IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ක්‍රිකට් සහ බදු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ඉතිහාසයේ සිටම ක්‍රිකට් පරිපාලනයේ ඇතැම් තීරණ සමග ගැටීම නුහුරු නුපුරුදු අළුත් දෙයක් නොවේ. එම බොහෝ ගැටලු‍වලට ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ කොන්ත්‍රාත් ගිවිසුම් සහ ගෙවීම් ප්‍රධාන සාධකය බවට පත්විය.

අර්ජුන රණතුංග ගේ සිට පසුගියදා අන්තර් ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් දිමුත් කරුණාරත්න දක්වාම කටයුතු කළ ක්‍රිකට් නායකයෝ අවස්ථාවෙන් අවස්ථාවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සමග ගැටුම් ඇති කරගත්හ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර ගේ සිට ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නායක අර්ජුන රණතුංග, මෙරටින් බිහිවූ සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා, හිටපු නායකයන් වන සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න වාර්ෂික ගිවිසුම් සහ වෙනත් ගෙවීම් සම්බන්ධයෙන් ඇතිකරගත් ගැටුම් වඩාත් කැපීපෙනුණි. එවැනි ගැටුම් හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයන් තරග සංචාරවලින් ඉවත් වූ අවස්ථා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තිබේ. එම කිසිදු අවස්ථාවක දී ක්‍රීඩකයන් අධිකරණය දක්වා නොගිය බව ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ දැනුම ඇත්තෝ පවසති.

එම ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම්වල නායකයා වන චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ක්‍රීඩකයන් ගේ ගෙවීම්වලට බදු අයකිරීමේ ගැටලු‍වක් හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ද වගඋත්තර පාර්ශ්වයක් බවට පත්කරමින් පසුගිය 18 වැනිදා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීම මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ. මෙම පෙත්සමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු විධායක කමිටුව වගඋත්තරකරුවන් කළ ද ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර කිසිදු ගැටලු‍වක් නොමැති බව දැන ගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට යොමුවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කළ බවද දැන ගන්නට ලැබේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රීට් ආඥාවක්   නිකුත් කරන ලෙස ඉල්ලා

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම්වල නායකයා වන චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළහ.

එම පෙත්සම අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අතර කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා නැවත එම පෙත්සම කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙපළ සිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයන් සහ විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගිය ජනවාරි මස 17 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයන් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කර ඇති බවත් චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයේ ගොනුකර ඇති පෙත්සමෙන් අධිකරණයට දැනුම් දී තිබේ. එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණියයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිදු අවස්ථාවක සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තයින්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයන් නොවන බවද එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් දැඩි අගතියකට පත්ව ඇති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය සහ එම තීරණයත් සමග ඔවුන් ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා එම පෙත්සමෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

එම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

1983 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් වරම් හිමිකර ගැනීමේ සිට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනය සමග ලිඛිත ගිවිසුම් අත්සන් කිරීම සිදුවුණේ 1996 ලෝක කුසලාන ශූරතාවලියේ ශූරයන් බවට පත්වීමෙන් අනතුරුව බවත්, එතැන් සිට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත්තුව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කටයුතු කළ බවත්, අදාල පෙත්සමේ සඳහන් කර තිබේ.

වර්තමාන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය අනුව ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තිබීම නිසා ඔවුන්ගෙන් බදු කපා හරින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් වලින් බදු කපා හැරීම ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා සිය පෞද්ගලික කාරණයක් වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර නොමැති අතර, කොන්ත්‍රාත් ගිවිසුමට වර්තමානය ඇතුළත්ව සිටින සියලු‍ම ක්‍රීඩකයන් සහ අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුමට ඇතුළත්වන සියලු‍ම දහස් ගණන් වන ක්‍රීඩකයන් වෙනුවෙන් මෙම පෙත්සම ගොනුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙවන ගෙවීම් වලට පමණක් නොව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුලත්ව සිටින ක්‍රීඩිකාවන් කීපදෙනෙක් ද වර්තමාන ආණ්ඩුවේ මෙම බදු දැලට හසු වෙනවාට සැක නැත. ඒ අනුව අනාගතයේ දී ඇතැම් විට චමරි අතපත්තු ඇතුළු ක්‍රීඩිකාවන් කීපදෙනෙක් ද එම තීරණයට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමේ වැඩි ඉඩකඩක් තිබේ .

සස්මින් ගමගේ



අදහස් (0)

ක්‍රිකට් සහ බදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site