සුජිත් හේවාජුලිගේ
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය සුරේන් බටගොඩ ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට සඳුඳා (31) කැඳවා ඇත.
ඔහු එම ධූරය දැරූ කාලයේ සිදුකෙරුණු ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් එහිදී ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇතැයි, අදාළ කොමිසමේ නිලධාරියෙක් “ඉරිදා ලංකාදීප”යට පැවසීය.
සුරේන් බටගොඩ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් 2015 ජනවාරි මාසයේ දී පත් කරනු ලැබීය. ඉන්පසු අමාත්‍යාංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ලෙස වෙනස් වූ පසුව ද 2019 නොවැම්බර් තෙක් හෙතෙම අදාළ ධූරයේ කටයුතු කළේය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, පාඨලී චම්පික රණවක, කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්නිආරච්චි හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඇතුළු පිරිසකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කොමිසම විසින් විගණන කොමිසමේ සාමාජිකයන් තිදෙනකුගෙන් ද පසුගිය 24 වැනිදා ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.
කොමිසමේ වාර්තාව ලබන ඔක්තෝබර් මාසයේ දී පමණ බාරදීමට නියමිතව ඇතත්, තවදුරටත් විමර්ශන පැවැත්වීමට ඇති හෙයින් වාර්තාව බාරදීම තවදුරටත් පමාවනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ගේ සභාපතිත්වයෙන් යුතු කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරති.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ජනාධිපති කොමිෂන් සභාව පසුගියදා පත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd