ගයාන් සූරියආරච්චි

මෙම වසර මුල සිට මේ දක්වා අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 500 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩී. ජේ. පී. සේනාධිර පැවසීය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ඉකුත් 25 දින සිදුකළ මෙහෙයුම්වලින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් ධාවනය කළ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 9 දෙනකු අත්අඩංගුවට ගත් බව ද සේනාධීර කියා සිටියේය.

මේ වන විට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට දැනුම් දීමෙන් අනතුරුව බස් රථ මාර්ග ධාවන බලපත්‍ර 500 කට අධික ප්‍රමාණයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පොලිස් රථවාහන කොට්ඨාසය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම මෙහෙයුම් සිදුකරන අතර, විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මාස තුනක කාලයක් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ත්‍රිරෝද රථ ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේ දී මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරනු ලබන බවට ලැබී ඇති පැමිණිලි අනුව, එවැනි ත්‍රිරෝද රථ රියැදුරන් ද අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.