සුජිත් හේවාජුලිගේ

විවිධ නීතිමය ගැටලු‍ ගණනාවක් පවතින හෙයින්, ඒවා නිවැරදි කර ගන්නා තෙක් රටට ගැළපෙන පළාත් සභා ඡන්ද ක්‍රමය සකස් කරගැනීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අප පළාත් සභා සඳහා නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය විජිත හේරත්ගෙන් කළ විමසුමක දී හෙතෙම පැවසුවේ, පළාත් සභා සඳහා නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට නීතිමය ගැටලු‍ කීපයක් හරස් වී පවතින හෙයින් ප්‍රථමයෙන් ඒවා නිරවුල් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

සීමා නිර්ණය සම්බන්ධ ගැටලු මෙහිදී ප්‍රධාන තැනක් ගන්නා බවත්, ඒවා නිරාකරණය කරගැනීමට ඉදිරියේ දී යම් යම් සංශෝධන ගෙන ඒමට සිදුවනු ඇති බවත්, ඔහු සඳහන් කළේය.

පළාත් සභා සඳහා නව ඡන්ද ක්‍රමයක් ඉදිරිපත් කිරීමේ දී මතුවන ප්‍රායෝගික ගැටලු‍ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යම් යම් එකඟතාවන්ට පැමිණ ඇති බව පැවසූ අමාත්‍යවරයා, එම එකඟතා සමග ඉදිරියට ගමන් කර නිශ්චිත තීරණ ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද පැවසීය.

මේ අතර තරුණ නියෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ තාරුණ්‍ය සඳහා වන සංසදයේ සාමාජිකයන් ලබන මස මුල හමු වී සාකච්ඡා පැවැත්වීමට අදහස් කරගෙන ඇතැයි ද, කමිටුවේ අවසන් වාර්තාව මේ වසර අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද, හෙතෙම සඳහන් කළේය.  

මේ අනුව පළාත් සභා ඡන්දය බොහෝ දුරට ලබන වසරේ දී පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ පළාත් සභා ඡන්දය පවත්වන ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ලැබුණු පසු එය අධ්‍යයනය කර පළාත් ඡන්දය පැවැත්වීමට කටයුතු කරනු ඇති බවයි. 

පළාත් ඡන්දය කල්දැමීමට රජයට කිසිදු වුවමනාවක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ ඇතුළු තවත් පාර්ශ්ව ගණනාවක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට බලපෑම් කරමින් සිටියි.

පළාත් සභා නවයේ ඡන්ද වසර දහයකට වැඩි කාලයකින් පවත්වා නොමැති අතර, මේ හේතුවෙන් සියලු‍ම පළාත් සභාවල පාලනය පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.