
නූතන මානව ඉතිහාසයේ තාක්ෂණික විප්ලවයේ ඉහළම පිම්ම ලෙස සැලකෙන්නේ කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් ඒ.අයි. තාක්ෂණයයි. ලිපියක් හෝ රචනාවක් ලියාගැනීමට, රූපරාමුවක් මවා ගැනීමට, වෛද්‍ය වාර්තාවක් විශ්ලේෂණය කර ගැනීමට හෝ ව්‍යාපාරික දත්ත කළමනාකරණයට දැන් ඒ.අයි. නැතුවම බැරිය. ඒ.අයි. තාක්ෂණය අපගේ එදිනෙදා ජීවිතය සරල සහ කාර්යක්ෂම කර ඇති බව සැබවකි. ඒ.අයි. යනු යක්කු බැඳගෙන වැඩ ගැනීමක් වැනිය.
මේ ඒ.අයි. නමැති යකාගේ තරම ඔබ හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්ය. ඒ.අයි. විස්මිත තාක්ෂණය ක්‍රියාත්මක වන දැවැන්ත දත්ත මධ්‍යස්ථාන සහ සුපිරි පරිගණක පද්ධති සඳහා වැය වන අතිවිශාල විදුලිය ප්‍රමාණය, ජලය සහ ස්වාභාවික සම්පත් ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වනවිට කාගේත් කනස්සල්ල ඇතිවී වී තිබේ. මේ කනස්සල්ලට හේතුව කුමක් ද? මේ ලිපිය ඒ ගැනය.
බොහෝ තාක්ෂණික සමාගම් සහ විද්වතුන් පවසන්නේ අනාගතයේදී ඒ.අයි. තාක්ෂණය තවදුරටත් දියුණු වී, වඩාත් කාර්යක්ෂම වන විට, ඒ සඳහා වැය වන ශක්තිය සහ සම්පත් ප්‍රමාණය ස්වයංක්‍රීයවම අඩු වනු ඇති බවය. බැලූ බැල්මට ඉතා තාර්කික සහ බුද්ධිමත් යැයි පෙනෙන මේ සිතුවිල්ල ඇත්තෙන්ම “මාරාන්තික උගුලක්’ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පරිසර වාර්තාවකින් පෙන්වා දෙයි. අප සිතනවාට වඩා වේගයෙන් ඒ.අයි. තාක්ෂණය, පෘථිවියේ සම්පත් ගිලගනිමින් සිටින බව ජගත් වාර්තාවේ සඳහන් වෙයි. මෙය බරපතළ ගැටලුවකි.
මෙම ගැටලුවේ බරපතළකම වටහා ගැනීමට නම්, ඒ.අයි. පද්ධති ක්‍රියාත්මක වන දත්ත මධ්‍යස්ථාන සතු ශක්ති පරිභෝජනය දෙස බැලිය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරුවලට අනුව, පසුගිය වසරේ දී එනම් 2025 දී පමණක්, ලොව පුරා දත්ත මධ්‍යස්ථාන පරිභෝජනය කළ විදුලි ප්‍රමාණය, ලොව 11 වැනි විශාලතම විදුලි පාරිභෝගිකයා වන සෞදි අරාබිය පුරා වැය වන මුළු විදුලි ප්‍රමාණයට සමාන වෙයි.
වාර්තාව පෙන්වා දෙන්නේ ඉදිරි 2030 වසර වන විට ඒ.අයි. තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ සඳහා වැය වන විදුලි ප්‍රමාණය තවත් දෙගුණයකින් ඉහළ යනු ඇති බවය. එය මුළු ලෝකයේම සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 3 කට වඩා වැඩි ප්‍රමාණයකි. සරලව පැහැදිලි කළොත්, එමගින් වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය, මහා බ්‍රිතාන්‍යය වසරකට නිකුත් කරන කාබන් ප්‍රමාණයට සමාන වෙයි.
විදුලිය පමණක් නොව මේ දැවැන්ත පරිගණක පද්ධති දිවා රාත්‍රී නොබලා ක්‍රියාත්මක වන විට - උපදින අධික තාපය පාලනය කිරීම සඳහා ඒවා නිරන්තරයෙන් සිසිල් කළ යුතුය. මේ සඳහා 2030 වන විට ජලය ලීටර් ට්‍රිලියන 9.3 ක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත. මෙය මුළු ලෝක ජනගහනයටම වසරක් පුරා පානය කිරීමට අවශ්‍ය වන පිරිසුදු පානීය ජල ප්‍රමාණයටත් වඩා වැඩි අගයකි. එමෙන්ම මේ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ නගරය (මෙක්සිකෝ සිටි) මෙන් දස ගුණයකටත් වඩා විශාල භූමි ප්‍රමාණයක් පෘථිවියෙන් වෙන් කිරීමට සිදු වනු ඇත.
තාක්ෂණය දියුණු වන විට සහ කාර්යක්ෂමතාව වැඩිවන විට සම්පත් භාවිතය අඩු වෙනවා වෙනුවට තවත් වැඩි වන්නේ ඇයි? ආර්ථික විද්‍යාවේ සහ පරිසර විද්‍යාවේ මේ සඳහා අපූරු සිද්ධාන්තයක් තිබේ. එය හඳුන්වන්නේ “ජෙවන්ස්ගේ ප්‍රතිවිරෝධය” යනුවෙනි. 19 වැනි සියවසේ කාර්මික විප්ලවය සමයේ එංගලන්තයේ විසූ විලියම් ස්ටැන්ලි ජෙවන්ස් නමැති ආර්ථික විද්‍යාඥයා දුම්රිය ඇතුළු යන්ත්‍ර සූත්‍ර සඳහා ගල්අඟුරු භාවිතය ගැන අධ්‍යයනය කරමින් මෙය සොයා ගත්තේය.
එකල සමාජය සිතුවේ වඩාත් කාර්යක්ෂම නව වාෂ්ප එන්ජින් නිපදවීම නිසා ගල්අඟුරු භාවිතය අඩු වනු ඇති බවය. කෙසේ නමුත් සිදු වූයේ ප්‍රතිවිරුද්ධ දෙයකි. කාර්යක්ෂමතාව නිසා ගල්අඟුරු භාවිතයේ වියදම අඩු වූ විට මිනිස්සු පෙරට වඩා වැඩි වැඩියෙන් එම යන්ත්‍ර භාවිත කිරීමට පටන් ගත්හ. ව්‍යාපාර විශාල වශයෙන් ව්‍යාප්ත විය. අවසානයේ දී සමස්ත ගල්අඟුරු පරිභෝජනය පෙරටත් වඩා දරුණු ලෙස ඉහළ ගියේය.
ඒ.අයි. තාක්ෂණයට අත්වෙමින් පවතින්නේ ද මේ ඉරණම යැයි පැවැසෙයි. ඒ.අයි. ආකෘති වඩාත් දියුණු වී ඒවා ක්‍රියාත්මක කිරීමට යන පිරිවැය අඩු වන විට, ව්‍යාපාරිකයෝ සහ සාමාන්‍ය වැසියෝ එය පෙරට වඩා දහස් ගුණයකින් වැඩිපුර භාවිත කිරීමට පෙලඹෙති.
කාර්යක්ෂමතාවෙන් අප ඉතිරි කරගන්නා ශක්තිය - අධික භාවිතය නිසා සම්පූර්ණයෙන්ම අළු දූවිලි වී යයි. මීට අමතරව මෙම ඒ.අයි. විප්ලවය පිටුපස දැවැන්ත ව්‍යුහාත්මක අසමානතාවක් සහ අසාධාරණයක්ද සැඟවී තිබේ. ලෝකයේ ඒ.අයි. තාක්ෂණයට අවශ්‍ය යටිතල පවතින්නේ රටවල් 32ක පමණි. එයින් ද සියයට 90ක් ඇත්තේ සහ ඒවා පාලනය කරනු ලබන්නේ ඇමෙරිකාව සහ චීනය යන සුපිරි බලවතුන් දෙදෙනා විසිනි.
කනගාටුදායක තත්ත්වය නම්, දියුණු රටවල් ඒ.අයි. තාක්ෂණය නිපදවා එහි උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබන අතරතුර, ඒ සඳහා අවශ්‍ය වන ලිතියම්, කොබෝල්ට් වැනි දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය කැණීම් කිරීම සහ භාවිතයෙන් ඉවත් කරන විද්‍යුත් අපද්‍රව්‍ය (ඊ වේස්ට්) ගොඩගැසීම සිදු වන්නේ අප්‍රිකානු සහ ආසියානු කලාපයේ තුන්වන ලෝකයේ දුප්පත් රටවල වීමය. එනම් තාක්ෂණයේ ප්‍රීතිය දියුණු රටවල් භුක්ති විඳින අතර, එහි පරිසර විනාශයේ බරපතළම පංගුව දරා ගැනීමට සිදුව ඇත්තේ අසරණ දුප්පත් රටවලටය. එක්සත් ජාතීන්ගේ වාර්තාව අනතුරු අඟවන්නේ මේ නිසා ලෝකය පුරා ඩිජිටල් බෙදීම සහ පාරිසරික අසාධාරණය තවදුරටත් උග්‍ර වනු ඇති බවය.
අප ඒ.අයි. භාවිත කරන වාර ගණන සහ එය භාවිත කරන ආකාරය අනුව මේ පරිසර හානිය තීරණය වේ. සරල කෙටි පණිවිඩයකට පිළිතුරක් සෙවීමට වඩා ඒ.අයි. මගින් අලුත් පින්තූරයක් නිපදවීමට හෝ වීඩියෝවක් සකස් කිරීමට විශාල පරිගණක ශක්තියක් වැය වේ. නොමිලේ ලැබෙන පලියට චැට්ජීපීටී, මිඩ්ජර්නි හෝ වෙනත් ඒ.අයි. මෙවලමකින් රූපයක් නිර්මාණය කරන සෑම වාරයක් පාසාම පෘථිවියේ කොහේ හෝ තැනක ඇති දත්ත මධ්‍යස්ථානයක සිසිලන පද්ධතියෙන් වතුර ලීටර් ගණනාවක් වාෂ්ප වී යන බවත්, පරිසරයට කාබන් එකතු වන බවත්, සිහි තබාගත යුතුය. එමෙන්ම විවිධ සමාගම් නිපදවන ඒ.අයි. ආකෘති එකිනෙකට වෙනස්ය. සමහර පද්ධති අනෙක් ඒවාට වඩා පරිසරයට හිතකාමී වන සේ සකසා තිබුණද, සමස්තයක් ලෙස සමස්ත ක්ෂේත්‍රයේම පාලනයකින් තොර වර්ධනය නිසා සිදුවන හානිය වැළැක්විය නොහැක.
මේ මාරාන්තික උගුලෙන් බේරීම සඳහා එක්සත් ජාතීන්ගේ වාර්තාව පැහැදිලි මාර්ග සිතියමක් යෝජනා කර ඇත. ඒ අනුව අනාගත ඒ.අයි. තාක්ෂණය පදනම් විය යුත්තේ ප්‍රධාන මූලධර්ම කිහිපයක් මතය. සෑම තාක්ෂණික සමාගමක්ම තම ඒ.අයි. පද්ධති සඳහා වැය වන විදුලිය සහ ජල ප්‍රමාණය ප්‍රසිද්ධ කළ යුතුය, මෘදුකාංග සහ පරිගණක පද්ධති සැලසුම් කිරීමේදීම අවම ශක්තියක් වැය වන සේ සකස් කළ යුතුය, තාක්ෂණයේ වාසි මෙන්ම අවාසිද ලෝකයේ සියලු රටවල් අතර සම සේ බෙදී යා යුතුය සහ ඒ.අයි. උපකරණ නිෂ්පාදනයේ සිට ඒවා පරිසරයට බැහැර කරන තෙක් විද්‍යුත් අපද්‍රව්‍ය (ඊ වේස්ට්) සම්බන්ධ වගකීම නිෂ්පාදකයන් විසින් ගත යුතුය යනුවෙනි.
දැනටමත් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් රාජ්‍ය සේවා කටයුතු කඩිනම් කිරීමට, ලේඛන පරිවර්තනයට සහ විශ්‍රාම වැටුප් වැනි දත්ත විශ්ලේෂණයට ඒ.අයි. පද්ධති විශාල වශයෙන් භාවිත කරයි. එසේ වුවත් මේ කිසිදු රටක ඒ.අයි. භාවිතය නිසා පරිසරයට සිදුවන හානිය හෝ වැය වන විදුලි ප්‍රමාණය ගණනය කිරීමට නිසි නීති රීති හෝ නියාමන ආයතන තවමත් ස්ථාපිත කර නැත. ඔවුන් අනුගමනය කරන්නේ “සැහැල්ලු” ප්‍රතිපත්තියකි. එසේ වුවත් මෙමගින් සිදුවන පරිසර හානිය සුළුකොට තැකිය නොහැක. තාක්ෂණයේ දියුණුව මානව සංහතියේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බව සැබෑවකි. එය අප ජීවත් වන එකම පෘථිවිය විනාශ කරමින් ලබාගන්නා ජයග්‍රහණයක් නොවිය යුතුය.
ඒ.අයි. තාක්ෂණය තවදුරටත් දියුණු කිරීමෙන් පමණක් (එනම් කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් පමණක්) මේ පරිසර ප්‍රශ්නය විසඳිය නොහැකි බව දැන් පැහැදිලිය. ඒ සඳහා වගකීම් සහගත, පරිසර හිතකාමී සහ ගෝලීය වශයෙන් එකඟ වූ දැඩි නීති පද්ධතියක් වහාම ක්‍රියාත්මක විය යුතුය. අප අද දිනයේ තාක්ෂණයේ මහිමයෙන් මත් වී සොබාදහම අමතක කළ හොත්, හෙට දිනයේ කෘත්‍රිම බුද්ධිය මිනිසාගේ සැබෑ බුද්ධිය අබිබවා ගොස් අප සැම ජීවත් වන මේ ලෝකය අළු දූවිලි කර දමනු නිසැකය.
ලුසිත ජයමාන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd