නිලු‍කා කුමරතුංග

කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කරමින් පවතින දිගු පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම සඳහා ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට අස්සන් කරනු ලැබීය. 

මෙම ඓතිහාසික අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය අතර අත්සන් තැබුණි.  

මේ යටතේ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සායනික කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන්, පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින K.D.U ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී ද හෘද සැත්කම් සිදුකිරීමට හා විශේෂඥ ප්‍රතිකාර ලබාදීමට අවකාශය සැලසෙනු ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින K.D.U ශික්ෂණ රෝහල සතුව නවීන ශල්‍යාගාර, දියුණු වෛද්‍ය උපකරණ හා ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් පැවතිය ද ඒවායෙන් පූර්ණ උපයෝගීතාවක් සාක්ෂාත් කරගෙන නොමැති බව නිරීක්ෂණය වී ඇති අතර, මෙම ගිවිසුමට මග විවර වී ඇත්තේ එම පසුබිම යටතේය. 

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එම ගිවිසුමට අත්සන් කළෝ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර්වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා,  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය අංශයේ සම්පත් වර්ග කිරීමකින් තොරව පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවෙන මෙම වැඩපිළිවෙළ වැදගත් හැරවුමක් ලෙස හැඳින්විය හැකි බැව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.