• මහාධිකරණ විනිසුරු පදවි 10ක්
  • අභියාචනාධිකරණ විනිසුරු පදවි 5ක් අලු‍තින්

ප්‍රේමකීර්ති රණතුංග

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ ධුර කාල වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය මගින් නියම කර ඇති අතර, එය වෙනස් කිරීමට එම වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුය.               

සෙසු අධිකරණ තුනෙහි විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම පනත් සංශෝධනයකින් සිදුකළ හැකිය. මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ඉකුත් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ අතර, දැනට110ක් ව සිටින මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව120ක් දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව තවත් පස් දෙනකුගෙන් ද, ඉහළ නැංවීමට රජය එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය .

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු එයට එරෙහිව මෙරට ඕනෑම පුද්ගලයකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමේ අවස්ථාව හිමිවෙයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන යෝජනාව ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එනදා පාර්ලිමේන්තුව අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නීතිඥ සංගම් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ දැනටමත් තීන්දු කර ඇත. මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන පාදයාත්‍රාවක් පැවැත්වීමට ද සමගි ජන බලවේගය තීන්දු කර තිබේ .