
ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍යාධිකාරී තනතුර හෙවත් මුල් පුටුවට ගිය පළමු කාන්තාව ඇය වන්නීය. එකල මූල්‍ය ක්ෂේත්‍රයේ දී බොහෝ දෙනා ඇය හැඳින්වූයේ ‘අයන් වුමන්’ යන අන්වර්ථ නාමයෙනි. ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරිනිය වී ලංකා බැංකුවට අලෝකයක් ගෙන දීමට මූලික වූ ඇය කාන්තා ලෝකයට අරුතක් ලබාදුන් කාන්තාවකි. විශ්‍රාම යාමෙන් අනතුරුව සෙලාන් බැංකුව බිහිකිරීමට දායක වූ ඇය පසුව LOLC සමාගමේ සභාපතිනිය ලෙස එම ආයතනයට ලබාදුන් නායකත්වය ද පැසසිය යුතුමය. අද විශ්‍රාමික සුපිරි තරු විශේෂාංගය හැඩ කරන්නේ මෙරට බැංකු ක්ෂේත්‍රයේ පළමු කාන්තා සාමාන්‍යාධිකාරිවරිය වූ රෝහිණී නානායක්කාර වන ඒ අපූරු චරිතයයි.
සම්පූර්ණ නම?
රෝහිණී ලැටිෂියා නානායක්කාර
ගම?
හැදී වැඩුණෙ කොළඹ. ඒ නිසා අපේ ගම වුණේ කොළඹම තමයි.
පාසල් ගියේ?
කුඩා කාලයේ දී පාසල් කීපයකටම ගියා. අන්තිමට ගියේ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයට.
මොන වගේ පවුලක කෙනෙක් ද?
අපේ පවුලේ ඔක්කොම හත් දෙනෙක් හිටියා. අයියලා, අක්කලා, මල්ලිලා සහ මම. අපේ තාත්තා වෛද්‍යවරයෙක්. මගේ ලොකු අයියත් ඩොක්ටර්. තව අයියා කෙනෙක් ඉංජිනේරු. අක්කා ටීචර් කෙනෙක්. අනෙක් අයියා ලෝයර් කෙනෙක්. මල්ලි විදේශයක හිටියෙ. අද ෆැමිලි එකේ ඉතුරුවෙලා ඉන්නෙ මම විතරයි. මම පවුලේ හයවැනියා. අම්මා තාත්තා දෙන්නත් නැහැ.
විවාහයෙන් පසු ඔබගෙ පවුලේ විස්තර කොහොම ද?
මම විවාහ වෙලා හිටියෙ නානායක්කාර ෆැමිලි එකේ සිරිල් නානායක්කාර එක්ක. එයා කටයුතු කළේ විදේශ සේවයේ. අපට පුතාලා දෙන්නයි. ලොකු පුතා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. දෙවැනි පුතා ලංකාවේ. එයාගෙම කම්පැනි එකක් කරගෙන යනවා. දෙන්නම යුනිවර්සිටි ගිහින් හොඳට ඉගෙන ගත්තා.
එදා ඔබතුමියගෙ අරමුණ වුණේ මොකක්ද? පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ දී ?
ඒ දවස්වල මම කිව්වනෙ පාසල් කීපයකටම ගියා කියලා. ඒකට හේතුව තාත්තාට නිතර ට්‍රාන්සර් වෙන්න ලැබුණ නිසයි. පාසල් හතර පහකට ගිහින් මම උසස් පෙළ සමත් වුණේ මෙතෝදිස්ත විද්‍යාලයෙන්. ඉන් පස්සෙ යුනිවර්සිටි තේරුණා. කලා අංශයේ උපාධිය ලබා ගත්තෙ. මට ඒ කාලයේ එහෙම ලොකු අරමුණක් තිබුණෙ නැහැ. විශේෂ දක්ෂතා දැක්වුවෙත් නැහැ. පේරාදෙණිය යුනිවර්සිටි එකෙන් උපාධිය ලබාගෙන, මුලින්ම රැකියාවක් කරන්න පටන් ගත්තෙ ලංකා බැංකුවෙ.
ඉස්සර කාන්තාවෝ රස්සා කළේ නැහැනේ. අද සම සමව පිරිමි එක්ක කාන්තාවෝ වැඩ කරනවා. එහිදී කාන්තාවන්ට තියෙන්නෙ ලොකු වගකීමක්. හැමෝම එක්ක සුහදව කටයුතු කරමින්, හරි ඇසුරක්, හරි විදිහක් අනුගමනය කරලා තමුන්ට පිළිගැනීමක් ඇතිවන විදිහට වැඩ කළ යුතුයි.
තනතුර?
සාමාන්‍යයෙන් උපාධිධාරීන්ට දෙන තනතුරක්. ටිකෙන් ටික එක එක අංශවලට උසස්වීම් ලබාගෙන අන්තිමට සාමාන්‍යාධිකාරී තනතුර දක්වා ඉහළටම ගියා.
ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පළමු ‘සාමාන්‍යාධිකාරිවරිය’ දක්වා ගිය ගමන ඔබ දකින්නෙ කොහොමද? එහෙම ගමනක් යන්න තරම් ඔබට තිබුණු දක්ෂතාව?
මගෙ තාත්තා කළේ ආණ්ඩුවේ රස්සාවක්. අම්මා තමයි අපි ඔක්කොම බලා කියා ගත්තෙ. පාසල් කීපයකටම යන්න ලැබීම සහ අපේ පවුල් පසුබිම නිසා මම හිතන්නෙ මට හොඳ පන්නරයක් සහ අත්දැකීම් කුඩා කාලයේ ඉඳලම ලැබෙන්න ඇති. පාසල් කීපයකට ගිය නිසා විවිධ තරාතිරම්වලට අයත් විවිධ අදහස් ඇති අය ආශ්‍රය කරන්න ලැබුණා. පසු කාලීනව ඒ සමාජ වටපිටාව සහ ලැබූ වෙනස්කම් ජීවිතයට ගෙන දුන්නෙ වාසනාවක්.
රාජ්‍ය බැංකුවක ඉහළට යනවාය කියන්නෙ කැපිලි - කෙටිලි මැදින් යන ගමනක් කියලනෙ සමහරු කියන්නෙ? ඒ වගේ බාධක ඔබටත් තියෙන්න ඇති ?
තත්ත්වයෙන් තත්ත්වයට යද්දි මගේ වැඩ කොටස් හරියට කරන්න උත්සාහ ගත්තා. ඒ නිසා මට එහෙම ලොකු කැපිලි ආවේ නැහැ. එකපාරටම සාමාන්‍යාධිකාරි තනතුරට පත් වුණේ නැහැනෙ. මම ගියේ පියවරෙන් පියවර ගමනක්. ඕනෑම තනතුරක් දරද්දී නිවැරදි තීරණ ගන්න පසුබට වුණේ නැහැ. ඒ වගේ තැන්වල වැඩ කරද්දී ඒක හරි අවශ්‍යයි. අවස්ථාවේ හැටියට ගත යුතු තීරණ කල් දැම්මොත්, ප්‍රායෝගික වෙන්නෙ නැහැ.
ඔබ සාමාන්‍යාධිකාරි තනතුරට එන විට ලංකා බැංකුව මොන වගේ තැනක ද තිබුණෙ?
රාජකාරියෙදී එක දෙයකින් ප්‍රගතියක් ලබලා, මම නිකම් හිටියෙ නැහැ. එයින් සෑහීමකට පත්වුණේ නැහැ. ඒ නිසා තව තවත් ප්‍රගතින් ලබන්න මට අවශ්‍ය වුණා. වෙනස් වෙනස් දේ කරන්න, අලුත් අලුත් දේ කිරීම මගේ ආසාව කර ගත්තා. මොකද ඒවා මට නෙවෙයි, බැංකුවෙ ප්‍රගතියටනෙ. ඒ නිසා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අදාළ සේවක සේවිකාවන් එක්ක නිතර සාකච්ඡා කරලා තමයි තීරණ ගත්තෙ. ලංකා බැංකුවේ ප්‍රධාන ආයතනික කාර්යාලය කොටුවෙ නිවුන් ගොඩනැගිල්ලට ගෙන යද්දී සාමාන්‍යාධිකාරි වුණෙත් මම. ඒ කියන්නෙ මිනිස්සු හඳුන්වන විදිහට පිට්ටු බම්බුවට යද්දිත්, ලංකා බැංකුවෙ මුල් පුටුව දැරුවෙ මම.

අහස සිඹින තරමේ උස බිල්ඩිමකට ගියාම ඔබට මොන වගේ හැඟීමක් ද එදා ඇති වුණේ ?
බොහොම ලොකු සන්තෝෂයක් ඇතිවුණේ.
එච්චර සුපිරි තැනකට ස්ථානගත වෙන්න තරම්, ඔබ ලංකා බැංකුවට කළ වෙනස මොකක් ද?
මම සාමාන්‍යාධිකාරි තනතුරට පත්වෙන්නට පෙර, දිවයින පුරා ශාඛා ලොකු ලොකු ප්‍රමාණයක් තිබුණෙ නැහැ. රටේ බොහෝ තැන්වල ශාඛා ව්‍යාප්ත කරන්න අපි පටන් ගත්තා. ඒ විදිහට ශාඛා විවෘත කිරීම අපට ගෙන දුන්නෙ ලොකු වාසියක්. ඒ එක්කම අලුත් ආයතනික කාර්යාලයක් පවා අපි විවෘත කළා. අලුත් හෙඩ් ඔෆිස් එක ඕපන් කරන්න අපි උදව් අරගත්තා. පිටරටින් විශේෂ ආරාධිතයන් පවා එදා විවෘත කිරීමේ උළෙලට ආවා. එකම විදිහට වැඩ කරගෙන යාමට වඩා නිතරම උත්සාහ ගත්තෙ අලුත් ක්‍රම හඳුන්වා දෙන්න. දියුණු වෙන්නෙ කොහොමද කියන දේ ගැන දවසෙම හිතන්න පටන් ගත්තා.
බැංකුව දියුණු කරන්න, ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ දෙන්න මොන වගේ දෙයක් ද කළේ?
මට දැන් මතකත් නැහැ. විශේෂ දේ කළා. හැබැයි ඒවා වාර්තා තියන්න හිතාගෙන නෙවෙයි කළේ. බැංකුවේ දියුණුව වෙනුවෙන්. කාර්යමණ්ඩලයට නිතරම අවස්ථා ලබාදීමට මුල් වුණා. ඉගෙන ගන්න, අලුත් අත්දැකීම් ලබන්න පිටරට පවා යවන්න වැඩපිළිවෙළක් සකස් කළා. ඒ වගේ දේ කරන්න වෙනවා. එහෙම කළොත් තමයි ස්ටාෆ් එක අත්දැකීම් ලබන්නෙ. ඒ විදිහට සේවක මණ්ඩලයෙ අයට අවස්ථා ලබාදෙන අතරේ ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාව විවෘත කරන්නත් අපට පුළුවන් වුණා.
අද ඒ ශාඛාව පවත්වාගෙන යනව ද?
අපොයි ඔව්. ලන්ඩන් නුවර ඩෙවොන්ෂයර් චතුරශ්‍රයෙ ගොඩනැගිල්ලක ඒ ශාඛාව තියෙන්නෙ.
ලන්ඩන්වල විතර ද ශාඛා විවෘත කළේ?
ඊට අමතරව මාලදිවයින ඇතුළු රටෙන් පිට ස්ථාන හතරක විතර ශාඛා ඇරඹුවා. ඒවා අද කොහොමද කියලා නම් දන්නෙ නැහැ. මාලදිවයින, ෂීෂෙල්ස්, චෙන්නායි වගේ ස්ථානවලදි ඒ ශාඛා තිබෙන බව මතකයි.
ඇයි ඔබට ඒ දිනවල “අයන් වුමන්” කියලා මිනිස්සු කිව්වෙ?
මම හරි කෙළින් තීරණ ගත්තෙ. අවස්ථාවේ හැටියට තීරණ ගැනීමේ ශක්තියක් මට තිබුණා.
ඒ විදිහට තීන්දු - තීරණ ගනිද්දි ප්‍රශ්න ආවෙ නැද්ද?
ප්‍රශ්න ආවා. හැබැයි මම ගත්තෙ ඵලදායී තීරණයක් නිසා ඒවාට සැලුණේ නැහැ. ලංකාවේ ලොකුම ට්‍රේඩ් යුනියන් එකත් එක්ක හැප්පෙන්න මම බය වුණේ නැහැ.
ලොකුම ට්‍රේඩ් යුනියන් එක කිව්වෙ?
ලංකා බැංකුවේ සේවක සංගමය තමයි එදා ලංකාවේ ප්‍රබලම සේවක සංගමය. ඉතින් කාන්තාවක් ඒ වගේ එකක් එක්ක හැප්පෙද්දී ආයෙ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. ඒත් මම නෙවෙයි බය වුණේ. ඇත්තම කිව්වොත් මම එයාලා එක්ක කැත්තට පොල්ල වගේ හැප්පෙන්න ගියේ නැහැ. වෙනමම න්‍යායක් අනුගමනය කළා.
ඒ කිව්වේ, කොහොම ද එයාලව මෙල්ල කර ගත්තේ?
බොහොම සුහදව එයාලා එක්ක කතා කළා. මම කතා නොකර එයාලට සවන් දුන්නා. මම මගේ කාර්යාල කාමරයට එනකොට එයාලා දොර ළඟ. කාමරයේ ඇතුළෙ ඉන්න කොටත් එයාලා දොර ළඟ, ඉතින් ඒ වගේ පිරිසක් එක්ක හැප්පෙන්න ගියා නම් අපි කාටවත් හොඳක් වෙන්නෙ නැහැනෙ. මම ඇහුම්කන් දුන්නා. එයාලා හැමදාම ප්‍රශ්න ගෙනාවා. එහෙම ප්‍රශ්න ගෙනාවාම, හරි අපි ඒ ගැන කතා කරමු. කියලා අපි සාකච්ඡා කළා. මම මගේ තැන ගැන නෙවෙයි හිතුවෙ. එයාලට මුල් තැන දීලා නිතරම කටයුතු කළා. එයාලා තමයි ලොක්කො කියන තැන ඉඳගෙන මම එයාලා එක්ක සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නෙ විසඳලා ඉවර වුණාම ඊළඟ දවසෙත් ආයෙත් ප්‍රශ්නයක්. ඕනෑම වෙලාවක එයාලා මගේ දොර ළඟට ඇවිත් හිටියොත් මම එයාලා ගෙන්නා ගෙන කතා කළා. ඒ වගේ ඇසුරක් මම හදා ගත්තා. එයාලගෙ ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නාම ඒකට එයාලා කැමැති වුණා. ආයේ වෙන දවසක එන්න ඕක වැඩක් නැති ප්‍රශ්නයක් එහෙම කියලා මම එයාලව රස්තියාදු කරලා ආපහු යැව්වෙ නැහැ. එදාම විසඳුම ලබා දුන්නා. ඩෙෂිසන් මේකින් (Decision makiug) කියන දේ යුනියන් එක්ක වැඩ කරද්දී හරියට වැදගත් වෙනවා.
ඒ වගේ අවස්ථාවලදී ඔබට ඉහළින් හිටපු රාජ්‍ය පාලන තන්ත්‍රයේ අයගෙන් චෝදනා ආවේ නැද්ද?
මම කළේ සාමාන්‍යාධිකාරි විදිහට මට ගත හැකි තීන්දු තීරණ ගැනීම විතරයි. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා (Board of Directors) ගත යුතු තීරණ එයාලට ගන්න ඉඩ දුන්නා. හැමදේටම මම මුල් වෙන්න ගියේ නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලයටත් තීන්දු තීරණ ගන්න පුළුවන්. ඒ අවස්ථා එයාලට ලබා දෙන්න ඕනෑ. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අයගෙන් අහලා එයාලට දැනුම් දීලා තමයි මම අවසාන විසඳුමට ගියේ. එයාලා එක්ක කටයුතු කළෙත් බොහොම සුහදව. ඇහුම්කන් දීම මූලිකව කළාම ප්‍රශ්න විසඳන්න හරි ලෙහෙසියි. ඩිරෙක්ටර් බෝඩ් එක එක්ක මාසයකට සැරයක් මීටින් තිබ්බා. ඒ අනුව තමයි අපි ඉදිරි වැඩ කළේ. සාමාන්‍යාධිකාරීට උදව් කරන්න සහකාර සාමාන්‍යාධිකාරීවරු කීප දෙනෙක් හිටියා. ඒ විදිහට තමයි අපි වැඩ කළේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එක්ක පවා බොහෝම සුහදව හිටියෙ.

ඔබගෙ සේවා කාලයේදී මුහුණ දුන් බැරෑරුම් අවස්ථාව, ගැටලුව මොකක්ද? කොහොම ද ඒක ජයගත්තෙ?
අනේ මන්දා දැන්නම් මතකත් නැති තරම්. ප්‍රශ්න ආවාම එයින් හැංගුණේ නැහැ. ස්ට්‍රයික් තමයි ආව ලොකුම ප්‍රශ්න. ස්ට්‍රයික් ආවාම වැඩ අඩපණ වෙනවනෙ. බලවත් යුනියන් එකක් තිබුණ නිසා නිතරම එයාලගෙ ප්‍රශ්න අහන්න, විසඳන්න මුල් වෙන්න සිදු වුණා. යුනියන්වලට මම බොරු පොරොන්දු දුන්නෙ නැහැ. එයාලටත් අදහස් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි එයාලට ඇහුම්කන් දුන්නාම ප්‍රශ්නය සමතයකට පත්කර ගන්න පුළුවනි.
ඇත්තම කියන්න දේශපාලන අංශවලින් ප්‍රශ්න ආවාම කොහොම ද ඒවට පෙනී හිටියේ?
බොහෝ වෙලාවට ආවේ කාගේ හරි මාරුවක් අරන් දෙන්න වගේ බලපෑම්. ඒවා බලපෑම්වලට වඩා ඉල්ලීම්. ඉතින් පුළුවන් නම් මම ඒක කරලා දුන්නා. බැරි නම් බැහැ කිව්වා. තීරණයක් ගන්න බැරි වුණාම බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් මීටින් එකේදී අවසාන තීරණය ගත්තා. රජයේ බැංකුවක් වුණාම නිතර ඒ වගේ ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආවෙ නැත්නම් තමයි පුදුමෙ.
ඔබ සාමාන්‍යාධිකාරිනිය වෙලා කොච්චර කල් සේවය කළා ද?
60 වෙනකල් හිටියා. ඉන් පස්සේ විශ්‍රාම ගියා.
ලංකාවේ රාජ්‍ය බැංකුවලට වඩා පුද්ගලික බැංකු මිනිසුන්ට වඩා සමීප වුණේ ඇයි?
මම එහෙම හිතන්නෙ නැහැ. රාජ්‍ය බැංකු පද්ධතියේදී ගනුදෙනුකරුවන්ට වඩා පහසුවක් වන විදිහෙ ක්‍රමවේදයක් වෙනුවෙන් අපි තීරණ ගත්තා. ලංකා බැංකුවට හොඳ පිළිගැනීමක් තිබුණෙ. අද ඒ ගැන මම දන්නෙ නැහැ. රාජ්‍ය බැංකුවක් වුණාට අනෙක් ඕනෑම බැංකුවක් එක්ක හැප්පෙන්න සහ තරග කරන්න අපට පුළුවන් වුණා.
ලංකාවට රාජ්‍ය බැංකුවලට අමතරව පෞද්ගලික අංශයේ බැංකු රැසක් අද බිහිවෙලා. ඒක රටට හොඳද? නරක ද?
අනවශ්‍ය තරමට ප්‍රමාණය ඉක්මවන තරමට තිබුණොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අද පවතින තත්ත්වය අනුව ඒක මට හරියටම කියන්නත් බැහැ. දැන් මට අසුවක් විතර වෙනවනෙ.
ඔබ කිව්වනෙ 60 න් විශ්‍රාම ගියාය කියලා. ඊළඟට නිකම් හිටියෙ නැහැනෙ නේද?
විශ්‍රාම අරගෙන මම එංගලන්තයට ගියා. ගිහින් ටික කලක් එහේ හිටියා. මගේ මහත්තයා ඒ වන විට සේවය කළේ එහේ. ඒ ගිහින් හිටපු කාලයේ දී ලංකා බැංකු ලන්ඩන් බ්‍රාන්ච් එකේ ටික කලක් මම වැඩ කළා.
බිරිඳක ලෙස ඔබ මොන විදිහෙ කෙනෙක් කියල ද හිතන්නෙ?
සැමියා එක්ක බොහොම සුහදව කටයුතු කළ කෙනෙක්.
මවක විදිහට මොන විදිහට ද කටයුතු කළේ?
විවාහ වෙලා කාලයක් මම හිටියෙ ලන්ඩන්වල. මගේ ලොකු පුතා ලැබුණෙ එහේදී. ආපසු ලංකාවට ඇවිත් මම බැංකුවේ කටයුතු කළා. මවක් විදිහට මම දරුවන්ට කාරුණික වුණා. හරි දේ කියලා දුන්නා.
තීරණ ගැනීම අවශ්‍ය වෙලාවට කළොත් ප්‍රශ්න ඇතිවන්නෙ නැහැ. එහාට මෙහාට පාස් කර කර හිටියොත්, කවදාවත් ප්‍රගතියක් ලබන්න බැහැ.
විශ්‍රාම ගිය පසුව ඔබ ගැන වැඩි දෙනා කතා කළේ LOLC එකේ සභාපති වෙච්ච නිසානෙ? රාජ්‍ය බැංකුවක වැඩ කරලා, පෞද්ගලික අංශයේ ආයතනයකට සේවය ලබාදෙන විට දැණුන හැඟීම මොන වගේද? මොන වගේ වෙනසක් ද දැනුණේ.
මම හිතන්නෙ පුද්ගලික ආයතනයක සේවය කරද්දී තීරණ ගන්න මට පහසු වුණා. රාජ්‍ය බැංකුවල දී එහෙම බැහැ. ඒකට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡා වලින් පසුව තමයි තීරණ ගන්න පුළුවන් වුණේ. පෞද්ගලික ඒවායේ ඉන්න පුද්ගලික අයනෙ. LOLC සිටිය දී මම එහි සේවයට යද්දී ඉෂාර නානායක්කාර හරිම තරුණයි. හැබැයි එතුමා ඕනෑම දෙයක් කරන්න මට පූර්ණ නිදහස දුන්නා.
ඒ නිදහස අරගෙන මොන වගේ වෙනස්කම් ද කළේ?
LOLC ගිය හැටියේ මම ලංකා බැංකුවේදී අලුත් ශාඛා රට පුරා විවෘත කළ විදිහටම, LOLC එකේ අලුත් ශාඛා විවෘත කළා. තීන්දු තීරණ කඩිනමින් ගත්තා. LOLC එකේ අධ්‍යක්ෂ මණ්ඩලයට හිටියෙත් පවුලේ කට්ටියම නිසා ප්‍රශ්න ඇති වුණේ නැහැ. මම මට ඕනෑවට කරන්න ගියේ නැහැ. එයාලගෙන් අදහස් අරගෙන දියුණු කරන්න තීරණ ගත්තා. ශාඛා විවෘත කරන්න පූර්ණ බලය මට ලබා දීලා තිබුණෙ. ඉෂාර නානායක්කාර ඒ දිනවල ඉතාම තරුණ වියේ සිටියේ. හරිම හොඳ, හොඳම හොඳ මහත්මයෙක්. එයාගාව බොරු නැහැ. හැමෝටම කරුණාවයි.
LOLC සභාපතිනිය ලෙස කොච්චර කල් හිටිය ද?
අවුරුදු 10 ක් විතර.
එදා ඔබට රාජකාරි කටයුතු නිදහස් මනසකින් කරන්න ලැබුණෙ මොන වගේ හේතු නිසා කියල ද විශ්වාස කරන්නෙ?
එදා මගේ සහායට මගේ අම්මා තාත්තාත් හිටියෙ මා එක්ක. ඒක මට ලොකු සහනයක් වුණා. මගේ මහත්තත් මට උපරිම නිදහස දුන්නා. ඒ නිදහස නිසා යහපත් මානසිකත්වයකින් රැකියාව කරගෙන යන්න පුළුවන් වුණා.
විශ්‍රාම දිවිය ගෙවන්නෙ කොහොම ද? ජීවිතය ගත කරන විදිහ?
සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවනවා. මහත්තයත් ජීවතුන් අතර නැහැනෙ. ඉස්සර විවේකයේ දී යාළුවෝ එක්ක ට්‍රිප් ගියා. සංචාරයට මම හරිම ආසා කළා. යාළුවෝ එක්ක ලෝකේ වටේම වගේ ගියා.
ලංකාව මූල්‍ය වශයෙන් කඩා වැටුණු රාජ්‍යයක් වුණා. ඔබගෙ ආර්ථික දැනුම අනුව එය නිර්වචනය කරන්න පුළුවන් ද?
රාජකාරි ජීවිතයෙන් විශ්‍රාම ගිහින් සෑහෙන කල් නිසා මට ඒකට හරි පිළිතුරක් දෙන්න බැහැ. මම හිතන්නෙ තීරණ ගැනීම අවශ්‍ය වෙලාවට කළොත් ප්‍රශ්න ඇතිවන්නෙ නැහැ. එහාට මෙහාට පාස් කර කර හිටියොත්, කවදාවත් ප්‍රගතියක් ලබන්න බැහැ. නිර්භීත බලවත් තීන්දු තීරණ ගැනීම ප්‍රායෝගික වෙනවා. එහෙම නොවුණාම තමයි දියුණුව කරා යන්න බැරි වෙන්නෙ.
ජීවිතය ගැන දැනෙන්නෙ මොන විදිහට ද?
ඉපදීම එක්ක, මරණයත් තියෙනවනෙ. ඒ සත්‍යය වටහා ගත්තාම සහ වටහාගෙන ජීවිතයට මුහුණ දෙනවා. තරුණ කාලයේ දී ළමයින් ලෙස අධ්‍යාපනය හරියට කරන්නට ඕනෑ. හොඳ ඉගෙන ගැනීමක් අවශ්‍යයි. විශ්වවිද්‍යාලයට යා හැකි නම් ඒ දුර යන්නම ඕනෑ. ඒක හොඳ දෙයක්. ඉන් පස්සේ උපාධිය අරගෙන ප්‍රායෝගික වෙලා වැඩ කළොත් හොඳයි. පේරාදෙනිය යුනිවර්සිටි යාම මම ලැබු භාග්‍යයක්. ආණ්ඩුවෙ වෛද්‍යවරයකු වෙච්ච තාත්තා දරුවෝ හත් දෙනාටම හොඳට ඉගැන්නුවා. ඉගෙනීම හරි වටිනා දෙයක්. මටත් ඒ වාසනාව ලැබුණා. ළමයින් කී දෙනෙක් හිටියත්, අවශ්‍යම දේ අපේ තාත්තා කළා. මට ආපසු හැරී බලද්දී ජීවිතය ගැන හරිම තෘප්තිමත්.
ඔබගෙන් ලාංකීය සමස්ත කාන්තාවන්ට ගත හැකි හොඳම ආදර්ශය මොකක් ද?
ඉස්සර කාන්තාවෝ රස්සා කළේ නැහැනේ. අද සම සමව පිරිමි එක්ක කාන්තාවෝ වැඩ කරනවා. එහිදී කාන්තාවන්ට තියෙන්නෙ ලොකු වගකීමක්. හැමෝම එක්ක සුහදව කටයුතු කරමින්, හරි ඇසුරක්, හරි විදිහක් අනුගමනය කරලා තමුන්ට පිළිගැනීමක් ඇතිවන විදිහට වැඩ කළ යුතුයි. කාටවත් කතන්දර හදන විදිහට හැසිරීම කළ යුතු නැහැ. තමුන්ගෙ ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්න උනන්දු වෙන්න. මම හිතන්නෙ අපේ කාලයේදී වඩා අද කාන්තාවන්ට තියෙන්නෙ ලොකු තැනක්. ඒක ලොකු දෙයක්.
ඡායාරූප අන්තර්ජාලයෙනි
සාකච්ඡා සටහන
සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd