IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්, මවක නම්, පිළිකා රෝගියකු නම්, නිරන්තරයෙන් සිහිවන්නේ දරුවන් ගැනය. දරුවන් ලොකු මහත් වෙනවා දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන් හොඳින් ඉගෙනගෙන ජීවිතය ජය ගන්නවා දකින්න ලැබෙන්නේ නැහැ. විවාහ වෙනවා දකින්න ලැබෙන්නේ නැහැ.’ යැයි සිතමින් පසුතැවෙයි. අද ලොව පුරා පිළිකා රෝගීන්ගේ වර්ධනයක් දකින්න ලැබෙයි. බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු, කේට් මිඩ්ල්ටන් කුමරිය පවා පිළිකා රෝගයට ගොදුරු වී සිටින්නන් බව තහවුරු වී ඇත.
ජීවිතයේ මඟහැරෙන දේවල් ගැන දුක්වන පිළිකා රෝගී කතුන්ට, ඒ දේවල් දකින්න සැලැස්වීමට, ලෝක ප්‍රකට ඡායාරූප ශිල්පිනියක වන ජුලියන් එඩෙල්ස්ටයින් සමත් වූවාය. ඒ, පසුගිය දා ලන්ඩන් නුවර සාට්චී කලාගාරයේ, ‘ගැලරි ඔෆ් හෝප්’ (බලාපොරොත්තුවේ ඡායාරූප දැක්ම) යනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වමිනි. හැටපස් හැවිරිදි ජුලියන්, දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පිනියකි. ඇය ගැලරි ඔෆ් හෝප්’ ඡායාරූප ප්‍රදර්ශනය මගින්, පිළිකා රෝගයේ දෙවැනි අදියරේ පසුවන බ්‍රිතාන්‍ය කාන්තාවන් දසදෙනකු තෝරා ගනිමින් ඔවුන්ට ඔවුන්ගේ අනාගතය දකින්නට සැලැස්වූවාය. ඇය ගත් ඡායාරූප ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණේ ඒවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් (AI) සංස්කරණය කරමිනි. 
ඒ.අයි. තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මේ වනවිට පෙරැළි කිරීමට පටන් ගෙන අවසන්ය. ‘ඒ.අයි.’ තාක්ෂණය විස්මිතය. නොයෙක් විදියේ, නොයෙක් කාර්යය සඳහා කෘත්‍රිම බුද්ධි මෘදුකාංග කරළියට පැමිණ තිබේ. ඒ අතරින් ඡායාරූප සංස්කරණය සඳහා භාවිතයට ගන්නා මෘදුකාංග අතිශය ජනප්‍රියය. කෙනකුගේ කුඩා කාලයේ මුහුණේ පෙනුම යොදා ගනිමින්  ‘ඒ.අයි.’ තාක්ෂණය ඔස්සේ ඒ කෙනාට අවුරුදු 18 දී, අවුරුදු 50 දී හෝ අවුරුදු 80 දී පෙනුම ලබා දීම කළ හැකිය. 
දෙවැනි අදියරේ පිළිකා රෝගීන් යනු පිළිකාව සිරුර පුරා ව්‍යාප්ත වුණු රෝගීන්ය. මෙම තත්ත්වයට ප්‍රතිකර්ම බොහොමයකි. එහෙත් සුව කළ නොහැකිය. ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ඡායාරූපවල සිටින කාන්තාවන්ට ජිලියන් එඩෙල්ස්ටයින් මුණගැසුණේ ‘බ්‍රෙස්ට් කැන්සර් නව්’ නමැති ආයතනය හරහාය. ‘බ්‍රෙස්ට් කැන්සර් නව්’ යනු පියයුරු පිළිකා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කාන්තාවන් දැනුවත් කරන සහ පිළිකා රෝගී කතුන් ප්‍රතිකාර සඳහා යොමු කරන ආයතනයකි. 
ජිලියන්ට මුණගැසුණු කාන්තාවන් 10 දෙනාගෙන් එක් අයකු වන්නේ ලොයිස් හඩ්සන් ය. 58 හැවිරිදි ලොයිස්, මොන්මවුත්ෂයර් පළාතේ කැල්ඩිකොට් නගරයේ පදිංචිකාරියකි. ඇය පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙන බවට මුලින්ම අනාවරණය වූයේ 2022 දීය. ඒ වනවිටත් පිළිකාව අක්මාවට පැතිර ගොස් තිබිණි. මෙම 2024 වසරේ පෙබරවාරියේ, ලෙයිස් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමු කෙරුණු අතර, අසන්න ලැබුණේ සුබ ආරංචියක් නම් නොවෙයි. ඇගේ මොළයේ ද පිළිකා සෛල වර්ධනයක් පෙන්නුම් කරන්න විය. ‘කියන්න කනගාටුයි, ඔබට ජීවත් වෙන්න ලැබෙන්නේ තව මාස 5 යි’ වෛද්‍යවරයා බොහොම සන්සුන්ව ඇයට පවසද්දී, ලොයිස්, තමා සමඟ සිටි තම ආදරණීය සැමියා බැරීගේ අත මිරිකා ගත්තේ කඳුළු පිරි දෙනෙතිනි.  
ලොයිස්ට දුක් වෙන්න බොහෝ දේ ඇත. ඇය කුඩා කල සිට බැලේ නර්තනයට ප්‍රිය කළාය. එහෙත්, ඒ සඳහා අවස්ථාවක් උදා වූයේ නැත. තම සිහිනය ගැන ඇය ඇගේ සැමියා බැරීට පැවැසූ මොහොතේ, ඔහු ‘ඇයිචෙල්සි බැලේ’ නමැති බැලේ නර්තන පුහුණු ආයතනයට යොමු කළේය. 2022 දී පිළිකා !රෝගියකු බව තහවුරු වනවිට ඇය බැලේ පුහුණුවීම් කරමින් සිටියාය. ලොයිස්ගේ සිහිනය 60 වැනි උපන් දිනය දා බැලේ නර්තන ශිල්පිනියක ලෙස නර්තනයක් ඉදිරිපත් කිරීමය. ජීවත් වීමට ඇත්තේ තව මාස කීපයකි. හැටවැනි උපන් දිනයට තව වසර දෙකක් ඇත. ලොයිස්ට, ජිලියන් එඩෙල්ස්ටයින් හමුවුණේ මේ අතරතුරේය. ජිලියන් ගැලරි ඔෆ් හෝප්’ ප්‍රදර්ශනයට එක් කළ ලොයිස් සිටින ඡායාරූපයෙන් නිරූපණය වන්නේ, 60 වැනි උපන් දිනය දා, ලොයිස් බැලේ නර්තනයක යෙදෙන ආකාරයයි. නරඹන්නන් අතරේ ලොයිස්ගේ ආදරණීය සැමියා ද බලා සිටිනු දැකිය හැකිය. ඒ, ලොයිස් ගැන ආඩම්බරයෙනි. ජිලියන්, මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකින් නිර්මාණය කර ඇත්තේ, ලොයිස්, බැලේ නර්තනයේ යෙදෙන ඉරියව් කීපයක් ඡායාරූපයට නගා ඒවා පාදක කර ගනිමිනි. අද 58 හැවිරිදි ලොයිස්ගේ වයස කෘත්‍රිම බුද්ධියෙන් වෙනස් කර ඇත්තේ, තව අවුරුදු දෙකකින්, 60 වැනි වියේ පෙනුම ඇගේ රුවට එක් කරමිනි.
ඡායාරූප ප්‍රදර්ශනයට එක් කෙරුණු තවත් බොහෝ ඡායාරූපවලින් දකින්න ලැබෙන්නේ, පිළිකා රෝගී කාන්තාවන් බොහෝ දෙනකු අධ්‍යාපන ක්ෂේත්‍රයේ දස්කම් විස්කම් පෑ ඔවුන්ගේ වැඩිහිටි දූ දරුවන් සමඟ සිටින අයුරුය. අනාගතයේ තමන්ට මගහැරෙන උපාධි ප්‍රදානෝත්සව ජිලියන් එඩෙල්ස්ටයින්, ඒ.අයි. තාක්ෂණයෙන් නිර්මාණය කර ඇත්තේ අද එම කාන්තාවන්ගේ කුඩා දරුවන් වැඩිහිටියන් බවට පත් කරමිනි. ඕගේ ඔන්වාචුගේ ඡායාරූපයේ දකින්න ලැබෙන්නේ, ඇය ඇගේ පුතු සමඟ පුතුගේ උපාධි ප්‍රදානෝත්වයේදී ගත් ඡායාරූපයකි. ඕගේ කෙන්ට් පළාතේ චැතම් නගරයේ පදිංචිකාරියකි. වෘත්තියෙන් ගුරුවරියකි. පියයුරේ පුංචි ගැටිත්තක් මතුවී ඇය වෛද්‍යවරයකු හමුවීමට ගියේ 2019 දීය. මාස 10 ක් යද්දී වෛද්‍යවරුන් පැවැසුවේ පිළිකාව සිරුර පුරා ඔඩුදුවා ඇති බවය. ඇය පසුගිය සිවු වසර තිස්සේ පිළිකා සෛල මර්දනය කරන එන්නත් ප්‍රතිකාර ලබා ගනී.
පියයුරු පිළිකා රෝගියකු යැයි හඳුනා ගන්නා විටත්, කේටි කෙලී, 2025 වසරේ ඇගේ විවාහය සැලසුම් කර තිබිණි. ඇගේ සහකරු ලියෑම්ය. දෙදෙනා වසර ගණනක් එකට ජීවත් වුවත්, විවාහ වී තිබුණේ නැත. 31 හැවිරිදි කේටි, අට හැවිරිදි පුංචි පුතකුගේ ආදරණීය අම්මාය. පුතුගේ නම තියෝ ය. කේටි, තියෝ සහ ලියෑම් ලිවර්පූර් පදිංචිකරුවෝ වෙති. සුව නොවන උරහිස වේදනාවක් නිසා වෛද්‍යවරයකු හමුවට ගිය කේටි, දෙවැනි අදියරේ පියයුරු පිළිකා රෝගියකු බව හඳුනා ගැනුණි. මේ වනවිට පිළිකාව තවත් පැතිරීම වැළැක්වීමට ඇය ප්‍රතිකාර මාලාවකට යොමු වී සිටින්නීය. ජිලියන් එඩෙල්ස්ටයින්, ඇගේ ඡායාරූප ප්‍රදර්ශනයට එක් කළේ කේටි සහ විලියම් දෙදෙනාගේ මංගල ඡායාරූපයයි. හෙලේනා අවුකේගේ ඡායාරූපයෙන් පිළිබිඹු වන්නේ, ඇගේ පුතු ජෝෂ්ගේ විවාහ මංගල උත්සවයයි. මංගල උත්සවය 2030 වසරේදී සිදුවනු ඇතැයි අනුමාන කෙරේ. ඡායාරූපයේ සිටින්නේ අම්මා සහ පුතා ජෝෂ් පමණි. ඒ ඡායාරූපය දැකීම මට පුදුමාකාර සතුටක්. මම මගේ පුතා එක්ක. එයාගේ මංගල දිනය දා. ඇත්තටම මට හරිම ආඩම්බරයි’ යැයි හෙලේනා කියයි. 
හෙලේනා නිව්පෝට් පදිංචිකාරියකි. ඇය ශාරීරික සුවතා උපදේශිකාවකි. ඇය පිළිකා රෝගියකු බව තහවුරු වූයේ 2021 දීය. පිළිකා රෝගියකු වුවත් ඇය ව්‍යායාම කරමින් ඇගේ සිරුර නිරෝගීව සහ ශක්තිමත්ව තබා ගැනීමට උත්සාහ ගන්නීය. පිළිකා රෝගියකු බව හඳුනා ගැනීමෙන් පසුව ද ඇය මැරතන් ශූරියක වූවාය.
46 හැවිරිදි බෙක් බ්‍රවුන් දක්ෂ කිවිඳියකි. ඇය ජිලියන් එඩෙල්ස්ටයින්ගෙන් ඉල්ලා ඇත්තේ, දරුවන් සමඟ 50 වැනි උපන්දිනය සමරන අයුරු පෙන්වන ඡායාරූපයක් නිර්මාණය කර දෙන ලෙසය. බෙක් බ්‍රවුන්ගේ 50 වැනි උපන් දිනය යෙදෙන්නේ 2028 වසරේය. හාට්ෆෝඩ්ෂයර් පළාතේ සෝබිරජ්වර්ත් නගරයේ පදිංචි ඇයට ආදරණීය සැමියකු සහ ඇයට දියණියෝ දෙදෙනෙක් සිටිති. පියයුරු පිළිකා රෝගියකු බව පළමුවෙන් හඳුනා ගැනුණේ  2021 දීය. ඇය වහා කීමෝ ප්‍රතිකාරවලට යොමුවූවාය. ඇගේ එක් පියයුරක් ඉවත් කිරීම ද සිදුවිය. මාස නවයක් යද්දී වෛද්‍යවරුන් පැවැසුවේ ඇගේ පිළිකාව අස්ථි දක්වා පැතිරී ඇති බවය.

  • ලුසිත ජයමාන්න

බීබීසී ඇසුරිනි.



අදහස් (0)

පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site