IMG-LOGO

පවුලේ රහස් පොතක ලියා වාර්තා තැබූ හැරී කුමරා

දින පහකදී පිටපත් ලක්ෂ විස්සක් අලෙවි වෙලා 

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ගේ චරිතාපදාන කෘතිය ‘ස්පෙයාර්’ Spare මහත් ආන්දෝලනයක් ඇති කළා පමණක් නොව, ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය. ඒ, එළිදැක්වූ සැණින්, එක් දිනක් තුළ, උණු කැවුම් මෙන් අලෙවි වෙමින්, වැඩිම අලෙවියක් වාර්තා කළ, ප්‍රබන්ධ නොවන කෘතිය ලෙසිනි. 

‘ස්පෙයාර්’ එළිදැක්වීම සිදුවූයේ පසුගිය ජනවාරි 10 වැනිදාය. බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, කැනඩාව යන රටවල හැරී කුමරුන්ගේ චරිතාපදානය පළමු දිනයේදීම පිටපත් මිලියන 1.43ක් අලෙවි වුණු බව බටහිර මාධ්‍ය වාර්තා කර ඇත. ‘ස්පෙයාර්’ එළිදැක්වීම සිදුවූයේ භාෂා 16 කට පරිවර්තනය කරමින් වීම ද විශේෂත්වයකි. මීට පෙර, එළිදැක්වූ පළමු දිනයේ, වැඩිම අලෙවියක් වාර්තා කළ ප්‍රබන්ධ නොවන කෘතිය ලෙස ගිනස් වාර්තාව අතරට එක් වී තිබුණේ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා විසින් රචනා කරනු ලැබූ ‘අ ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්’ කෘතියයි. ‘අ ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්’ එළිදැක්වීම සිදුවූයේ 2020 වසරේදීය. ඔබාමාගේ ‘අ ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්’ පළමු දිනයේදී පිටපත් අටලක්ෂ අසූහත්දහසක් අලෙවි වී තිබේ. හැරී කුමරුගේ කෘතිය ප්‍රකාශයට පත් කළ ‘පෙන්ගුයින් රැන්ඩම් හවුස්’ ප්‍රකාශන ආයතනයේ නිවේදනයකට අනුව, මේ වන විට එම කෘතියේ දෙවැනි මුද්‍රණය ද වෙළෙඳපොළට නිකුත් වී අවසන්ය. මේවනවිට පළමු මුද්‍රණයේ පිටපත් මිලියන 2 ක් දින 5 ක් ඇතුළත අලෙවි වී අවසන්ය. ‘ස්පෙයාර්’ පිටු 416 කින් සමන්විතය.   


‘ස්පෙයාර්’ Spare යනු හැරී කුමරුන්ය. පොත නම් කර ඇත්තේ ඒ අනුවය. හැරී කුමරුන් ‘ස්පෙයාර්’ යනුවෙන් සිය චරිතාපදානය නම් කර ඇත්තේ, තමන් උපන් වේලේ තම පියා චාල්ස් කුමරු (වත්මන් චාල්ස් රජු) හැරී කුමරු හැඳින්වීමට යොදා ගත් ‘අන්වර්ථ නාමය’ එය වූ බැවිනි. රජ පවුලේ කිරුළ හිමි වන්නේ වැඩිමල් පිරිමි දරුවාටය. චාල්ස් රජුගෙන් පසු කිරුළ හිමි වන්නේ හැරී කුමරුන්ගේ අයියණ්ඩිය වන විලියම් කුමරුන්ටය. ‘ස්පෙයාර්’ Spare යනු ‘අතිරේක’ එසේත් නැතිනම් ‘අමතර’ අර්ථයයි. රජ පවුලේ දෙවැනි පුත්‍රයා ‘ස්පෙයාර්’ ලෙස හැඳින්වීම සම්ප්‍රදාය බව පැවැසෙයි. එය අපහාසාත්මක වදනක් නොවෙයි. එසේ හැඳින්වෙන්නේ වැඩිමල් පුතු යම් අවාසනාවන්ත ඉරණමකට ලක් වුවහොත් රජකම බාර ගැනීමට සිටින ඊළඟ සුදුස්සා යන අරුතිනි. එදා චාල්ස් කුමරු, පුතු හැරී කුමරු පළමුවෙන් ‘ස්පෙයාර්’ කියා හඳුන්වා ඇත්තේ හැරී කුමරු උපන් වේලාවේ ඩයනා කුමරියට ස්තුති කරමිනි. එය සිහිපත් කරමින් තමන් තමන්ගේ චරිතාපදානය ‘ස්පෙයාර්’ යන නමින් නම් කළ බව හැරී කුමරු පැහැදිලි කර තිබේ. 

 
හැරීගේ මව ඩයනා කුමරිය වුවත්, හැරීගේ සැබෑ පියා චාල්ස් නොවන බවට රාවයක් අතීතයේ සිට පැවත එයි. ඒ ගැන ද චරිතාපදානයේ සඳහන් වෙයි. ඇතැමුන්ගේ අදහස හැරී කුමරු, ඩයනා කුමරියගේ පැරැණි පෙම්වතකු වූ මේජර් ජේම්ස් හුවෙට්ගේ බවය. හැරී කුමරු, චාල්ස්ගේ දරුවකු නොවන බවට රාවයක් පැතිර ගියේ හැරීට ඇත්තේ රතු හිස කෙස් නිසාය. මේජර් ජේම්ස් හුවෙට්ට ඇත්තේ ද රතු හිස කෙස්ය. හැරී කුමරුන්ගේ කෘතියේ සඳහන් ආකාරයට, පියා චාල්ස් අවස්ථා ගණනාවකදී, හැරී කුමරුන් සමඟ බහින්බස් වෙද්දී, හැරී කුමරු තමන්ගේ දරුවකු නොවන්න පුළුවන් යැයි පවසා ඇත. ඊට තමන්ගේ සිත පෑරුණු බව හැරී කුමරු සිය කෘතියෙහි සඳහන් කර තිබේ.   


අවාසනාවන්ත අයුරින්, ඩයනා කුමරිය රිය අනතුරින් මියයද්දී හැරී කුමරුන්ගේ වයස අවුරුදු 12 කි. එම අවස්ථාවේ තමා සහ විලියම් කුමරු ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගාවේ (දෙවැනි එලිසබත් මහ රැජින අවසන් සුසුම් හෙළු‍වේ මෙම මාලිගයේදීය) නිඳා සිටි බවත්, පියා චාල්ස් කුමරු පැමිණ ඔහු සැනසීමට උත්සාහ කළ බවත් හැරී කුමරු සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ. ‘ඔවුන් (​​වෛද්‍යවරුන්) හුඟක් උත්සාහ කළා. ඒත් ඇය බේරා ගන්න බැරිවුණා’ යනුවෙන් එදා චාල්ස් කුමරු කී වදන් තමන්ගේ සිතට තදින් කා වැදුණු බව හැරී කුමරු පවසා ඇත. හැඟීම්වලින් තොර තැනැත්තකු වුණු චාල්ස් තමන් වළඳගෙන සැනසුවේ හෝ නැතැයි ද හැරී වැඩිදුරටත් පවසා තිබේ. ‘හැමදේම හරි යාවි’ යැයි චාල්ස් කුමරුන් එදා පැවැසුවත්, එතැන් පටන් කිසිවක් හරි නොගිය බව හැරී කුමරු සිය චරිතාපදානය හරහා පැහැදිලි කර ඇත. මව ඩයනා කුමරිය මියගිය අවස්ථාවේ තමන් කඳුළු සැලු‍වේ නැති බවත් එම අවස්ථාවේ තමන් සිටියේ ලොකු කම්පනයකින් බවත් හැරී කුමරු වැඩිදුරටත් පවසා තිබේ.   


2022 වසරේ ඇමෙරිකාවේ සිට එක්සත් රාජධානිය බලා තමන් පැමිණියේ රෝගී වී සිටි දෙවැනි එලිසබත් මහ රැජින බැහැදැකීමට බවත්, රැජින මියගිය බව තමන් දැන ගත්තේ එංගලන්තයට ගොඩබැසීමෙන් පසුව බවත් හැරී කුමරු අනාවරණය කර ඇත. විලියම් කුමරු සහ රජ පවුලේ සෙසු සාමාජිකයන් රැජින මියගිය අවස්ථාවේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයට ගිය නමුත්, තමන්ට එහි යෑමට අවසර නොලැබුණු බවත් හැරී කුමරු පවසා තිබේ.   


හැරී කුමරු සිය පළමු ලිංගික අත්දැකීම ද ‘ස්පෙයාර්’ චරිතාපදානයට ඇතුළත් කර තිබීම, කාගේත් මවිතයට හේතුවකි. පළමු ලිංගික අත්දැකීම ලබද්දී, හැරී කුමරුන්ගේ වයස අවුරුදු 16 ක් හෝ 17 ක් පමණ වන්නට ඇතැයි ඔහු චරිතාපදානය අඩංගු වන විස්තරවලින් පැහැදිලි වෙයි. කුමරු එම ලිංගික අත්දැකීම ලබා ගෙන ඇත්තේ වැඩිමහල් කාන්තාවක ඇසුරු කරමින් බවත්, එම තැනැත්තිය අශ්වයන්ට කැමැති අයකු බවත් හැරී පවසා ඇත. කාන්තාවගේ අනන්‍යතාව හැරී කුමරු අනාවරණය කර නැති නමුත් බොහෝ දෙනකු පවසා ඇත්තේ එම තැනැත්තිය බ්‍රිතාන්‍ය නිළියක මෙන්ම මෝස්තර නිරූපිකාවක ද වන ලිස් හර්ලි විය හැකි බවය.   


විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් සහ හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල් අතර ගැටුම ද හැරී කුමරු සිය චරිතාපදානය හරහා විස්තර කර තිබේ. හැරී සමඟ විවාහ වෙද්දී මෙගාන් මාකෙල් අසාර්ථක විවාහයකින් පසු දික්කසාද වූ ඇමෙරිකන් තරුණියකි. ඇය ඇමෙරිකන් කළු ජාතික සම්භවයක් ඇති තැනැත්තියක ද වන්නීය. ටෙලි නිළියක ලෙස මෙගාන් ජනප්‍රිය වූයේ ‘සූට්ස්’ නමැති රූපවාහිනී ටෙලි කතා මාලාවෙනි. හැරී සහ මෙගාන්ගේ විවාහය සිදුවූයේ 2018 දීය. කේට් මිඩ්ල්ටන් සහ මෙගාන් මාකෙල් අතර නොහොඳ නෝක්කඩු එසැණින් ආරම්භ වී තිබේ. අවස්ථා ගණනකදී මෙගාන් හැඬූ කඳුළින් සිටි බව ද හැරී අනාවරණය කර ඇත. විලියම් කුමරු, මෙගාන්ගේ මූණට ඇගිල්ල දිගු කර මෙගාන්ට දොස් නගා තිබේ. ඒ, මෙගාන් නොදැනුවත්වම කේට් සම්බන්ධයෙන් කළ විහිළුවකටය. එම සිත් පෑරුණු විහිළුවට පාදක වූයේ කේට් මිඩ්ල්ටන්ගේ පුතු ලු‍වීගේ උපතය.   
තම අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව ද හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබේ. ඒ මෙගාන් සම්බන්ධයෙන් හටගත් බහින්බස් වීමක් දුරදිග යෑමෙනි. තම අයියණ්ඩිය තමන්ට බිම වැටෙන්න පහර දුන් බව ද හැරී කුමරු පවසා ඇත. හැරී කුමරු මෙන්ම විලියම් කුමරු ද බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කර තිබේ. බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු ‘ස්පෙයාර්’ හරහා පවසා ඇත. හැරී කුමරු ඇෆ්ගනිස්තානයේ ඝාතනය කළේ තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන් නොව සිවිල් වැසියන් 25 දෙනකු යැයි ඇෆ්ගන් තලේබාන් රජය පසුව ඊට පිළිතුරු දීමක් ද සිදු කර තිබේ.   


  ඩේලිමේල් ඇසුරිනි   

 

 

ලු‍සිත ජයමාන්න   

 



අදහස් (0)

පවුලේ රහස් පොතක ලියා වාර්තා තැබූ හැරී කුමරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1318 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site