
ඉලන්දාරි පිළිමය
අනේ, උන්වහන්සේ - පිරිනිවන් පෑවා කියලා ආරංචි වුණාම මෙතැන උන්නු කුමාරිකාව හරියට විස්සෝප වුණා. ඒ උන්නාන්සෙගේ සහෝදරී. ඒත් කුමාරිට ඒ තරම් දුර යන්න බැහැනේ. ඉතින් මෙහෙම දුකින් ඉන්න කොට හරිම හාස්කමක් තමා සිද්ධ වුණේ. එකපාරටම රහතන් වහන්සේගේ රුව අහසෙන් ඇවිත් මෙතන පහළ වුණා.
ඒ දෙන මැණික්වලින් හැදුවා වගේ බබලන්න ගත්තාලු. මලියදේව මහරහතන් වහන්සේගේ හාස්කම් ඒ වගේ තමා. ඉතින් කුමාරිකාව තමන්ගේ සහෝදර මලියදේව රහතන් වහන්සේගේ මැණික් දෙණට නමස්කාර කරලා පුදපූජා තිබ්බාලූ. එදා ඉඳන් මෙතැනට කිව්වේ මැණික් දෙණ කියලා තමයි.” මේ ගැමියන්ගේ මතයයි.
සරුසාර කුඹුරු යායක පසුබිමේ නිකුල - බිබිලේ මහා කඳුවැටිය ගුප්තමය රාජධානියක කෞතුක සුන්දරත්වය කැටිකොට ගනිමින් අප ඉදිරියේ වැතිර සිටියි. කඳුවැටිය හා කුඹුරු යාය අයත් ගම්මානය පසෙකින් මැණික් දෙණ වැව් රාජිනියයි. අපි එහි ළඟා වූ සැඳෑ යාමයේ වැව් රාජිනියට පර්යන්ත වූ හෙක්ටයාර 2ක වපසරියක පිහිටා ඇති අති පුරාණ පුදබිමෙහි දක්නට ලැබුණේ තවුස් අරමක නිශ්චලත්වයකි. පුදබිමට එපිටින් මහා කඳුවැටියද ඇතුළත්ව හෙක්ටයාර 14ක නොඉඳුල් වනගහනයයි.
ජීවිතයේ එක්වරක් හෝ ඔබ අපේ රටේ මේ අපූර්ව භූමිතලය වෙත නොගියේ නම් එය පරාජයකි.
ඉතින් මෙවර පොසොන් වන්දනාවේ අනුරපුර සීගිරි දඹුලු යන බැතිමතුන් අමතක නොකළ යුතු අගනා පූජ්‍යස්ථානයකි මේ.
මෙම බිම් කඩ තුළ කැපී පෙනෙන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ඉපැරණි ආරාමයකි.
ක්‍රි.ව. 1833 ත්‍රිකුණාමලයේ සිට මාතලේ නාලන්දට පැමිණෙමින් සිටි මේජර් ෆෝබ්ස් ඉදිරිපත් කරන සටහනක නාලන්දට යොමු වූ පැරණි බෑවුම් මාර්ගය සහ ලෙනදොර කන්ද වටා යන නව මාර්ගය අතර, මැණික් දෙණ නුවර නම් වූ එහි නටබුන් එවකටත් දැකිය හැකිව තිබූ පැරණි නගරයක් පිළිබඳව තොරතුර දැන ගත් බව සඳහන් කර ඇත. ඔහු පවසන්නේ එම නටබුන්වලට පසු පසින් නිකුලකන්ද ඇති බවත්, එහි මුදුනේ පිහිටි සම බිමේ වළං කැබැලි සහ සාමාන්‍යයෙන් කැලෑවල දැකිය නොහැකි පලතුරු ගස් තිබූ බවත්, එම නිසා සතුරු උවදුරු සහිත කාල වලදී සැඟවී සිටීමට එය කදිම ස්ථානයක් වූ බවත්ය. එසේම එහි ඇති ඕනෑම නියඟ කාලයකදී වුවද ජලය රඳන පොකුණ නිසා එවන් පලායන්නන්ට එය ආකර්ෂණීය ස්වාභාවික බළකොටුවක් වූ බවය. මේ කතාව අදටද ඇස් පනා පිට දැකිය හැකි සත්‍යයකි.
මෙම ස්ථානය පිළිබඳව විධිමත් ගවේෂණයකට මුල පිරුවේ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී .පී. බෙල් ය. ඒ 1907 වසරේදීය. 1908 වසර සඳහා වූ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව වූ වාර්ෂික වාර්තාවේ ඔහු මෙම නටබුන් ස්ථානය බෞද්ධ සංඝාරාමයක් ලෙස නිවැරදිව හඳුන්වා දී තිබේ. මෙම පරිශ්‍රයේ තිබී සෙල් ලිපි 3 ක් බෙල් කියවා ඇති අතර එක් ලිපියක බුද්ගම් වෙහෙර යන නම සඳහන් වූ බව කියයි. ඉන්පසු පුරාවිද්‍යාව මෙතැන රක්ෂිතයක් බවට නම් කර ඇත්තේ 1957 දී ය. මෙහි කැණීම් කටයුතු 1960 දශකයේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර විසින් ආරම්භ කරන ලද අතර පිළිම ගෙය, උපෝසථගරය, ස්තූපය, බොධිඝරය, සභා ශාලාව මෙන්ම පූජනීය මළුව වටා ඇති ප්‍රාකාරය වැනි පුරාවිද්‍යා අංග තහවුරු කර ඇත. එසේම ස්තූපය කැණීම් කටයුතුවලට පෙර නිදන් හොරුන් විනාශ කර ඇති බව දැක ගත හැකි විය. ස්තූපය කැණීම්වලින් හමුවූ ගඩොල්වල අක්ෂර යොදා ඇති බව දැක ගත හැකි විය.
මෙතැන සොබා ළැදි දෙස් විදෙස් සංචාරකයන්ට අපූරු තිළිණයකි. සිත නිවන නළවන සොඳුරු ආරණ්‍යයක වටා පිටාව මගින් සිතේ ගතේ සුව පහසුව සොයා යන පිරිසට කදිම තෝතැන්නකි. ඒ හැරත් සමස්ත ලංකාවේ ම මේ තරම් ගුප්ත බවකින් සිත ආලෝළනය කරන ස්ථාන ඇත්තේ ඉතා අතළොස්සකි. මෙතැනට පිවිසි විටම අපට ඉපැරණි රජ දහනක ඒ ඈත අතීතයේ ඇවිද යන්නාක් බඳු අපූරු සිතුවිලි සහිත මනමෝහනීය හැගීමක් ඇතිවිය. ඒ ගුප්තමය ආශ්චර්යය මතු කරන්නට හේතු වූ කරුණු කිහිපයකි.
ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වන මලියදේව රහතන් වහන්සේ ගැන ඉහත කී ප්‍රවාදයට අමතරව තවත් ජනප්‍රවාදයක සඳහන් වන පරිදි, සිරිසඟබෝ රජතුමාගේ මාලිගාව පිහිටි ස්ථානය මැණික්දෙණ නුවර ලෙස ද සැලකේ. එසේම බුදුන්ගේ දන්ත ධාතුව රැගෙන පැමිණි ශ්‍රි දන්ත කුමරා එම නුවර වැඩි දියුණු කළ බවටද ප්‍රවාදගතය. කිත්සිරිමෙවන් රජු විසින් ඉදි කරන ලද බුද්ගමු වෙහෙර මෙය බව ඇතැම් වියත්හු සලකති. මැණික්දෙණ කරවන ලද රජු පිළිබඳ නිශ්චිත අදහස් නොමැති වුවද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කරන්නේ මහාවංසයේ 75 පරිච්ඡේදයේ සඳහන් වන මූලනාම වෙෙහර මෙය බවයි. මෙහි ඇති ටැම් ලිපියක බුත්ගම වෙහෙර ලෙස සඳහන්වේ. එය ක්‍රි.ව 11 වන සියවසට පමණ අයත් වන බැවින් මෙම විහාරය අවස්ථා දෙකකදි නාම දෙකක් යටතේ හඳුන්වා ඇති බව පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති.

මෙහි ඉතා වැදගත් ශිලා ලේඛනයක් ලෙස මෙම ටැම් ලිපිය දැක්විය හැකි අතර එහි විහාරස්ථානය සඳහා සිදු කරන ලද දීමනා සහ ප්‍රදානයක් ගැන දැක්වේ. මැණික් දෙන පබ්බතාරාම විහාර පද්ධතියට අයත් ලෙස හඳුන්වා දිය හැකිය. අවධි කිහිපයකට අයත් මෙම පුරාවිද්‍යා පරිශ්‍රය ක්‍රි.පූ. 03 වන සියවසේ සිට ක්‍රි.ව 13 සියවස දක්වා පුරාවිද්‍යා සාධක දැකිය හැකිය. ක්‍රිස්තු පුර්ව අවධියේ දී ලාංකීය සමාජය බෞද්ධාගමික ව හැඩගැස්මත් සමග ගිරි ශිඛරවල ලෙන් භික්ෂූන් වහන්සේ උදෙසා පුජා කර ඇත .මැණික්දෙන රක්ෂිතයේ ඇති ලෙන් බොහොමයක් මෙකී අවධියෙහිදී කටාරම් කොටා ශිලා ලේඛන සහිත ව හා රහිතව පූජා කර ඇති බව සොයාගනු ලැබ ඇත.ඉන්පසු ක්‍රි.පු. 03 සියවසත් පස්වන සියවසත් අතර කාලයේ දී පහළ පිහිටි පූජනිය මලළුව කේන්ද්‍ර කරගෙන පබ්බතාරාම සංකිර්ණය වර්ධනය වී ඇත.
ආරාම ලක්ෂණ පහක් එක තැන ඇති හෙවත් පංචාවාස නිර්මාණ ලංකාවේ යහතින් ඉතිරිව ඇත්තේ අතළොස්සකි. ඒවාගෙනුත් මැණික් දෙන ඇති පංචාවාස නිර්මාණ කාලයේ රුදුරු හස්තයෙන් පහර නොලබා ඉතා ජීවමාන අයුරින්ම මෙතැනදී පෙළගැසී තිබේ.
මේ මහා ගල් කණු රැසට ඔබ්බෙන් පිළිම ගෙය පිහිටා තිබේ. එයට දකුණත් පසින් ඇත්තේ සභා ශාලාවය. බෝධිඝරය සහ ස්තූපඝරය එයට ඉදිරියෙනි. ඉපැරුණි බෝජ්ජංගම වෙහෙර නැතහොත් බුදුගම වෙහෙරට ඇතුළු වන තැනට ඇති ශිලාලේඛනයකට අනුව මෙහි ඉතිහාසය ඇත්තේ කිත්සිරි, මේඝ (ක්‍රිස්තු වර්ෂ 555 - 573) රජුගේ පාලන සමය දක්වා වූ දුර ඈතකය. එනම් හයවැනි සියවස පමණය. එහෙත් තවත් මතයකට අනුව නම් මෙහි සැබෑ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 3 හෝ 4 සියවස තරම්ම ඉපැරැණිය.
මේ පුදබිම පසුබිම් කරමින් නැඟි සිටිනා මහා නිකුල-බිබිලේ කඳුවැටිය මතට පිවිසෙන්නකුට එහි තිබූ සුවිශාල යුද බළ කොටුවක සලකුණු දක්නට ලැබේ. පළමු විජයබාහු රජු (ක්‍රි.ව.1110-1111) කාලයේ දී පොළොන්නරුවට අරක් ගත් සොළියා පලවා හරින්නට කඳවුරු බැඳි තැනකි මේ. ඒ කාලයේ සිට පරම්පරාගතව කියැවෙන කතාවකට අනුව රජුගේ ඇතා බැඳ ඇත්තේ මැණික් දෙණ නිකුල කඳුවැටියට එපිටින් වූ වැටි ඉවුර අසලය. එහෙයින් තවමත් එදෙසට වහරනුයේ ඇතා බැඳිවැව ලෙසිනි.
පළමු පරාක්‍රමබාහු රජු දෙවැනි ගජබාහු රජුට (ක්‍රි.ව. 1132 - 1153) එරෙහිව සටන් මෙහෙයවූයේද මෙතැන සිය බළ සෙනඟ රැස්කර තබමිනි.
මහා සේනාවට අවශ්‍ය සියලු ජල පහසුකම් සඳහා සෑහෙන අක්කර කිහිපයක විහිදුණු සොබාවික පොකුණක් මේ කඳුවැටිය මුදුණේ තිබේ. ඒ අසලම කඩා බිඳ දැමූ ගල් ඇඳක සහ ගල්ඔරු කිහිපයක සලකුණු දක්නට ලැබේ.
කවදත් කොතැනත් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් ගැන ලියන්නට කියන්නට යනවිට නිසැකවම කිවයුතු දේ මෙතැනට ද සත්‍යයකි. ඒ නිදන් හොරුන්ගේ කතායි. මෙතැන නිදන් හොරුන්ගේ කතාවද වරින්වර කලින් කල අසන්නට ලැබෙන්නකි. එසේම ඔවුන්ට සිදුවූ හදි ගැන අසන්නට ලැබෙන්නේද හිනායන කතාය. “එක පාරක් හාමුදුරු නමක් එක්ක කාණ්ඩයක් ආවා. වන්දනාවේ ආවා වගේ තමා හිටියේ. බලනකොට කන්ද නැගලා ගල් ඇඳ ළඟ නිදන් ගන්න ගිහින් අපට හම්බ වුණේ වනාන්තරේ දවස් ගාණක් ඉබාගාතෙ ඇවිදලා එනකොටයි.

නටබුන්
ඔය චෛත්‍යය වටේ බැම්මේ තියෙන්නේ පුංචි පිළිම වහන්සේ නමක්‍්. එක්කෙනෙකුට පහසුවෙන්ම උස්සාගෙන යන්න පුළුවනි. ඒත් ගෙනියනවා නම් බොරු. මේ ළඟදිත් කෙනෙක් උත්සාහ කරලා තිබ්බා. ඒත්, මායිම පනින්න උන්දැට බැරි වුණා.”
නිකුල කඳු වැටියට නැඟී එහි පොකුණෙන් දිය සනහා එන අතරේ අපට මුණ ගැසුණු, අවට ගම්මානයේ කුඹුරු කරමින්, සාමයෙන් ජීවත්වන රත්නායක යුවළ අප සමග කීවේ මේ අවට සතා සරුපයා හොඳහැටි ගැවසෙන බවය. “ඒත් මහත්තයා අපිට නම් මහා ඝනාන්ධකාරේ ආවත් සර්පයෙක් සතෙක් හානිකරලා නෑ. ඔය පුංචි පිළිම වහන්සේට අපේ අය කියන්නේ “ඉලන්දාරි පිළිමේ” කියලයි. හොඳ තරුණ ඉලන්දාරියෙකුගේ හැඩවැඩ රූපෙ තමා තියෙන්නේ. ඒ වගේම තමා බලසම්පන්න කමත්. ආයේ සෙල්ලම් බෑ. මේ ගම්වල අයට ඉතින්, දුකක් කරදරයක් වුණාම. හරකාබාන නැති වුණාම පිළිමෙට කියනවා. හත් දොහක් යන්න පෙර ඔක්කොම ඉවරයි. අපි දෙන්න පුළු පුළුවන් හැටියට කිරි අාහාර පූජාව තියනවා. බලන්න එපායැ රෑට දේවතා එළි වඩින විදිහ.”
මැණික්දෙණ අවට ඇත්තේද අපූරු ඓතිහාසික වැදගත්කමක් ඇති පුදබිම්ය. පිදුරංගල, සීගිරිය, දඹුල්ල ඒ අතරට අයත්ය. මැණික්දෙණත් මේ කියන සීගිරි සංචාරක කලාපයටම අයත්ව තිබුණත් බොහෝ දෙනා ඒ ගැන දන්නේ අල්ප වශයෙනි.
ඒසේම මැණික්දෙණ ලංකාවේ දැනට ප්‍රාථමික වනගහනය ආරක්ෂිතව ඇති ස්ථාන අතළොස්ස අතරින් ප්‍රමුඛ තැනකි. එපමණක්ද? ලංකාවේ දැනට දක්නට ඇති එකම සුවිශාලතම, සහ ස්වාභාවික වෘක්ෂාගාරය පිහිටා ඇත්තේ මෙහිය. එය තවමත් බොහෝ දෙනා නොදත් සුවීශේෂ කරුණකි.
ස්වාභාවික වෘක්ෂාගාරයක් (Arboretum) යනු කුමක්දැයි දන්නේත් කිහිප දෙනෙකි. ඒ කුමක්ද? හානියට පත් නොකර, වෙනස් කමකට භාජනය නොකර ඇති ස්වාභාවික ශාක එකතුවකි. මෙහිදි බොහෝ දෙනා තුරුලතා ගැන දැන හඳුනාගන්නේ වනපෙතට ඇතුළුව ඇවිද යන අතර සජීවීව ය. පොතක පින්තුරයක් සමග රිකිල්ලක්, පත්‍රයක්, මලක්, මුලක් සමකර පරීක්ෂා, කිරීමෙන් නොවේ. අපේ පැරැන්නන් කළාක් මෙන් වනාන්තරයේ ඇවිදයන අතර ස්වාභාවික ගහවැල, එහි සොබා පරිසරයේදීම දැක බලා ගනිමින් හඳුනා ගැනීම මෙවන් තැනකදී සිදුවෙයි. ඒ සඳහා අවශ්‍ය ගස්වැල්වල සියලුම තොරතුරු ඇතුළත් ලේබල් එකී ගස්වැල් මත සටහන් කර තිබේ. මේ නිසා ඕනෑම අයකුට කාගේවත් පිහිටක් නැතිව වුවත් අපේ රටේ ශාක සම්පත ගැන තනිවම හැදෑරීමට මෙතැනදී වාසනාව උදා වී තිබේ.
මැණික්දෙන වෘක්ෂාගාරය මේ තත්ත්වයට ගෙන ආවේ 1997 දී ආචාර්ය මැග්ඩන් ජයසූරිය ප්‍රමුඛ විද්වතුන් හා සිසුන් පිරිසකගේ උත්සාහයෙනි. මැණික්දෙන රක්ෂිතය ආශ්‍රිතව ඇති ශාක පන්සියයකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඒවා ලේබල් කිරීම ඔවුහු එකල සිදු කළහ. මේ ලේබලයේ ගසක විද්‍යාත්මක නාමය, සිංහල නම, දෙමළ සහ ඉංග්‍රීසි නම මෙන්ම ශාකය ආවේණික ද ඒක දේශිත ද, සංක්‍රමණික ද ආගන්තුක ද යන තොරතුරු රැසක්ම දක්නට ලැබේ. ඒ හැර මැණික් දෙන වෘක්ෂාගාරය පිළිබඳව රූ සටහන් සහිත මාහැඟි ග්‍රන්ථයක් ද දැන් සම්පාදනය වී තිබේ. මේ නිසා අධ්‍යයනශීලි සැමට විවර වූ සොබාවික පුස්තකාලයක් බඳු තැනකි මේ.
මැණික් දෙනට යන්නට නම් පළමුව කොළඹ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගතයුතුය. නැතිනම් දඹුලු පුරා විද්‍යා කාර්යාලයෙනි. යනවා නම් එහි යා යුත්තේ උදාසනින්මය. මක්නිසාදයත් එතැන බලන්නට, අසන්නට, ඉගෙනගන්නට බොහෝ දේ ඇති හෙයිනි. එතැනට ළඟා විය හැක්කේ නුවර දඹුල්ල පාරේ දඹුලු නගරයේ සිට කිලෝමීටර හතක් පමණ කළුවන්දෑව ඔස්සේ ආවිට හමුවන මැටම්පිටිය හන්දියෙන් දකුණු පැත්තට ඇති මාර්ගයේ තවත් කිලෝමීටර දෙකක් පමණ ගිය විට හමුවන ඇතා බැඳිවැව හන්දියෙන් හැරී බොරලු මං පෙතක් ඔස්සේ තවත් කිලෝමීටර දෙකක් පමණ ගිය පසුය.
නැතිනම් කොළඹ කුරුණෑගල ඔස්සේ ගලේවෙල දඹුල්ල මාර්ගයේ පන්නන්පිටියේ හැළවැව ළඟින් දකුණට හැරී ගිය විට හමුවන පුරාවිද්‍යා දැන්වීම් පුවරුව ළඟින් හැරී කිලෝමීටර එකහමාරක් පමණ ගමන් ගැනීමෙනි. බොහෝ දුරක් ගතවන සේ හැඟී ගියත් මෙය හිත නිවා සනසන දැනුම් සම්භාරයක් ලබාදෙන ගමනකි. එහෙයින්ම ජීවිතයේ එක්වරක් කෙසේ හෝ යා යුතු ගමනකි. දඹුලු, සීගිරි වන්දනාව අතරතුර මැණික්දෙණ වෙත යන ගමන ඒ වන්දනාවේ බැතිබර බව මහා දැනුම් සම්භාරයකින්ද පුරවා ජීවිත කාලයටම අමතක නොවන මැණික් නිධානයක් බඳු අගනා තිළිණයක් ලබා දෙන්නකි.
සුගත්ප්‍රිය
කුලතුංග ආරච්චි

ස්තූපය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd