කොළඹ එක් ප්‍රධාන පෙළේ පාසලක ආදි ගුරු සංගමයක සමරු කලාපයකට ගුරුවරයෙකු ලියූ ලිපියක කොටසකින් මේ ලිපිය ආරම්භ කරමි.  


කොරිඩෝව දිගේ පැමිණි ආදි ශිෂ්‍යයෙක් ‘‘ආයුබෝවන්’’ කියා පහත් වී මට වැන්දේය.  
‘‘ආයුබෝවන් බොහොම කාලෙකින් දැක්කේ.’’  


‘‘ඔව් සර්. නිවාඩුවට ලංකාවට ආවේ. කොලේජ් එකත් බලලා සර්ලත් හම්බවෙලා යන්න හිතුනා.’’   
‘‘ඔයා දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයිද?’’ ඔහු මට කාඩ්පතක් පිරිනැමුවේය. මම එය කියවීමි.  
‘කැලි​​ෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස්, මහාචාර්ය හා පීඨාධිපති, ඉංජිනේරු විද්‍යාලය පරිගණක හා තාක්‍ෂණ.’  


‘‘ඔයා අපටත්, රටටත් කීර්තියක්. සම්මානනීය මහාචාර්යවරයෙක්, ඒත් මට වැන්දා.’’  
‘‘සර් මහාචාර්යවරයා කියන්නේත් ගුරුවරයෙක්. කරන්නෙ උගන්වන එක. අනික සර්ලා අපිට ඉගැන්නුවේ පොතපතින් පමණක් නොවේ. පොතින් එහා ගිය සාරධර්ම, යුතු අයුතුකම්, මනාව දයාව උපදේශනයෙන් පමණක් නොවේ ආදර්ශයෙන්ද කියා දුන්නා. ඒ ශික්‍ෂණය මේ තත්ත්වයට එන්න උදව් වුණා. පළමු ශ්‍රේණියේ සිට අපට ඉගැන් වූ අපේ ගුරු මව්වරු පියවරු අදත් අපේ වැඳුම් පිදුම් ලබන්න හැම අතින්ම සුදුසුයි.’’  
එය ඇසීමෙන් ගුරුවරයෙකු වශයෙන් සේවා කාලය තුළ මගේ මෙහෙවර සාර්ථකව ඉටු කර ඇති බව සනාථ වී ඇතැයි සිතා බෙහෙවින් තෘප්තිමත් වීමි.  


අපේ රටේ පාසල් පද්ධතිය තුළ සිදුවෙමින් පවතින ශෝචනීය සිදුවීම් කන්දරාව දෙස බලනවිට අනාග​තයේ සන්තුෂ්ටියෙන් යුතුව මෙවැනි සටහනක් තැබීමට ගුරුවරයකුට හැකිවේදැයි සැකයක් මතු නොවේද?  
අසමසම සම්මා සම්බුදුරජාණන් වහන්සේට හැරුණු විට පසඟ පිහිටුවා අප වැඳ නමස්කාර කරන්නේ දෙමාපියන්ටය. දෙවනුව ගුරුවරුන්ටය. ගුරු සේවාව වන්දනීය, පූජනීය උත්තරීතර වූවකි. පාසල පූජනිය ස්ථානයක් බදුය. ගුරුවරයා සැමවිටම විෂය කරුණුවලින් පමණක් නොව, සාරධර්මවලින්, ගුණ යහපත්කමින් බාහිර දැනුමෙන් පරිපූර්ණ විය යුතුය. ගුරුවරයා බහුවිධ චරිත නිරූපණයෙන් සමතෙකු විය යුතුය. වරෙක මවක, පියෙකු විය යුතුය. තවත් වරෙක සහෝදර සහෝදරියක, හිතවතකු හිතවතියක විය යුතුය. වැඩිහිටියෙකු උපදේශකයෙකු වන අවස්ථාද ඇත. හැම විටම ආරක්‍ෂකයෙකුද වේ. තමා වෙත පැමිණෙන දරුවන්ට ආදරය, දයාව, කරුණාව, සෙනෙහස පෑ යුතුය. මාර්ගෝපදේශකයෙකු විය යුතුය. සැබැවින්ම ආදර්ශමත් විය යුතුමය.  


එහෙත් උදෑසනින්ම පාසල් පැමිණ පන්ති කාමරයට වී සිටින දරුවාට බොහෝ ප්‍රමාද වී පැමිණෙන, එමෙන්ම පාසල් හැරීමට පෙරාතුව පාසලෙන් පිට වන ගුරුවරයා දෙන ආදර්ශය කුමක්ද? වෘත්තීය ප්‍රශ්නයක් මත තාප්ප බිත්ති දිගේ වහළයට නගින, ගුරුවරිය ලබාදෙන්නේ කුමන උපදේශකත්වයක්ද? එක් නිලධාරියෙකුට දේශපාලනඥයෙකු කළ තර්ජනයකට මුළු පළාතම පාසල් දොරගුළු ලා හදිසියේ ලෙඩ වන ගුරුවරුන් ජාතියේ දරුවන්ට පෙන්වන ආදර්ශය ශිෂ්ටසම්පන්න සමාජයකට පිළිගත හැකිද? දරුවන් කෙරෙහි වෛරය, ක්‍රෝධය ඉවත ලා මෛත්‍රී, කරුණා, දයා පෙන්වා ආදරයෙන් සෙනෙහසින් කටයුතු කළ යුතු ගුරුවරයා ශිෂ්‍යාවක දූෂණය කරන්නේ නම් එවැන්නන් තවදුරටත් ගුරු වෘත්තියේ තබාගත යුතුද?  


ගුරු භවතුන් සම්බන්ධයෙන් සාකච්ඡාවන මෙවන් අවස්ථාවක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මාහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පුවත්පතකට කළ ප්‍රකාශකයක මෙසේ සඳහන් විය.  


“කොවිඩ් වසංගතය තිබුණත්, අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියම සීයට සීයක්ම ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර්ජාලය ඔස්සේ, තම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ආචාර්ය මණ්ඩලවලට වෙනදාට වඩා තුන් ගුණයකින් විතර වැඩ වැඩියි. එහෙත් මේ දක්වා කිසිම ආචාර්යවරයකු මේ සම්බන්ධයෙන් කිසිම මැසිවිල්ලක් නඟලා නැහැ. ඔවුන් විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය ගැටලුකාරී තත්ත්වයකට ඇද දමන්නේ නැහැ. අපේ ර​ටේ ප්‍රබල වෘත්තීය සමිතියක් වුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය, ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියත්, මේ ගැටලුකාරී සමාජ වාතාවරණය තේරුම් අරගෙන, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා. මේ ප්‍රශ්න අතරේ ලෝකයේ ඕනෑම දියුණු රටක විශ්වවිද්‍යාල මේ අවස්ථාවේ භාවිත කරන ක්‍රමවේද භාවිත කරමින් අධ්‍යාපන කටයුතු නොකඩවා දරුවන් වෙනුවෙන් සලසනවා.”  


මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරන අන්දමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය එහි ආචාර්යවරුන්ගේ කාරුණික අනුග්‍රහයෙන්, අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව සිදු කරගෙන යයි. රටේ වත්මන් තත්ත්වය අනුව එවැන්​නක් අසන්නට ලැබීමත් සියල්ලන්ගේම සතුටට කරුණකි. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට හැමගේම ප්‍රශංසාව හිමි විය යුතුය. ධනවත් දෙමාපියන් මුදල් ගෙවා දරුවන් යවන ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් ද ඔවුන්ගේ ගුරු මණ්ඩලය ලවා මාර්ගගත (Online) ක්‍රමයෙන් අධ්‍යාපනික කටයුතු සිදු කරගෙන යයි. අධ්‍යාපනයට තිත තැබී ඇත්තේ රජ​යේ පාසල්වල ඉගෙනීම් ලැබූ අපේ රටේ මධ්‍යම පාන්තික හා දුප්පත් පවුල්වල දෙමාපියන්ගේ දරුවන්ය. මේ දරුවන් බොහෝ දෙනකුට දුරකථන පවා දෙමාපියන් අරන් දී ඇත්තේ ඉතා අපහසුවෙන්ය. මේ අය අතර සිය කනකර ආභරණ උසස් කර හා ණය තුරුස් වී දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන් අය ද වෙති. මේ අතර රජයේ ගුරු මණ්ඩල ඒ අධ්‍යාපනයත් අතරමග නතර කළේය.  
විදුහල්පති ශ්‍රේණි හා ගුරු ගැටලු රැසක් විසඳා ගැනීම වෙනුවෙන් අපේ රටේ ගුරු වෘත්තීය සංගම් දියත් කළ උද්ඝෝෂණ, වැඩ වර්ජන මාස දෙකක් ඉක්මවා ගොස්ය. මේ ​අතර දිවයිනේ පාසල් දස දහසක පමණ ඉගෙනීම ලැබූ, හතළිස් ලක්ෂයකට ආසන්න දරුවෝ කොරෝනා වසංගතයෙන් වසර දෙකක් තිස්සේ නිවෙස්වලටම හිර වී කොටු වී සිටිති. වෙනදා මෙන් ඔවුන්ට සිය යහළු මිත්‍රයින් හමුවිය නොහැක. සියල්ලන් එක්ව එකට ක්‍රීඩා කළ නොහැක. සාමූහික හමුවීම් නොමැත. විහිළු තහළුවක් කර සතුටු විය නොහැක. පන්තියක් තුළ එක්ව විවිධ ව්‍යාපෘති කිරීමෙන් ජීවිතයට එක්කර ගත් අධ්‍යාපනයට එහා ගිය අත්දැකීම් ඇත්තේම නැත. සිර කූඩුවක මෙන් නිවස තුළට හිර වී දරුවන් ගත කරන කටුක ජීවිතය ඔවුන්ට විශාල මානසික ගැටලුවකි. අසහනයකි. මේ අසුභවාදී වාතාවරණය, දෙමාපිය වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ද තේරුම් ගත යුතුය. මේ විනාශ වෙන්නේ අපේ රටේ අනාගතය භාර වෙන බාල පරපුරයි. පාසල වැසීමෙන් අැරඹූ  Online අධ්‍යාපන ක්‍රමය ද නැවතී මාස දෙකක් ඉක්ම ගොස්ය.  


ගුරු වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට විසඳුම රටේ ආර්ථික තත්ත්වයට සරිලන අන්දමට ලබා දිය හැකි බව ඒ සඳහා කරුණු කාරණා ඉදිරිපත් කරමින් රජය පවසයි.  


වසර දෙකක් තිස්සේ කොරෝනා උවදුරෙන් මුළු රටම හෙම්බත් වී සිටින අවස්ථාවක වසර විසි හතරකට පෙර සිට විසඳී නොමැති ඉල්ලීම් ඉදිරිපත් කරමින් අපේ ගුරු සහෝදරවරු මේ සටන නොනවත්වාම ගෙන යති. මේ ඉල්ලීම් සියල්ලම ඒ ආකාරයෙන්ම ලබාගැනීමට උද්ඝෝෂණ කිරීම, වර්ජනය කිරීම වැරදි යයි අපි කිසිවිටෙකත් නොකියමු. ඒ ගුරු වෘත්තීයේ ඔබ හැමට ඇති වෘත්තීමය අයිතියකි. අපි එයට ගරු කරන්නෙමු.  


එහෙත් ඉතා කරුණාවෙන්, ආදරයෙන් සෙනෙහසින් කියා සිටින්නේ මේ ඒ සඳහා යෝග්‍ය කාලවකවානුවක් නොවන බවය. රටේ මුළු මහත් ආර්ථිකයම අන්තයටම කඩා වැටී ඇත.  


මාරාන්තික කොරෝනා උවදුරින් මුළු රටම වෙලාගෙන තිබේ. අපේ රටේ රත්තරන් දරුවෝ පාසල් අධ්‍යාපනය නොමැතිව මානසිකව ඇද වැටී සිටිති. මෙවන් කාල පරිච්ඡේදයක කුමන් වර්ජන ද? කුමන උද්ඝෝෂණ ද?

මොහොතක් ගුරු සේවය ගැන සිතන්නේ නම් කොතරම් අගනේ ද?   


මේ රටේ සියලුම විශ්වවිද්‍යාලවල ඉගෙනීම් කටයුතු සීයට සීයක්ම අන්තර්ජාලය ඔස්සේ සිදු වෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නිවෙස්වල සිට සිය ඉගෙනීම් කටයුතු සිදු කරගෙන යති. ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල ඉගෙනුම් ලබන ධනය ඇති දෙමාපියන්ගේ දරුවෝ Online ක්‍රමයෙන් නිවසේ සිට ඉගෙන ගනිති. මධ්‍යම පාන්තික සහ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ Online ක්‍රමය නැතිව නිවෙස්වල කාලය මරති. අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ට සෞන්දර්ය විෂය ද ප්‍රායෝගික ලකුණු නැතිව ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිව ලත වෙති. රජය විසින් නොවැම්බර් මස පාසල් විවෘත කළත් වෘත්තීය ඉල්ලීම් සියල්ල ලැබෙන තුරු පාසල් නොයන වග ගුරු සංගම් නායකයෝ පවසති. දරුවන්ට කිසිම අධ්‍යාපනයක් නොමැතිව ගුරුවරු කෙරෙහි දැඩි වෛරයකින් යුතුව රජයේ පාසල්වලට දරුවන් යවන ඇතැම් දෙමාපියෝ මැසිවිලි නගති. කිසිම අධ්‍යාපනයක් නොලබන දරුවන් ගැනවත් සිතා ගුරුභවතුන් නම්‍යශීලී වන්නේ නම් කොතරම් පුණ්‍යකර්මයක් ද?  


රජතුමා තමාගේ දේශයේදී පමණක් පැසසුම් ලබයි. නමුත් උගතා (ගුරුවරයා) දස දෙසින්ම පිදුම් ලබන්නේය. පැසසුම් ලබන්නට හැම ගුරුවරයකුම සුදුස්සෙකු විය යුතු නොවේද?  


ගුරුවරයා ඉටු කරන්නේ ඉතාමත් බැරෑරුම් වූ ජාතික මෙහෙයකි. ඔවුන්ගේ සේවය අපේක්‍ෂිත පරිදි ඉටු කිරීමට ඇති යුතුකම් හා දැරීමට ඇති වගකීම් රාශියකි. මේවා පිළිබඳ සුළු වශයෙන් හෝ හැඟීමක් සෑම ගුරුවරයකුටම තිබිය යුතුමය. ගුරුකම සේවයක් ලෙස සලකන ගුරුවරු අපේ රටේ කොතෙකුත් සිටිති. අනුන්ගේ යහපතම, පරමාර්ථයම උදෙසා ඒ අය ඇප වෙති. කැප වෙති. තමන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට පැමිණෙන දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම හා ඔවුන් පාසල් කාල සීමාව තුළදී රැක බලා ගැනීම ඇතුළු සිය යුතුකම් හා වගකීම් ඔහු සතුය. එවැනි ගුරුවරු දරුවාට කලින් පාසලට පැමිණෙති. දරුවා පාසලෙන් පිට වූවාට පසුව පාසලෙන් පිට වෙති. ඉගෙනීමට දුර්වල ළමයින් වෙතොත් පාසල් කාල සීමාවෙන් පසුව, අතිරේක පන්ති පවත්වා උගන්වති. සිය ගෝලයන් සම්බන්ධව නිරන්තරයෙන්ම විමසිල්ලෙන් යුතුව සොයා බලති. නුසුදුසු ඇසුරක්, නොගැලපෙන පුරුද්දක් වෙතොත් ගෝල බාලයින් ඉන් වහා මුදවා ගනිති. යහමගටම යවති. උපදෙස් දෙති. සොයා බලති. ඒ ‘ගුරුකම සේවයක්’ හැටියට සලකන ගුරුවරුන්ගේ සිරිතයි.  


‘ගුරුකම වෘත්තියක්’ ලෙස සලකා ක්‍රියා කරන්නා එසේ නොවේ. ඔහු සිදු කරන්නේ තමන්ගේ යැපීමට වැටුප් ලබන රක්‍ෂාවකි. ඔහු නිතරම බලන්නේ තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමටය. නැති දේ වුවද දිනා ගැනීමටය. ගුරු ගෞරවය රැක ගනිමින් එහි තමන්ට ඇති යුතුකම් හා වගකීම් ඉටු කරමින් ගුරු සේවයේ යෙදෙන අයට මෙන් මොවුන් හට ගුරුකමේ යුතුකම් හා වගකීම් ගැන එතරම් සැලකිල්ලක් නැත. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ සියලු වරප්‍රසාද, අයිතිවාසිකම් කෙසේ හෝ ලබා ගැනීමටය. දිනා ගැනීමටය. ඒ සඳහා ඔවුහු නිරන්තරයෙන්ම සටන් වදිති. තමන්ගෙන් ඉගෙනීම ලැබීමට බලා සිටින දරුවන්ට කුමක් වුවත් ඔවුන්ට අවශ්‍ය අයිතිවාසිකම් ඉල්ලීම් දිනා ගැනීමයි.  


ගුරුභවතුන්ට වෙනත් කිසිම සේවකයෙකුට නැති නිවාඩු සංඛ්‍යාවක් ඇති බව නොරහසකි. එහෙත් ඕනෑම පාසලක් පරීක්‍ෂා කිරීමේදී වැඩ කරන දිනවල නිවාඩු ගන්නා ගුරුවරු කොතෙකුත් සිටිති. එවන් ගුරුවරුන් උගන්වන දරුවන්ට විෂය කරුණු හා විෂය බාහිර වැඩ අතපසු වේ. යුතුකම් හා වගකීම් නොහඳුන මෙවන් ගුරුවරුන් දෙන ආදර්ශය කුමක්ද? පාසල් තුළ ළමයින් ඉදිරියේ දුම්වැටි උරන ගුරුවරුන් දෙන උපදේශකත්වය කුමක්ද? පාසලට පැමිණියත් අදාළ පන්තියට නොගොස් කැන්ටිමේ, ගුරු විවේකාගාරයේ, කාලය මරණ ගුරුවරුන්ගෙන් ළමයින්ට කුමන් ආදර්ශයක් ද?  


ගුරුකම වෘත්තියක් වශයෙන් සලකන මේ ගුරුවරුන් ඉල්ලීම් දිනා ගත්තත් අයිතිවාසිකම් සියල්ල ලැබුණත් සටන් නවත්තන්නේ නැත. අලුත් ඉල්ලීම් ඉදිරිපත් කරති. වෙනත් වෘත්තිකයන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙති. නිරන්තරයෙන්ම සටනේ යෙදෙති. එවැන්නන්ට අවශ්‍ය ප්‍රශ්නයි. ඒවා සොය සොයා සටන් වදිති. යුතුකම් වගකීම් ගැන තැකීමක් හෝ හැඟීමක් නැත. අධ්‍යාපනය ලැබීමට උදෑසන පාසලට පැමිණෙන ළමයින් සිය දහසක් බලා සිටිද්දී තාප්පෙන් බිත්තියෙන් වහළට ගොඩ වී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නෙත් පාසල් දොරගුළු වසා දමා අසනීප නිවාඩු දමා සටන් පාඨ සහිත විවිධ නාම පුවරු ඔසවාගෙන කට්ට අව්වේ ඝෝෂා කරමින් මහ මග පෙළපාළි යන්නේත් මේ ගුරුවරුන්ය. මේ අය දෙස විමසිල්ලෙන් බලා සිටින අහිංසක දරුවන්ට පාසලේදී විනයත්, සදාචාරයත් ගැන මේ ගුරුවරුන්ට කතා කළ හැකිද?  


මෙහිදී අධ්‍යාපන බලධාරීන්ටද යමක් කිව යුතුය. එවැනි ගුරුවරුන්ට අමුද්‍රව්‍ය සපයමින් තව තවත් ඒ සඳහා ඔවුන්ට පහසුකම් සපයනු වෙනුවට ඔවුන්ගේ ප්‍රශ්න ඔඩු දුවන්නට ඉඩ නොතබා, දුටු සැනින් විසඳුම් ලබාදීම ඉතා වැදගත් වේ.  


එමෙන්ම ගුරුකම සේවයක් කොට සිතා කිසි වරප්‍රසාදයක් අයිතිවාසිකමක් නොතකා උතුම් සේවයක් කරන අහිංසක ගුරුවරුන්ගේ ප්‍රශ්න දෙසත් බලා කඩිනමින් විසඳුම් ලබාදිය යුතුය. ඒ අයට ප්‍රශ්න නැතුවා නොවේ. ජාතියේ දරුවන් වෙනුවෙන් ඇප කැප වී ඒ උතුම් ගුරු සේවය කරති. මේ තරමින්වත් පාසල් පද්ධතියේ පණ කෙන්ද රැකී තිබෙන්නේ එවන් ගුරු දෙවිවරුන් නිසාමය. ඒ අය රැක ගැනීම, සොයා බැලීම, ජාතියේම, රටේම පරම යුතුකමකි.  


කොරෝනා වසංගතය, ආර්ථික අවහිරතා, මඟහැරුණ විට රජය මේ සඳහා වහා ක්‍රියා කළ යුතුය.  
ගුරුකම වෘත්තියක් කොට සලකන මේ රටේ අපේ ගුරු පිරිසට ගුරු සේවයේ අගය වටහා දී ආකල්පමය වෙනසක් ඇති නොකළහොත්, රටේ බාල පරපුරට, අපේ අනාගතයට දෙවියන්ගේම පිහිටයි.

 

 

කොළඹ රාජකීය විද්‍යාලයේ (හිටපු) නියෝජ්‍ය විදුහල්පති
හේරස් ප්‍රනාන්දු