එජාප සජබ සාමාජිකයන්ට සාධාරණය ඉටුකරන මගක්

දයාසීලි ලියනගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.  

පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක යන මහත්වරුන් මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ සිටිති. ඉදිරියේ දී පක්ෂ දෙක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙම කමිටුව සාකච්ඡා කරනු ඇතැයි සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙක් කීය.  


මෙම පක්ෂ දෙක සඳහාම සිටිනුයේ එකම ඡන්දදායක පිරිසක් වන නිසා පක්ෂය තෝරා පාක්ෂිකයන් පත්වී සිටින අසීරුතාවයෙන් ගැලවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියේ දී කටයුතු කළයුතු ආකාරය මෙම කොමිටිය මගින් විමර්ශනය කරනු ලබන බවද ඔහු ප්‍රකාශ කළේය.  


එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක්ව කටයුතු කිරීමක් සිදු නොවන බවද ඔහු කීය.