
විමලානන්ද හිමියන් තේ වත්තට වල් නාශක යොදයි
දෙනෙත් අඳමුත් සිය ගතත් සිතත් මෙහෙයවා අපූරූ කෘෂිකාර්මික විහාරස්ථාන භූමියක් ගොඩ නංවන හපුවල විමලානන්ද ස්වාමීන් වහන්සේ නව තිස්පනේ හුණුගල් ඔය ශ්‍රී ඥාණෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරති.
කොත්මලේ නව තිස්පනේ, හුණුගල් ඔය ශ්‍රී ඥාණෝදය බෞද්ධ මධ්‍යස්ථානය හෙවත් කවුරුත් හඳුන්වන රජවත්ත පිරිවෙනේ ඇති නිස්කලංක සුවදායී පරිසරය වික්ෂිප්ත වූ මනස යළි ඒකාත්මික කරගන්නට හැකි අපූරු ස්ථානයකි.
හුණුගල් ඔය ශ්‍රී ඥාණෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන හපුවල විමලානන්ද හිමියන් හතළිස් පස් වියැතිය. උන් වහන්සේ වයස අවුරුදු 07 දී පැවිදි ජීවිතයට ඇතුළත් වන්නේ නිරෝගී දරුවෙකු ලෙසය. එහෙත් කල්‍් යත්ම ටිකෙන් ටික උන් වහන්සේගේ දෑසම නොපෙනෙන තැනට පත්වන්නේ බුදු දහමේ පෙන්වන සියලු සංස්කාරයන් අනිත්‍ය බව වඩාත් තහවුරු කරමිනි.
වයස අවුරුදු 21 වනවිට විමලානන්ද ස්වාමීන් වහන්සේගේ ඇස් දෙකේ පෙනීම එන්න එන්නම අඩු වූ අතර උන්වහන්සේ කොළඹ ජාතික රෝහලෙන් මෙන්ම පෞද්ගලික රෝහල්වලින්ද ප්‍රථිකාර කිරීමට යන්නේ සිය දෙනෙත සුව කරගැනීමේ බලාපොරොත්තුවෙන් ය. ලංකාවේ සතර අත වෛද්‍යවරු සොයා යන හපුවල විමලානන්ද හිමියන් අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන තිස්ස පතිරණ, උපාලී මෙණ්ඩිස්, චරිත් ෆොන්සේකා, වෛද්‍ය සීමන් වැනි ප්‍රවීණයන්ගේ අධීක්ෂණයට ලක් වුවද ඔවුන් සියල්ලන්ගේම තීරණය වී ඇත්තේ හපුවල විමලානන්ද ස්වාමීන් වහන්සේගේ ඇස් දෙක සුව කළ නොහැකි බවයි.
බටහිර වෛද්‍ය විද්‍යාව මගින් සිදුකරන වෛද්‍ය ප්‍රථිකාර මගින් සිය අසනීප තත්ත්වය සුව කරගැනීමට නොහැකි බව අවබෝධ කර ගත් හපුවල විමලානන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේද ප්‍රතිකාර කෙරෙහි විශ්වාසය තබන්නේ සිය ඇස් දෙක සුව කර ගැනීමේ තිර අදිටනින් යුක්තවය. පල්ලේකැළේ ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පවා ලැබූ උන්වහන්සේට එයින්ද නිසි ප්‍රථිපල නොලැබුවේ සංසාරයේ කොතැනක හෝ තමන් සිදුකළ කර්මයන් පටිසන්දීම නිසාදෝ යන සිතිවිල්ලද උන් වහන්සේගේ සිතට නංවමින්ය.
දෑස නොපෙනුනද ඒ ගැන නොසිතමින් සිය පැවිදි ජීවිතය හා විහාරස්ථානයේ අභිවෘද්ධිය පිළිබඳව කරුණු කී හපුවල විමලානන්ද හිමියන් සිය හඬ අවදි කළේ මෙලෙසිනි.
‘‘කුඩා කාලයේදී මගෙ ඇස් දෙක ඉතා හොඳින් පෙනුණා. ඒත් වයස අවුරුදු විස්ස විතර වෙද්දි මගේ ඇස් පෙනීම එන්න එන්නම අඩු වුණා. ඉන් පස්සේ ලංකාවේ තියෙන සෑම ඉස්පිරිතාලෙකටම ගියා. ලංකාවේ ඉන්න ජනප්‍රියම අක්ෂි විශේෂඥයන්ගෙන් ප්‍රතිකාර ගත්තා. නමුත් මට සුවයක් ලැබුණේ නැහැ.
ඔවුන්ගේ නිගමනය වුණේ මගේ ඇස් දෙකම සුව කරන්න බැහැ කියලා. ස්නායු ආබාධයක් නිසා මගේ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙනවා කියලා තමයි ඒ අයගේ නිර්දේශය වුණේ. එතැන් පටන් මම ආයුර්වේද ප්‍රතිකාරවලට ගියා. නමුත් ආයුර්වේද ප්‍රතිකාර තනියම කරගන්න බැහැ. කලට වෙලාවට බෙහෙත් ටික මගේ ඇස් දෙකට දාන්න ඕනෑ. ඒ වගේම කසාය වගේ දේවල් හදා ගන්න ඕනෑ. නමුත් ඒවා හරියට කරගන්න මට හැකියාවක් නැහැ. ඒ නිසා ආයුර්වේද ප්‍රතිකාර මගින්ද නිසි සුවයක් මට ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අනතුරුව මම මේ ජීවීතයේ අනිත්‍ය මෙනෙහි කරන්න පටන් ගත්තා. අනතුරුව මම සාමාන්‍ය ජීවිතයට හුරුවෙන්න ගත්තා.
මේ පන්සල් පරිසරය හදාගන්න මට ලොකු ආශාවක් තියෙනවා. ඒ නිසා මම මේ වත්තේ වවන්න ගත්තා. පන්සල් වත්තේ එළවළු ටිකක් හදාගෙන තියෙනවා. එ් සියල්ල කරන්නේ මමයි. නව තිස්පනේ කියන්නේ එළවළුවලට ජනප්‍රිය ප්‍රදේශයක්. හොඳට එළවළු වැවෙනවා. ගෝවා, මාලු මිරිස්, අමු මිරිස් හොඳට වැවෙනවා. මගේ ඇස් දෙක පෙනුණේ නැති වුණාට මගේ හිත හොඳට හයියයි. මට ඕන වැඩක් කරන්න පුළුවන්. තේ වත්තේ තියෙන වල් පැල උදුරලා දාලා තේ ගස් ටිකට හොඳට සාත්තු කරලා බලා කියාගෙන ඉන්නවා. එතකොට බය නැතුව ඉන්න පුළුවන්. මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ විහාරස්ථානයට අයත් දායක පවුල් ඉන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ ඇත්තොත් බොහොම දුක් මහන්සියෙන් ජීවත්වෙන කොට්ඨාසයක්. ඔවුන්ටද හරි හමන් ස්ථිර ආදායම් ඇත්තේ නැහැ. යම් යම් දවස්වල දානේ නොලැබෙන අවස්ථාත් තියෙනවා. වත්තේ හරි හමන් දෙයක් වවලා කරලා තිබ්බොත් බැරි වෙලාවකට අපට ප්‍රයෝජන ගන්න පුළුවන්.
අනෙක් කාරණය තමයි මේ වත්තේ මම නාරං වගාවක් පටන් අරන් තියෙනවා. නාරංවලට බොහෝම හොඳ ඉල්ලුමක් වෙළෙඳපළ තුළ තියෙනවනේ. අනෙක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත දොඩම් වගාවක්ද මම පන්සල් වත්තේ ආරම්භ කරලා තියෙනවා.
මේ පන්සල් වත්තේ නෑ කියන්න දෙයක් නැහැ. කහ, ඉඟුරු සියල්ල මම හදලා තියෙනවා. ඊට අමතරව කෙසෙල් වගාවක් පන්සල් වත්තේ කරගෙන යනවා. මම මේ හැම දෙයක්ම කරන්නේ නොපෙනෙන ඇස් දෙකක් තියාගෙන කියන කාරණය අමතක කරන්න හොඳ නැහැ. අපි මේ ලෝකෙට ඉපදුනා නම් අපි ජීවත් වෙන්න ඕනෑ. ඒ ජීවත් වෙන්න ඕන නිකම් නෙවෙයි. දැහැමෙන් සෙමෙන්. අපි ධාර්මික විය යුතුයි. අපි ධාර්මික නම් ඒ ධර්මයම අපිව ආරක්ෂා කරනවා කියන කාරණය අපේ බුදුරජාණන් වහන්සේම “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ කියලා දේශනා කරලා තියෙනවානේ.
ඉදිරි කාලය මගේ ජීවිතේ අඳුරු කාලයක් බවට පත්වේවි. මොකද ඇස් දෙක එන්න එන්නම දුර්වල වෙනවා. දැනටම අඟල් හය හතක දුරකින් පේන දෙයත් පේන්නේ ඉතා අපහැදිලිවයි. එතනින් එහාට මට කිසිම දෙයක් පේන්නේ නැහැ. තව අවුරුදු දෙක තුනක් යනකොට මගේ ඇස් දෙකම සම්පූර්ණයෙන්ම පේන්න නැතුවම යාවි. එතකොට මට සලකන්නත් කවුරුත් නැති වේවි. මගේ අදහසක් තියෙනවා මේ පන්සල් පරිශ්‍රය ආරණ්‍යයක් කරන්න. මේ පන්සල් භූමියේ භාවනා කුටි හදලා භාවනායෝගී භික්ෂූන් වහන්සේලා ඒ කුටිවලට වඩම්මන්න මට ලොකු ආසාවක් තියෙනවා. ඒ නිසා භාවනා කුටි හදා ගන්න කවුරුන් හෝ උදව් කළොත් මගේ ජීවිතයේ අවසාන කාලය තවත් භික්ෂූන් වහන්සේලා සමග භාවනායෝගීව ගෙවා දමන්න මට පුළුවන් වේවි. ඒ සඳහා උදව් කරන්න කවුරුහෝ කැමති නම් මට කතා කරන්න. මගේ දුරකථන අංකය 0542240230. සියලු දෙනාට තෙරුවන් සරණයි.
සිසිර ලලිත් කුමාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කණගාටුදායක කථාවක්... ඒත් ගොවිතැන් කිරීම භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පනවා ඇති විනය ඉක්මවා කටයුතු කිරීම නොහික්මුණු ආදර්ශමත් නැති දුෂ්චරිත ක්‍රියාවක්...
ඔබ වහන්සේගේ දුර්වල වෙමින් පවතින ඇස් ඔය කෘමිනාශක , වල්නාශක වලට නිරාවරණය වෙන්න හොඳ නැහැ... මේ ෆොටෝ එකෙ තියෙන විදිහට හුළඟට ඉතා සියුම් දියර අංශු විසිරෙනවා ඔය නොසල් එකෙන්... එව්ව එනවා ඔබ වහන්සේගේ පැත්තට. අනෙක දෑත්වල තැවරිලා පසුව මූණේ, ඇස්වල ශරීරයේ ඒවා තැවරෙන්න පුළුවනි...
අයියෝ... වල් නාශක, කෘමි නාශක දෙකම සත්තු මරනවා. ඒක දැනගෙනනෙ ඔව්වා කරන්නේ. හාමුදුරුකෙකෙකුට සුදුසුයිද?
බුදුදහමට අකැප දෙයක්. මහණ වුනේ කුමක් අරභයාද? ගොවිතැනට හිත යොදනකොට මහණදම් රකින්නේ කෙසේද
හාමුදුරුවන්ට මොකටද ගොවිතැන්...? බුදු දහමේ එහෙම දෙයක් කියලා නැහැනේ... අනික ඇස් පේන්නේ නැතුව කොහොමද ගොවිතැන් කරන්නේ..? ඔය වල්නාශක ඇස්වලට හොඳ නැහැනේ මේ හාමුදුරුවෝ නිකන් සෝබන වැඩ කරන්නේ බුදුදහමට අනුව...
ගඟුල වෙද මැදුර .පානදුර වෙරළබඩ නගරයේ පිහිටා ඇත
පූජ්‍ය හපුවල විමලානන්ද ස්වාමින්වහන්ස, ඔබේ භික්ෂූන් වහන්සේලාගේ පන්සලේදී වෙනත් භික්ෂූන් වහන්සේලාට භාවනාව පුරුදු කිරීමට සැලැස්වීමේ ඔබේ අභිප්‍රාය ඉතාමත් උතුම් හා ප්‍රසංසනීයයි . භාවනාව තනිවම කිරීමට සැමවිටම අමාරුයි. එවැනි ආගමික කර්තව්‍යයන්හි දුෂ්කර කොටස් අන් අයට පැවරීම දැන් සම්මත බාහිරින් ලබා ගැනීමේ පුරුද්දයි. කෙසේ වෙතත්, වන්දනා චාරිකා සඳහා දුර බැහැර රටවලට යෑමේ වඩාත් අභියෝගාත්මක කාර්යයන් ඔබ සමඟ තබා ගත හැකිය. ඒ පිළිබඳ කිසිම සැකයක් නෑ. "ශාසනය" සඳහා ඔබ කරන සේවාවන් අඛණ්ඩව කරගෙන යාමට කරුණාකර "ශ්‍රී ලංකා ගොවි ධර්ම නිකාය" ආරම්භ කරන්න. නිවන් මාවතේ තේ පඳුරු වලින් පෙල ගැසීමේ සංකල්පය ඔබ ඉතා ඉතා හරිත, අපූරු අදහසකි. එය ලොව පුරා හරිතයන්ගේ අවධානයට ලක් විය හැකිය. ඔබ කී පරිදි මැන්ඩරින් වල සැපයුම සහ ඉල්ලුම හොඳින් නිරීක්ෂණය කිරීම අවශ්‍ය වේ. හෙට වෙළඳපොල බලවේග කුමක් කරයිද කවුද දන්නේ? "ශාසනය" බේරා ගැනීම සඳහා ඔබ මේ සියලු කෘෂිකාර්මික හරිත දේ කරන බවට සිතීම ගිහියන් අපව සතුටට පත් කරයි. සාදු, සාධු අබ සරණයි
එක එක පක්ෂ වලට කඩේ යනවාට වඩා නම් හොඳ වැඩක්...
අවස්ථා කිහිපයකදිම රජයෙන් පන්සල් දියුණු කරන්න දුන් ආධාර වලට වෙච්චි දෙයක් නෑ.
සුබද්‍රගේ අබද්‍ර වචනය යන කථාවේ තේරුම කියල දෙන්ඩ ඕනේ. සුබද්‍ර යනු ගිහි ජීවිතේදි කරණ වෑමියෙක්. එම බික්ෂුවට උවමනා වෙනවා සල්ලි හම්බ කරලා බුදු හාමුදුරුවන්ට දානයක් දෙන්ඩ. එම බික්ෂුව මිනිස්සුන්ගෙ කොන්ඩෙ කපලා මුදල් වෙනුවට දානයට අදාල කලමනා එකතු කරා ගත්තා. පසුව දානේ හදලා බුදු හමුදුරුවොන්ට දානෙ සදහා ආරාධනා කරාට පසුව බුදු හාමුදුරුවො වැඩල එම දානය ප්‍රථික්ශේප කලා. අන්න එහෙම දෙයක් ප්‍රථිෂේප කිරා නම් මෙහෙම වගා කරන එක, වල් නාශන ගහන එක අද බුදු හාමුදුරුවෝ දැක්කානම් මොනව හිතෙයි ද ?