා තිබෙනවා.   


එතකොට රජයක් හැටියට අපට ඉතුරු වෙලා නැහැ ප්‍රතිපත්ති තීරණ. මොකද ආර්ථිකය එතරම් දුර්වල තැනක තිබෙන්නේ. ඒක හරියට යුද්ධයකින් පැරදිලා ඉන්න ජාතියකට නැවත යුද්ධයකට ආරාධනාවක් කරනවා වගේ. අපේ ආර්ථිකය දුර්වල වෙලා, දුර්වල වෙලා ආව තැනකදී කොවිඩ් වසංගතයටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා එදිනෙදා ලැබෙන ඩොලර් ප්‍රමාණයක් අපට අහිමි වුණා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඩොලර් අහිමි වුණා. අපනයන ආදායම අහිමි වුණා.  


දැන් ඇතැම් භාණ්ඩ ආනයන සීමා කිරීම තුළින් අනිවාර්යයෙන්ම භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවෙනවා. යම් කිසි භාණ්ඩ සුලභ වුණාම සරල ආර්ථික න්‍යායක් තමයි සැපයුම වැඩි වුණාම ඉල්ලුම එක මට්ටමක තිබියදි මිල පහත යනවා. උත්සව කාලය තුළදි අපේ රටේ පොල් තෙල් මිල, බිත්තර මිල, කුකුළු මස් මිල ඉහළ යනවා. එයට හේතුව තමයි සැපයුම ස්ථාවර තිබියදි ඉල්ලුම ඉහළ යනවා. දැන් මේ අවස්ථාවේ සිදුවී තිබෙන්නේ ඉල්ලුම ස්ථාවරව තිබෙනවා. රටේ ජනතාව ඉල්ලනවා. ඒත් භාණ්ඩ ගෙන්වන එක සීමා කරලා තිබෙනවා. අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තේ කුමක්ද? සිදුවන්නේ මිල ඉහළ යන එකනේ. අනිවාර්යයෙන්ම සියලු උපකරණවල හිඟයක් ඇති වෙනවා. ඒවායේ මිල ඉහළ යනවා.  
ඒ වගේම තත්ත්වයෙන් බාල භාණ්ඩ රටට එන්න පුලුවන්. හොර රහසේ රටට බඩු එන්න පුළුවන්. මෙයට පෙර 1977 වසරේ ආනයනය සීමා කිරීම නිසා මේ වගේ දේවල් සිද්ධ වුණා. කූඨ මාර්ග තුළින් රටට භාණ්ඩ එන්න පුළුවන්. විදුලි උපකරණ, ඇඳුම් ආයිත්තම්, රත්‍රන් භාණ්ඩ ගෙන්වලා කූඨ උපක්‍රම මගින් විවිධ වාසි ලබාගන්න පුළුවන්. තවත් අපි නොහිතන ප්‍රශ්න රාශියක් මේ තුළින් නිර්මාණය වෙන්න ඉඩ තිබෙනවා. මේ භාණ්ඩ ආනයනය සීමා කිරීම නිසා. උදාහරණයක් වශයෙන් බැලුවොත් ගෙදර ශීතකරණය තමයි සීමා වෙන්නේ කියලා අපි හිතුවොත් ඒක අපිටයි දැනෙන්නේ. දැන් පලතුරු යුෂ අළෙවි කරන වෙළෙන්දෙක් ගත්තොත් ඔහුගේ වෙ​ෙළඳාමට මොකද වෙන්නේ. ඒ ශීතකරණය පාවිච්චි කරන්නේ අපි ගෙදර පාවිච්චි කරන ආකාරයට නොවෙයි. මෙය ඔහුගේ වෙ​ෙළඳාමට අවශ්‍ය අන්තර් භාණ්ඩයක්. නිෂ්පාදනය කරන්න අවශ්‍ය යන්ත්‍රයක්. ඒකත් සීමා වෙනවා.  
දැන් චීස්, බටර්, මැකරෝනි, නූඩ්ල්ස් වගේ ආහාර සීමා කරලා තිබෙනවනේ. දැන් අවන්හලක් පවත්වාගෙන යන සාමාන්‍ය කෙනෙක් ගත්තොත් චීස්, බටර්, කොත්තු, මැකරෝනි වගේ දේවල්වලට සීමා පැනවෙනවා. එතකොට අවසානයේ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යනවා. භාණ්ඩ හිඟ වෙනවා. ඒ වගේම නිෂ්පාදනය රට තුළ අඩපණ වෙනවා. අනිවාර්යයෙන්ම මෙම ආනයන සීමා පැනවූ භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒවායේ ගුණත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ කූට මාර්ගවලින් රටට එන්න පුලුවන්.

 

 

 

 

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර