- වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය

නිරෝෂාන් ප්‍රේමරත්න

දැඩි නියඟය සහිත එල්නිනෝ තත්ත්වයට කල් තියා සූදානම් වී අවශ්‍ය කරන සමාජ සුබසාධන පහසුකම් ලබාදීමට අසමත් වුවහොත්, අදාළ ප්‍රදේශවල ජීවත් වන වයස අවුරුදු පහට අඩු සහ වයස අවුරුදු දහහතට අඩු කණ්ඩායම් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි.

එල්නිනෝ තත්ත්වය මත ආහාර නිෂ්පාදන ධාරිතාව පහත වැටීමත්, ඒ හේතුවෙන් ගොවි ජනතාවගේ ආදායම අඩුවීමත් හේතුවෙන් ජනතාවට පෝෂ්‍යදායි ආහාර ලබාගැනීමේ අවස්ථාව අහිමිවීම මීට හේතු වන බව  එම සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

එබැවින් මෙම ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු පහට සහ 17 ට අඩු දරුවන් සඳහා නිසි පෝෂණ පදාර්ථ සහිත ආහාරවේල් ලබාදීමේ වැඩසටහන් ආරම්භ කිරීම මගින් මෙම ගැටලු‍වෙන් මිදීමට හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. අවුරුදු පහට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක නොවන බැවින්, මෙම තත්ත්වය කෙරෙහි රජය විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය. 

එසේම ගර්භණී හා කිරිදෙන මව්වරුන්, බෝ නොවන රෝගවලින් පීඩාවට පත්වන වැඩිහිටියන් සඳහා ද විශේෂ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම පවසයි.

එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ සෞඛ්‍ය කාර්ය සාධක බළකායක් පිහිටුවීම අත්‍යවශ්‍ය බව ද, හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.