
වර්තමානයේ වයස, වෘත්තිය හෝ සමාජ තත්ත්වයකින් තොරව පොදුවේ මහජනතාව අතර ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් ලෙස "ෆැටී ලිවර්" (Fatty Liver Disease) හෙවත් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගී තත්ත්වය හඳුනාගත හැකිය. අද වන විට සිදු කරනු ලබන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (Ultrasound Scan) වාර්තාවල "Fatty Liver Grade 1, Grade 2 හෝ Grade 3" ලෙස සටහන් වී තිබීම ඉතා සුලභ දසුනක් බවට පත්ව ඇත. වඩාත්ම කනගාටුදායක කරුණ නම්, බොහෝ රෝගීන් වෛද්‍ය උපදෙස් පැතීමට යොමුවන්නේ මෙම තත්ත්වය දරුණු ලෙස අක්මාවට හා සිදුවීමේ හෝ අක්මාව සිරෝසිස් වැනි අවසාන මට්ටමේ සංකූලතා දක්වා වර්ධනය වූ පසුව වීමය.
මේ හා සමගාමීව, වර්තමාන සමාජයේ දක්නට ලැබෙන තවත් භයානක ප්‍රවණතාවක් වන්නේ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම ඉහළ යාම, ට්‍රයිග්ලිසරයිඩ අධික වීම, හිතකර කොලෙස්ටරෝල් (HDL) මට්ටම පහත වැටීම, උදරය ආශ්‍රිත ස්ථුලතාව, ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ දෙවැනි වර්ගයේ දියවැඩියාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමය. මෙම පරිවෘත්තීය ආබාධ දැන් සමාජයේ සීමිත පිරිසකට පමණක් සීමා වී නොමැති අතර, සෑම වයස් කාණ්ඩයකම පාහේ පුද්ගලයෝ මීට ගොදුරු වෙමින් සිටිති.
“අධික කාර්යබහුල ප්‍රජා සෞඛ්‍ය සායනයක සේවය කරන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු වශයෙන්, මට දෛනිකව ෆැටී ලිවර්, රුධිරයේ මේදය අධික වීම , ස්ථුලතාව සහ දියවැඩියාවෙන් පෙළෙන විශාල රෝගීන් සංඛ්‍යාවක් හමුවේ. දීර්ඝ කාලීන සායනික නිරීක්ෂණවලින් මට පැහැදිලි වූ කරුණක් නම්, මෙහි ඇති ලොකුම මහජන සෞඛ්‍ය ගැටලුව රෝගය පමණක් නොව, මෙම රෝගී තත්ත්වයන් පිටුපස ඇති සැබෑ හේතු සහ ඒවායේ ව්‍යාධිවේදය (Pathophysiology) පිළිබඳව මහජනතාව සතු නොදැනුවත්කම සහ මිථ්‍යා මත ය.
"දොස්තර මහත්තයා, මම තෙල් කෑම කන්නෙම නැහැ. හැබැයි මගේ කොලෙස්ටරෝල් වැඩියි, ෆැටී ලිවර් කියලත් ස්කෑන් එකේ තියෙනවා.”
රෝගීන්ගෙන් නිරන්තරයෙන් ඇසීමට ලැබෙන මෙම ප්‍රකාශයෙන් නූතන පෝෂණය පිළිබඳව සමාජයේ පවතින විශාලතම වැරදි වැටහීමක් මනාව පිළිඹිබු වේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ තෙල් සහිත ආහාර සහ බාහිරින් පෙනෙන මේදය පමණක් කොලෙස්ටරෝල් ඉහළ නැංවීමට හෝ ෆැටී ලිවර් ඇති වීමට හේතු වන බවයි. නමුත් විද්‍යාත්මකව හා ජීව විද්‍යාත්මක පරිවෘත්තීය ක්‍රියාවලියට අනුව, අධික ලෙස කාබෝහයිඩ්‍රේට් (පිෂ්ඨය සහ සීනි) පරිභෝජනය කිරීම සෘජුවම ශරීරය සහ අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන ප්‍රධානතම හේතුවයි.
පලතුරු යුෂ පිළිබඳ පවතින වැරදි මතය
මෑතකදී රෝගීන් අතර දක්නට ලැබෙන තවත් භයානක ප්‍රවණතාවක් වන්නේ කෘත්‍රිම බීම වර්ග වෙනුවට ස්වාභාවික පලතුරු බීම සෞඛ්‍යයට හිතකර යැයි සිතා අධික ලෙස පානය කිරීමයි. කෘත්‍රිම පාන වර්ග අවම කිරීම යහපත් වුවද, බ්ලෙන්ඩර් කරන ලද ඇතැම් පලතුරු යුෂවල තන්තු (Fiber) රහිතව අධික සීනි ප්‍රමාණයක් අඩංගු විය හැකිය. නිදසුනක් ලෙස, තන්තු කොටස් ඉවත් කර පෙරා සකස් කරන දිවුල් යුෂ වැනි පාන වර්ග මගින් රුධිරයට එකවරම අධික සීනි ප්‍රමාණයක් මුදා හරින අතර, එමගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව ඉහළ යයි .
තවද, මෙම බීම රසවත් කිරීම සඳහා විශාල වශයෙන් සීනි, ලුණු සහ අයිස් ස්ක්‍රීම් වර්ග එකතු කිරීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. බ්ලෙන්ඩර් කිරීමේදී පලතුරුවල ඇති ස්වාභාවික තන්තු විනාශ වී යන බැවින්, ශරීරයට සීනි අවශෝෂණය කරගන්නා වේගය අධික වේ. මෙය කාලයත් සමග ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති වීමටත්, පරිවෘත්තීය රෝග වර්ධනය වීමටත් සෘජුවම දායක වේ.
අධික කාබෝහයිඩ්‍රේට් මේදය බවට පත්වන්නේ කෙසේ ද?
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ප්‍රධානතම මධ්‍යස්ථානය වන්නේ අක්මාවයි. පුද්ගලයකු පහත දැක්වෙන පරිදි අධික ලෙස කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර පරිභෝජනය කරන විට: සුදු බත්-පාන් සහ පාන් පිටිවලින් සෑදූ ආහාර සීනි අඩංගු බීම වර්ග සහ පැණි බීම -කේක්, පේස්ට්‍රි සහ බිස්කට් වර්ග -සීනි දැමූ තේ -ක්ෂණික ආහාර සහ සැකසූ කෙටි ආහාර (Processed snacks
ශරීරය විසින් මෙම කාබෝහයිඩ්‍රේට් සියල්ලම ග්ලූකෝස් බවට පත් කරනු ලබයි. මෙලෙස ශරීරයට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය ශරීරයේ එදිනෙදා ශක්ති අවශ්‍යතාවට වඩා අධික වන විට, අක්මාව විසින් එම වැඩිපුර ඇති ග්ලූකෝස් ප්‍රමාණය මේදය බවට පරිවර්තනය කරයි. මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව De Novo Lipogenesis ලෙස හැඳින් වේ. මෙලෙස නිපදවන මේදය අක්මා සෛලවල ගබඩා වන අතර, එය මද්‍යසාර නොවන ෆැටි ලිවර් රෝගය (NAFLD - Non-Alcoholic Fatty Liver Disease) ඇති කිරීමට හේතු වේ.
කාලයත් සමග මෙම ක්‍රියාවලිය හේතුවෙන් ශරීරයේ භයානක රෝග රැසක් ඇතිවේ:
•ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීම
• රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ (Triglycerides) මට්ටම අධික වීම
• අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම ඉහළ යාම සහ හිතකර කොලෙස්ටරෝල් (HDL) පහත වැටීම
•උදරය මහත් වීම (Central Obesity)
• ශරීරය තුළ නිදන්ගත ප්‍රදාහයන් (Chronic Inflammation) ඇතිවීම
• රුධිරවාහිනී බිත්තිවල මේදය තැන්පත් වීම (Plaque Formation)
• අධි රුධිර පීඩනය (Hypertension)
• හෘදයාබාධ (Heart Attacks) සහ අංශභාගය (Stroke)
• දෙවැනි වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus)
අතිශය වැදගත් වෛද්‍ය අනතුරු ඇඟවීම
ෆැටී ලිවර් (NAFLD) යනු සුළු කොට තැකිය යුතු තත්ත්වයක් නොවේ. මද්‍යසාර නොවන ෆැටී ලිවර් තත්ත්වය කිසි විටෙකත් නොසලකා හැරිය යුතු නොවේ. නිසි වේලාවට මෙය හඳුනාගෙන පාලනය නොකළ හොත්, එය කිසිදු රෝග ලක්ෂණයකින් තොරව පහත සඳහන් දරුණු අවධීන් කරා නිහඬවම ගමන් කරයි.
• අක්මාවේ ප්‍රදාහය (Inflammation) හෙවත් ඉදිමීමක් ඇතිවීම.
• ලිවර් ෆයිබ්‍රෝසිස් (Liver Fibrosis): අක්මාව තුළ තන්තුමය පටක ඇති වෙමින් අක්මාව තද වීම.
• ලිවර් සිරෝසිස් (Liver Cirrhosis): අක්මාව සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි ලෙස අකර්මණ්‍ය වීම.
• අක්මා පිළිකා (Hepatocellular Carcinoma / Liver Cancer): අක්මාව ආශ්‍රිත පිළිකාමය තත්ත්වයන් වර්ධනය වීම.
• අක්මාව මුළුමනින්ම අක්‍රීය වීම (Liver Failure): අක්මාවේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නැවතී යාම.
මෙම රෝගී තත්ත්වය වසර ගණනාවක් පුරා කිසිදු බාහිර ලක්ෂණයක් නොපෙන්වා ශරීරය තුළ වර්ධනය වේ. රෝග ලක්ෂණ මතු වන විට, අක්මාව යථා තත්ත්වයට පත් කළ නොහැකි තරමටම විනාශ වී තිබිය හැක. එබැවින් ෆැටී ලිවර් යනු සරල "අක්මාවේ මේද වෙනසක්" නොව, මුළු ශරීරයේම පරිවෘත්තීය ක්‍රියාවලිය බිඳ වැටී ඇති බව පෙන්වන මුල් කාලීන රතු එළියකි.
ෆැටී ලිවර් (NAFLD) රෝගයේ සැබෑ ස්වභාවය
ෆැටී ලිවර් යනු හුදෙක් "අක්මාවේ මේදය තිබීම" පමණක් නොවේ. එය සංකීර්ණ පරිවෘත්තීය ආබාධයකි. අධික කාබෝහයිඩ්‍රේට් භාවිතය නිසා රුධිරයේ ග්ලූකෝස් සහ ඉන්සියුලින් මට්ටම් නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවතී. මෙලෙස දීර්ඝ කාලයක් ඉන්සියුලින් ඉහළ යාම නිසා සෛල ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිචාර නොදක්වන "ඉන්සියුලින් ප්‍රතිරෝධය" ඇති කරයි. මෙය උත්සන්න වන විට අක්මාවේ තැන්පත් වන මේද ප්‍රමාණය තවදුරටත් වැඩි වන අතර, අක්මාව මගින් රුධිරයට මුදා හරින ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණයද, හානිකර LDL කොලෙස්ටරෝල් අංශුද ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔක්සිකාරක ආතතිය සහ ප්‍රදාහයන් ඇති වී අක්මා සෛල විනාශ වීමට පටන් ගනී.
මාගරින් සහ ට්‍රාන්ස් මේද වල ඇති භයානක සත්‍යය
සමාජයේ පවතින තවත් ප්‍රධාන වැරදි වැටහීමක් වන්නේ බටර් සහ මාගරින් පිළිබඳවයි. බොහෝ දෙනා බටර් අදූරදර්ශී ලෙස මඟහරිමින්, මාගරින් ශරීරයට හිතකර යැයි සිතා දිනපතා ආහාරයට ගනිති. නමුත් සැබෑව නම්, බොහෝ මාගරින් නිෂ්පාදන සහ ෆැට් ප්‍රෙඩ්ස් (Fat spreads) නිපදවනු ලබන්නේ පාම් ඔයිල් හයිඩ්‍රජනීකරණය කිරීමෙනි. මෙම ක්‍රියාවලියේදී ශරීරයට අතිශය විෂ සහිත ට්‍රාන්ස් මේද නිර්මාණය වේ. එමෙන්ම, බහුතරයක් බේකරි නිෂ්පාදන නිපදවන්නේද පිරිපහදු කළ තිරිඟු පිටි සහ මාගරින් මිශ්‍ර කිරීමෙනි.
ට්‍රාන්ස් මේද මගින් සිදුවන හානිය:
• රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) උපරිම ලෙස ඉහළ නංවන අතර හිතකර කොලෙස්ටරෝල් (HDL) ශීඝ්‍රයෙන් පහත හෙළයි.
• හෘදයේ රුධිරවාහිනී තුළ මේද කැටිති (Plaque) බිහිවීම වේගවත් කරයි.
• හෘදයාබාධ සහ අංශභාග රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම බෙහෙවින් වැඩි කරයි.
• ශරීරය තුළ නිදන්ගත ප්‍රදාහයන්, දැඩි ඔක්සිකාරක ආතතිය සහ පිළිකා ඇතිවීමේ අවදානම ඇති කරයි.
නැවත නැවත රත් කරන ලද තෙල්වල සැඟවුණ මාරයා
නිවෙස්වල මෙන්ම බාහිර ආහාර අලෙවිසල්වලද එකම තෙල් නැවත නැවත රත් කරමින් ආහාර බැදීමට උපයෝගී කරගනී. මෙලෙස අධික ලෙස රත් කිරීමේදී තෙල්වල රසායනික ව්‍යුහය බිඳ වැටී, ඔක්සිකරණය වූ ලිපිඩ, නිදහස් රැඩිකලුන්, විෂ සහිත ඇල්ඩිහයිඩ සහ ට්‍රාන්ස් මේද නිපදවේ. මෙම විෂ සංයෝග සෘජුවම අක්මාවේ සෛල විනාශ කර ෆැටී ලිවර් තත්ත්වය ඇති කරන අතර, රුධිරයේ මේදය අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීමට, රුධිර වාහිනීවලට හානි කිරීමට සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය දැඩි කිරීමට දායක වේ.
ෆැටී ලිවර් රෝගය වසර ගණනාවක් පුරා කිසිදු පැහැදිලි රෝග ලක්ෂණයක් නොපෙන්වා පැවතිය හැකි අතර කෙසේ වෙතත්, නිතර දැනෙන අධික විඩාව, බඩ පුරවා දැමීම හෝ බඩේ බර ගතිය, අජීර්ණය, ශරීරයේ බර අසාමාන්‍ය ලෙස වැඩි වීම, බඩ ඉදිරියට නෙරා ඒම සහ ක්‍රියාශීලී වීමට ශක්තියක් නොමැතිකම මෙහි මූලික සියුම් රෝග ලක්ෂණ විය හැකිය.
ෆැටී ලිවර් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ද?
මුල් අවධියේදීම රෝගය හඳුනාගෙන, ක්‍රමවත් ජීවන රටාවේ වෙනස්කම්, නිවැරදි ආහාර පාලනය සහ සුදුසුකම් ලත් වෛද්‍ය හෝ ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවීමෙන් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරගත හැක. නිසි ප්‍රතිකාර මගින් Fatty Liver Grade 1, 2, 3 යන ඕනෑම තත්ත්වයක්, අධික ට්‍රයිග්ලිසරයිඩ සහ LDL කොලෙස්ටරෝල් මට්ටම් මෙන්ම ඉන්සියුලින් ප්‍රතිරෝධයද සාර්ථකව පාලනය කර සුවපත් කරගත හැකි බව සායනික අත්දැකීම් තුළින් මනාව තහවුරු වී ඇත.
බොහෝ දෙනා ෆැටි ලිවර් නිසා පීඩා විඳින්නේ ප්‍රතිකාර නැති නිසා නොව, රෝගය ශරීරය තුළ නිහඬව වර්ධනය වන ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙනි. මුල් අවධියේදීම රෝගය හඳුනාගැනීමෙන් ඔබේ අක්මාව, හදවත, රුධිර වාහිනී සහ අවසාන වශයෙන් ඔබේ වටිනා ජීවිතය ආරක්ෂා කරගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd