ෆිෆා ලෝක කුසලානය (Fifa World Cup) වටා ඇති උද්‍යෝගය සහ උනන්දුව මඟහැර යාම අපහසුය. පාපන්දු (උතුර ඇමරිකාවේ හඳුන්වන පරිදි සොකර් - Soccer) යනු ලොව වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන අතර ලෝක කුසලානය යනු ඒ සියල්ලන් අතරින් ඉහළින්ම වැජඹෙන ත්‍යාගයයි.
 
තරගාවලියේ වසර 100කට ආසන්න ඉතිහාසයේ පළමු වතාවට, මෙවර තරගාවලිය රටවල් තුනක සත්කාරකත්වයෙන් පැවැත්වෙයි. මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය එම රටවල් තුනයි. සමාරම්භක තරගය මේ සටහන ලියැවෙන ජුනි 11 වැනිදා මෙක්සිකෝ සිටි (Mexico City) හිදී පැවැත්විණ. අවසන් මහා තරඟය ජූලි 19 වැනිදා ඇමරිකාවේ නිව් ජර්සි (New Jersey) ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතය.
 
 පාපන්දුව ඔබට අලුත් නම්, ඔබ දැනගත යුතු කරුණු 
 
ලෝක කුසලානය සෑම වසර හතරකට වරක්ම පැවැත්වෙයි. 2026 තරගාවලිය රටවල් 48ක් තරඟ වදින, ඉතිහාසයේ විශාලතම තරගාවලියයි. ලෝක ශ්‍රේණිගත කිරීම් භාවිත කරමින්, කණ්ඩායම් රටවල් හතර බැගින් වන කාණ්ඩ 12කට බෙදා ඇත.
 
පළමු වටයේ තරගයක් ජයග්‍රහණය කිරීමෙන් කණ්ඩායමකට ප්‍රසාද ලකුණු තුනක් හිමිවේ. සමවීම්වලදී කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ලැබේ. තරගයක් පරාජය වීම යනු ශුන්‍ය (0) ලකුණකි.
 
සෑම කාණ්ඩයකම පෙරමුණ ගන්නා හොඳම කණ්ඩායම් දෙක ස්වයංක්‍රීයවම ඊළඟ අදියර වෙත සුදුසුකම් ලබයි - එය 32 දෙනාගේ වටය (Round of 32) ලෙස හැඳින්වේ. 32 දෙනාගේ වටයට තේරෙන ඉතිරි කණ්ඩායම් සමන්විත වන්නේ කාණ්ඩ අදියරේදී තුන්වැනි ස්ථානයට පත් වූ සහ සමස්තයක් ලෙස හොඳම ප්‍රතිඵල ලබාගත් කණ්ඩායම්වලිනි. මෙම අදියරේදී කණ්ඩායම් දහසයක් තරගාවලියෙන් ඉවත් කරනු ලැබේ.
 
තරග මිනිත්තු 90ක් දිගු වන අතර, ඒවා මිනිත්තු 45 බැගින් වූ අර්ධ දෙකකට බෙදා ඇත. ක්‍රීඩකයන්ට අර්ධ කාලයේදී (Half-Time) මිනිත්තු 15ක විවේකයක් ලැබේ.
 
තරගයේ ඔරලෝසුව නිරන්තරයෙන් ක්‍රියාත්මක වන අතර, තරගය නැවතීමට කිසිදු විරාමයක් නැත. ක්‍රීඩකයන්ට තුවාල සිදුවීම නිසා ප්‍රතිකාර කිරීමට ගතවන කාලය, ප්‍රමාද සහ ගිම්හාන උණුසුමට ඔරොත්තු දීම සඳහා ක්‍රීඩකයන්ට උපකාර කිරීමට ෆිෆා (Fifa) විසින් හඳුන්වා දී ඇති අනිවාර්ය ජල විවේකයන් (Water Breaks) සඳහා ගතවන කාලය පියවා ගැනීමට අර්ධයන් අවසානයේ අමතර මිනිත්තු කිහිපයක් එකතු කරනු ඇත.
 
කණ්ඩායම් අදියරේදී (Group Stage) තරගයක ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා පෙනල්ටි ප්‍රහාර (Penalty Shootouts) නොමැත. කාණ්ඩ අදියරෙන් පසුව, තරගයක් සම වුව හොත්, අමතර මිනිත්තු 30ක් ක්‍රීඩා කරනු ලැබේ. ඉන් පසුවත් ජයග්‍රාහකයකු නොමැති නම්, පෙනල්ටි ප්‍රහාර මඟින් ජයග්‍රාහකයා තීරණය කරනු ඇත.
 
මෙවර එක් එක් රටවල සත්කාරක නගර 
 
මෙක්සිකෝව: ග්වාඩලහරා (Guadalajara), මොන්ටෙරේ (Monterrey) සහ මෙක්සිකෝ සිටි (Mexico City)
 
කැනඩාව: ටොරොන්ටෝ (Toronto) සහ වැන්කුවර් (Vancouver)
 
ඇමරිකා එක්සත් ජනපදය: ඇට්ලන්ටා (Atlanta), බොස්ටන් (Boston), ඩලස් (Dallas), හූස්ටන් (Houston), කැන්සාස් සිටි (Kansas City), ලොස් ඇන්ජලීස් (Los Angeles), මියාමි (Miami), නිව් යෝර්ක්/නිව් ජර්සි (New York/New Jersey), ෆිලඩෙල්ෆියා (Philadelphia), සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා (San Francisco Bay Area) සහ සියැටල් (Seattle)
 
පෙරමුණේ පසුවන කණ්ඩායම් 
 
දෙවතාවක් ලෝක කුසලානය දිනූ ප්‍රංශය සහ 2010 ශූරයන් වන ස්පාඤ්ඤය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළ කරන කණ්ඩායම් දෙකකි.
 
ප්‍රංශය සතුව කිලියන් ම්බප්පේ (Kylian Mbapp)  සහ උස්මාන් ඩෙම්බෙලේ (Ousmane Dembl)  ඇතුළු විශිෂ්ට ක්‍රීඩක කණ්ඩායමක් සිටින අතර, ඔවුන් යුරෝපයේ ඉහළම තරගාවලිවලදී තම තනි ක්‍රීඩා සමාජ ඉදිරියට ගෙන යාමට දායක වී ඇත.
 
ස්පාඤ්ඤය වසර දෙකක් ඇතුළත ඔවුන්ගේ දෙවැනි ප්‍රධාන කුසලානය කරා යාමට 18 හැවිරිදි ලැමින් යමාල් (Lamine Yamal) වැනි තරුණ දක්ෂතා කෙරෙහි විශ්වාසය තබා ඇත.
 
යුරෝපීය ශූරතා දෙකක අවසන් මහා තරගවලදී පිට පිටම හදවත බිඳී යාමෙන් පසුව, එංගලන්තයටද මෙවර අවස්ථාවක් තිබේ.
 
තවද, තරගාවලියේ වඩාත්ම සාර්ථක රට වන සාම්ප්‍රදායික ප්‍රියතම කණ්ඩායම වන බ්‍රසීලයද ඒ අතර වේ. 
 
බ්‍රසීලය ඔවුන්ගේ හයවැනි ලෝක ශූරතාව අපේක්ෂා කරන අතර, එසේ වුව හොත් එය ඔවුන් 2002 වසරෙන් පසු ලබන පළමු ජයග්‍රහණය වනු ඇත.
 
කැපී පෙනෙන ක්‍රීඩකයෝ 
 
මෙම ගිම්හානයේදී නැරඹීමට වඩාත්ම උද්‌යෝගිමත් ක්‍රීඩකයන් දෙදෙනකු වශයෙන් ම්බප්පේ සහ යමාල් සැලකෙයි. ම්බප්පේ ප්‍රංශය වෙනුවෙන් ඔහුගේ තුන්වැනි ලෝක කුසලානයට ක්‍රීඩා කරන අතර ‘ලෙස් බ්ලූස්‘ කණ්ඩායම පිට පිට අවසන් මහා තරග දෙකක් කරා මෙහෙයවා ඇත. ඔහු එකක් ජයග්‍රහණය කර (2018) සහ එකක් පරාජය වී ඇත (2022).
 
ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩා කරන යමාල්, නව පරපුරක දක්ෂතාවක් නියෝජනය කරන අතර අනාගතයේ ක්‍රීඩාවේ විශාලතම තරුවක් බවට පත්විය හැකිය.
 
පසුගිය දශක දෙකෙහි ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරූ ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙතද නොවැළැක්විය හැකි ලෙසම දෑස් යොමු වනු ඇත. මෙසීට ජූනි මස අගදී වයස අවුරුදු 39ක් පිරෙන අතර රොනාල්ඩෝගේ වයස අවුරුදු 41කි. මෙය ඔවුන් විශ්‍රාම ගැනීමට පෙර ක්‍රීඩා කරන අවසන් ප්‍රධාන තරගාවලිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
 
අවධානයෙන් සිටිය යුතු අනෙකුත් ක්‍රීඩකයන් වන්නේ බ්‍රසීලයේ නේමාර් සහ විනීසියස් ජූනියර්, එංගලන්තයේ ජූඩ් බෙලින්හැම්, ඇමරිකාවේ ක්‍රිස්ටියන් පුලිසික්, කැනඩාවේ ඇල්ෆොන්සෝ ඩේවිස්, දකුණු කොරියාවේ සන් හියුං-මින්, ඝානාවේ ඇන්ටොයින් සෙමෙන්යෝ  සහ ඔහුගේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ සගයා වන, පසුගිය ඉංග්‍රීසි ප්‍රිමියර් ලීග් වාර හතරෙන් තුනකදීම වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගත් නෝර්වේහි අර්ලින් හාර්ලන්ඩ්ය.
 
ලෝක කුසලානයට අලු‍තින්ම එක්වන්නෝ 
 
මෙම ලෝක කුසලානයේ පුළුල් කරන ලද ආකෘතිය හේතුවෙන් වැඩි රටවල් සංඛ්‍යාවකට සහභාගී වීමට අවස්ථාව ලැබී ඇත. එමඟින් මීට පෙර කිසි දිනෙක පාපන්දු ක්‍රීඩාවේ විශාලතම වේදිකාවට නොපැමිණි රටවල් කිහිපයක් මෙවර දැකගැනීමට හැකිවන බව සහතික කර ඇත.
 
156,000ක පමණ සුළු ජනගහනයක් සහිත කුරෙකාඕ (Curaao), ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ කුඩාම රට ලෙස 2018 දී අයිස්ලන්තය තබා තිබූ වාර්තාව බිඳ දමමින් ඓතිහාසික මංගල අවස්ථාව සනිටුහන් කරනු ඇත. 
 
පළමු වරට සහභාගී වන තවත් කුඩා දූපත් රාජ්‍යයක් වන්නේ කේප් වර්ඩ් (Cape Verde) ය. 500,000ක පමණ ජනගහනයක් සහිත ඔවුන් ලෝක කුසලානයට පිවිසි තෙවන කුඩාම රට වේ.
 
ජෝර්දානය මෑතකදී ලැබූ පාපන්දු සාර්ථකත්වයන් ඔවුන්ගේ මංගල ලෝක කුසලාන සුදුසුකම් ලැබීමෙන් උච්චතම අවස්ථාවට පත්ව ඇත. මුලින් මොරොක්කෝවේ උපන් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ජමාල් සෙල්ලාමි හට, කණ්ඩායම ගෝලීය තලයට මෙහෙයවීම අගය කරමින් II වන අබ්දුල්ලා රජු විසින් ජෝර්දාන පුරවැසිභාවය ලබා දෙන ලදී.
 
උස්බෙකිස්තානය නවකයන් අතරින් අවසන් රට වන නමුත්, ක්‍රීඩකයකු ලෙස ලෝක කුසලාන හතරකට සහභාගී වී 2006 තරගාවලියේදී ඉතාලිය නායකයා ලෙස ජයග්‍රහණය කරා මෙහෙයවූ ප්‍රධාන පුහුණුකරු ෆැබියෝ කැනවාරෝ හරහා ඔවුන්ගේ කණ්ඩායමට වටිනා අත්දැකීම් ලැබෙනු ඇත.
 
පාපන්දු පිටියේ හමුවන සදාතනික ගැටුම් 
 
පාපන්දු යනු හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොවේ. දේශපාලනය සහ ඉතිහාසය සමහර වැදගත් තරග හැඩගස්වයි.
 
ජූනි 16 වැනිදා ප්‍රංශය සහ සෙනගල්  මුහුණ දෙන විට, එය ජාතීන් දෙක අතර සන්දර්භය නිර්වචනය කළ යටත් විජිත ඉතිහාසයක පසුබිම සමඟ වනු ඇත. සෙනගල් මීට පෙර 2002 ලෝක කුසලානයේදී එවකට ලෝක ශූරයන් වූ ප්‍රංශය පරාජය කරමින් දැවැන්ත පෙරළියක් සිදු කළේය.
 
යටත් විජිත සබඳතා පැවැති ඝානාව සහ එංගලන්තය ජුනි 23 වැනිදා ෆිලාඩෙල්ෆියාහිදී ක්‍රීඩා කරනු ඇත.
 
ඉරානය සහ ඊජිප්තුව සියැටල්හිදී ක්‍රීඩා කරනු ලබන්නේ, එම නගරයේ LGBT ප්‍රජාව සැමරීම සඳහා දේශීයව ”‍ප්‍රයිඩ්”‍ තරගය ලෙස නම් කරන ලද තරගයකදීය. මේ හේතුවෙන් රටවල් දෙකෙහිම පාපන්දු සම්මේලන ෆිෆා වෙත නිල වශයෙන් විරෝධය පළ කර ඇත. රටවල් දෙකෙහිම සමලිංගික සබඳතා අපරාධයක් ලෙස සලකන බැවින් ඔවුන් මෙම සිදුවීමට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සමීපව නිරීක්ෂණය කරනු ඇත.
 
එමෙන්ම ඉරානය මෙම තරගාවලියට පැමිණෙන්නේ සත්කාරක රටක් වන ඇමරිකාව සමඟ පවතින යුදමය වාතාවරණයක් මධ්‍යයේය. කාණ්ඩ අදියරේදී ඉරානයේ සියලු‍ම තරග ඇමරිකාවේ පැවැත්වෙන නමුත්, කණ්ඩායම ඔවුන්ගේ මූලස්ථානය ලෙස මෙක්සිකෝව තෝරාගෙන ඇති අතර තරග සඳහා ඇමරිකාවට පැමිණෙනු ඇත.
 
හයිටි  රාජ්‍යය 1974 න් පසු පළමු වතාවට ලෝක කුසලානයට නැවත පැමිණෙන අතර, ඔවුන් වසර 28කට පසු නැවත පැමිණීමක් සිදු කරන ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.
 
කේ. ආර්. විතානගේ
 

මේ සතියේ පැවැත්වෙන තරග

ජුනි 13 වැනිදා (සෙනසුරාදා)
පෙරවරු 06:30 - ඇමරිකා එක්සත් ජනපදය සහ පැරගුවේ

ජුනි 14 වැනිදා (ඉරිදා)
අලු‍යම 12:30 - කටාර් සහ ස්විට්සර්ලන්තය
අලු‍යම 03:30 - බ්‍රසීලය සහ මොරොක්කෝව
පෙරවරු 06:30 - හයිටි  සහ ස්කොට්ලන්තය
පෙරවරු 09:30 - ඔස්ට්‍රේලියාව සහ තුර්කිය
රාත්‍රී 10:30 - ජර්මනිය  සහ කුරෙකාඕ

ජුනි 15 වැනිදා (සඳුදා)
අලු‍යම 01:30 - නෙදර්ලන්තය සහ ජපානය
අලු‍යම 04:30 - අයිවරි කෝස්ට් සහ ඉක්වදෝරය
පෙරවරු 07:30 - ස්වීඩනය සහ ටියුනීසියාව
රාත්‍රී 09:30 - ස්පාඤ්ඤය සහ කේප් වර්ඩ්

ජුනි 16 වැනිදා (අඟහරුවාදා)
අලු‍යම 12:30 - බෙල්ජියම සහ ඊජිප්තුව
අලු‍යම 03:30 - සෞදි අරාබිය සහ උරුගුවේ
පෙරවරු 06:30 - ඉරානය සහ නවසීලන්තය
රාත්‍රී 12:30 (ජුනි 17 දිනට එළඹෙන අලු‍යම) - ප්‍රංශය සහ සෙනගල්

ජුනි 17 වැනිදා (බදාදා)
අලු‍යම 03:30 - ඉරාකය සහ නෝර්වේ
පෙරවරු 06:30 - ආර්ජන්ටිනාව සහ ඇල්ජීරියාව
පෙරවරු 09:30 - ඔස්ට්‍රියාව සහ ජෝර්දානය
රාත්‍රී 10:30 - පෘතුගාලය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

ජුනි 18 වැනිදා (බ්‍රහස්පතින්දා)
අලු‍යම 01:30 - එංගලන්තය සහ ක්‍රොඒෂියාව
අලු‍යම 04:30 - ඝානාව සහ පැනමාව
පෙරවරු 07:30 - උස්බෙකිස්තානය සහ කොලොම්බියාව
රාත්‍රී 09:30 - චෙක් ජනරජය සහ දකුණු අප්‍රිකාව

ජුනි 19 වැනිදා (සිකුරාදා)
අලු‍යම 12:30 - ස්විට්සර්ලන්තය සහ බොස්නියාව
අලු‍යම 03:30 - කැනඩාව සහ කටාර්
පෙරවරු 06:30 - මෙක්සිකෝව සහ දකුණු කොරියාව
රාත්‍රී 12:30 (ජුනි 20 දිනට එළඹෙන අලු‍යම)
ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව

ජුනි 20 වැනිදා (සෙනසුරාදා)
අලු‍යම 03:30 - ස්කොට්ලන්තය  සහ මොරොක්කෝව
අලු‍යම 06:00 - බ්‍රසීලය සහ හයිටි
පෙරවරු 08:30 - තුර්කිය සහ පැරගුවේ
රාත්‍රී 10:30 - නෙදර්ලන්තය සහ ස්වීඩනය