ශ්‍රී ලාංකේය ජනශ්‍රැතිය යනු සියවස් ගණනාවක් පුරා මිනිසුන්ගේ සිත්වල ජීවමානව පැවති ඇදහිලි, විශ්වාස, භීතිකා, අබිරහස් හා අමනුෂ්‍ය ලෝකය පිළිබඳ කතාන්දර වලින් සැදුම්ලත් අපූරු උරුමයකි. ගම්මානවල පැරණි ගසක් යටදී, තොවිල් මඩුවක දවුල් හඬ අතරදී, ඇදුරකුගේ කටින් හෝ වැඩිහිටියකුගේ මතකයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ එවැනි ජනප්‍රවාද අතරින් අදටත් වඩාත් ප්‍රකට නාමයක් වන්නේ මහා නීලමදන කළු කුමාරයා ය.

ඔහු පිළිබඳ කතාන්දර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයෙන් පවතී. ඇතැම් ජනප්‍රවාද ඔහු උපතින්ම රාජකීය වංශයකට අයත් කුමාරයකු බව කියන අතර, තවත් ජනප්‍රවාද ඔහු අසාමාන්‍ය ශක්තියකින් හෙබි මහා යෝධයකු බව සඳහන් කරයි. එහෙත් සියලු කතාවල අවසානය එකම ස්ථානයකින් හමුවෙයි. ඒ, මහා නීල මදන කළු කුමාරයා නම් බලගතු යක්ෂ බලවේගයෙහි උපතයි.

පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදායන්හි එන එක් පුරාවෘත්තයකට අනුව, මහා නීලමදන කළු කුමාරයා අමාවක දිනයක උපත ලැබූ රාජකීය කුමාරයෙකි. ඔහුගේ පියා විජිත නම් රජු වන අතර මව කරඬුබානා බිසව බව ජනශ්‍රැතියේ සඳහන් වේ. පස් මුහුදෙන් එපිට, මහ මුහුද මැද පිහිටි කළු ගල් දූපතක රන් විමානයක ඔහු මෙලොව එළිය දුටු බවත්, උපන් මොහොතේ සිටම අසාමාන්‍ය ලක්ෂණවලින් යුත් දරුවකු වූ බවත් කතාවල කියැවේ.

තද කළු පැහැයෙන් දිදුලන ශරීරයක්, ගිනි පුපුරු මෙන් දිස්වන දෙනෙත්, කැරලි ගැසුණු කෙස් කලඹක්, උල් දත් සහ මැණික් ඔබ්බවා නිම කළ ඔටුන්නක් සහිත මෙම කුමාරයා පසුව බලගතු යක්ෂ නායකයකු බවට පත්වන බව ජනශ්‍රැතියෙහි විස්තර වෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වඩාත් ප්‍රචලිතව පවතින්නේ නීල මහා යෝධයා පිළිබඳ කතාවයි. ජනප්‍රවාදයට අනුව රජ මාලිගාවේ රෙදි සෝදන කටයුතු කළ සුරූපී කාන්තාවකට දරුවකු ලැබිණ. උපන් දරුවාගේ සිරුර අසාමාන්‍ය ලෙස තද කළු පැහැයෙන් යුක්ත වූ බැවින් ඔහුට "නීල" යන නාමය හිමි වූ බව කියනු ලැබේ. මව සිය රාජකාරි සඳහා මාලිගාවට පැමිණෙන විට මෙම කුඩා දරුවාද ඇය සමග පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

වයස අවුරුදු හයක් පමණ වන විටම නීල දරුවාගේ අසාමාන්‍ය ශක්තිය ප්‍රකට වී තිබිණ. දිනක් රාජ මාලිගාවේ තැන්පත් කර තිබූ අතිශය බරුති යගදාවක් උඩුයටිකුරු වී තිබෙනු දැක සියල්ලෝම විස්මයට පත්වූහ. එම යගදාව සාමාන්‍ය මිනිසකුට එසවිය නොහැකි තරම් බරුති ආයුධයක් බව කියැවේ. එය දුටු රජතුමා "මාගේ යගදාව එසවූ හපනා කවුද?" යනුවෙන් විමසූ අතර, පසුව කළ සොයා බැලීම්වලදී එය සිදුකර ඇත්තේ කුඩා නීල දරුවා බව හෙළි විය. එතැන් සිට ඔහුගේ අසාමාන්‍ය ශක්තිය පිළිබඳ කතා රාජ මාලිගාව පුරා පැතිර ගිය බව ජනප්‍රවාදය පවසයි.

කාලයත් සමඟ නීල බලසම්පන්න තරුණයෙක් බවට පත්විය. ඔහුගේ ශක්තිය, වීරත්වය සහ රණකාමී හැකියාව හේතුවෙන් පසු කාලයේ රාජ්‍යයේ සෙනවියකු බවට පත්වූ බව ජනකතා සඳහන් කරයි. එමෙන්ම සොළී දේශය ආක්‍රමණය කිරීම සඳහා ගිය අවස්ථාවක මුහුද දෙබෑ කරමින් ගමන් කළ හැකි මාර්ගයක් නිර්මාණය කළ මහා යෝධයාද නීල බව ඇතැම් පුරාවෘත්තයන්හි සඳහන් වේ. තම බලවත් යගදාවෙන් මුහුදට පහර දෙමින් ගමන් මාර්ගයක් සකස් කළ බව එම ජනප්‍රවාදය කියා සිටී.

එහෙත් නීලගේ ජීවිතයේ අවසාන පරිච්ඡේදය ආරම්භ වූයේ සොළී දේශයේ ගමන් කරමින් සිටියදී එක් අපූරු ගම්මානයකට පැමිණීමත් සමගය. ජනප්‍රවාදයට අනුව එම ගම්මානයේ ජීවත් වූයේ ස්ත්‍රීන් පමණි. එවැනි උස මහත, බලසම්පන්න, කඩවසම් හා රාජකීය පෞරුෂයකින් යුත් අයකු ඔවුන් කිසිදා දැක නොතිබූ බව කතාවේ සඳහන් වේ.

නීල ගම්මානයට පැමිණි මොහොතේම එම ස්ත්‍රීන්ගේ අවධානය ඔහු වෙත යොමු විය. ඔහුගේ හැඩිදැඩි සිරුර, රණශූර පෙනුම, බලසම්පන්න පෞරුෂය හා අසාමාන්‍ය රූපශ්‍රීය දුටු ඔවුහු දැඩි ආකර්ෂණයකට පත්වූහ. ටිකෙන් ටික ඔවුන් නීල වටා රොක් වූ අතර, බොහෝ දෙනෙක් ඔහු වැළඳ ගැනීමට, ස්පර්ශ කිරීමට සහ තමන් වෙත ළං කර ගැනීමට උත්සාහ කළ බව ජනප්‍රවාදය පවසයි.

එම උමතු වූ ආකර්ෂණය හා රාගික ආශාවන් ගෙන් පිරුණු වාතාවරණය තුළ නීල මහා යෝධයාගේ ජීවිතය අවාසනාවන්ත අවසානයකට පත්වූ බව කියැවේ. ජනශ්‍රැතියට අනුව ඔහු මෙලොව හැර ගියේ දැඩි රාගය, කෝපය, වෛරය හා අසම්පූර්ණ ආශාවන් ගෙන් පිරුණු චුති සිතකිනි. එම චුති සිතේ බලය හේතුවෙන් මරණයෙන් පසු ඔහු බලගතු යක්ෂයකු බවට පත්වූ අතර, එතැන් පටන් "මහා නීල මදන කළු කුමාරයා" ලෙස ප්‍රකට වූ බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ.

එතැන් සිට මෙම යක්ෂ බලවේගය තුන්මංසල්, හතරමංසල්, පස්මංසල්, පාළු රදාතොටවල්, සොහොන් බිම්, වෙල් යායවල්, මහා රූස්ස වනය, මනුෂ්‍ය වාසයෙන් තොර පාළු ගෙවල්, වැව්, ඇළ දොළ, දොළ පාරවල් සහ ළිං ආශ්‍රිත ස්ථානවල බැල්ම හෙළන බවට ජනතාව අතර විශ්වාසයක් පවතී. විශේෂයෙන්ම කාන්තාවන්ට බලපාන යක්ෂ බලවේගයක් ලෙස ඔහු සැලකෙන අතර, පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදායෙහි කළු කුමාර දෝෂය පිළිබඳ විශ්වාසය අදටත් දැකිය හැකිය.

ජන විශ්වාසයන්ට අනුව කළු කුමාර දෝෂයෙන් පීඩාවට පත්වූ පුද්ගලයන් තුළ තනිව සිටීමට ඇති කැමැත්ත වැඩිවීම, රාත්‍රී කාලයේ රාගික ස්වභාවයේ සිහින දැකීම, සිහිනෙන් බැඳුම් පිලිස්සුම් වැනි දෑ ලැබීම, රෑ සිහිනෙන් ඇවිදීම, රෑ සිහිනෙන් කතා කිරීම, කෑම අරුචිය, ශරීරය කෙට්ටු වීම සහ බැඳුම් පිලිස්සුම් කෙරෙහි විශේෂ ඇල්මක් ඇතිවීම වැනි ලක්ෂණ දක්නට ලැබෙන බව කියනු ලැබේ. කාන්තාවන් සම්බන්ධයෙන් ගත් කල ඔසප් වීමේදී අධික රුධිර වහනය, නියමිත කාලය ඉක්මවා ඔසප් වීම පැවතීම, දැඩි වේදනා ඇතිවීම, සුද යාම සහ දරුඵල සම්බන්ධ බාධා ද මෙම දෝෂයට ආරෝපණය කරනු ලබයි.

මෙවැනි බලපෑම්වලින් මිදීම සඳහා පුරාණ කාලයේ සිටම ජනතාව ශාන්තිකර්මවල පිහිට පැතූහ. එහිදී ශාස්ත්‍රයේ නියමිත ප්‍රමාණයන්ට අනුව කළුකුමාර පිදෙනිය නිර්මාණය කරනු ලබන බවත්, අනතුරුව පුද පූජා, කවි, මන්ත්‍ර හා ශාන්තිකර්ම විධි අනුගමනය කරමින් කළු කුමාර දිෂ්ටියට ආරාධනා කරන බවත් ජන විශ්වාසයන්හි සඳහන් වේ.

"ඕං කල්ලුම් කල්ලුම් කළුවේ දේස් ගිනි ගිනි වර වර... කළුවල තම්බිරානේ වීසි වීසි වර වර..."

යන මන්ත්‍රෝච්චාරණ සමග පුද පූජා පවත්වා දෝෂය දුරු කර ආරක්ෂා බැඳීම මෙම ශාන්තිකර්මයේ ප්‍රධාන අරමුණ ලෙස සැලකේ. මෙම චාරිත්‍රය "කළු කුමාර ශාන්ති කර්මය" ලෙස හඳුන්වනු ලබයි.

එමෙන්ම මෙම බලපෑම්වලින් වැළකී සිටීම සඳහා හැන්දෑවේ හයෙන් පසු කාන්තාවන් තනිව ගමන් කිරීමෙන් වැළකීම, අවේලාවේ කොණ්ඩය පීරීම හෝ කොණ්ඩය කඩාගෙන සිටීමෙන් වැළකීම, එළිමහනේ බැඳුම් පිළිස්සුම් අනුභව නොකිරීම, හැන්දෑ ජාමයෙන් පසු ගංගා, ඇළ දොළ, වැව් සහ ළිං ආශ්‍රිත ස්ථානවලට තනිව නොයෑම සහ ආරක්ෂක යන්ත්‍ර පැලඳීම වැනි උපදෙස්ද ජන සම්ප්‍රදායන්හි දැකිය හැකිය.

අදටත් තොවිල් මඩුවක දවුල් හඬ ඇසෙන විට, ගැමි ඇදුරකු කළු කුමාර කවි ගායනා කරන විට, හෝ පැරණි ජනප්‍රවාදයක් වැඩිහිටියකුගේ මුවින් නැවත නැඟෙන විට මහා නීල මදන කළු කුමාරයාගේ නාමය අලුත් ජීවයක් ලබයි. ඒ නිසාම ඔහු ශ්‍රී ලාංකේය ජනශ්‍රැතියේ අඳුරු අහසෙහි තවමත් සැරිසරන අද්භූතම යක්ෂ චරිතවලින් එකක් ලෙස සැලකේ.

ජන විශ්වාස සහ මන්ත්‍ර ශාස්ත්‍ර 

තවද මන්ත්‍ර ශාස්ත්‍රය හා පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදායන්හි මෙම යක්ෂ චරිතය මූලික කරගෙන විවිධ අභිචාර, ආරක්ෂක ක්‍රියා සහ බන්ධන විධි පැවති බව ජන විශ්වාසයන්හි සඳහන් වේ. එම විශ්වාස අනුව ඇතැම් අවස්ථාවලදී යක්ෂ බලවේග ආරාධනා කරමින් සිදුකරන ශාන්තිකර්ම මගින් පීඩාකාරී බලපෑම් දුරු කර ගැනීමත්, මනුෂ්‍යයකුට ඇති යැයි සැලකෙන “දෝෂ” අඩු කර ගැනීමත් සිදු කරන බව කියැවේ.

එමෙන්ම ජනකතාවල සඳහන් වන පරිදි, යම් යම් පීඩාකාරී හෝ අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවීම සඳහා මෙම යක්ෂ බලවේගය පමණක් නොව, මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත කරමින් සිදුකරන කොඩිවින, බන්ධන හා විවිධ අභිචාර ද හේතුවක් ලෙස ජන විශ්වාසවල දැක්වෙයි. එවැනි විශ්වාසයන්ට අනුව, ඇතැම් පුද්ගලයන් විසින් කරන යැයි කියන මෙවැනි ක්‍රියා මගින් අනෙකුත් පුද්ගලයන්ට මානසික, ශාරීරික හෝ සමාජීය පීඩා ඇතිවිය හැකි බව ගැමි සම්ප්‍රදායන්හි විවිධ අර්ථකථන පවතී.

කෙසේ වෙතත්, මේ සියල්ලම ශ්‍රී ලාංකේය ජනශ්‍රැතියෙහි පවතින ආගමික - සංස්කෘතික විශ්වාස හා කතාන්දර ලෙස සැලකෙන අතර, ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ ජනකතා හා සම්ප්‍රදායන්ගේ කොටසක් ලෙස අදටත් ජීවමානව පවතී.