සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකාවේ වී අස්වැන්න (මහකන්නය) පසුගිය වසර හයක කාලයේදී මෙට්‍රික් ටොන් හාර ලක්ෂ පනස් දෙදහසකින් (452,000) පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

පසුගිය 2019 - 2020 මහකන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3,197,000 ක්වූ නමුත් 2024 - 2025 මහකන්නය වනවිට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2,745,000ක් දක්වා අඩුවන බව මහාචාර්යවරයා කීය.
ආර්ථික තත්ත්වය හමුවේ ප්‍රමාණවත් පොහොර සහ කෘමිනාශක යෙදීමට නොහැකිවීම හා විවිධ ස්වාභාවික උපද්‍රව අස්වැන්න අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නට ඇතැයි, කෘෂි විශේෂඥයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ කාලයේ දී වී වගා කෙරුණු හෙක්ටයාර් සංඛ්‍යාව වැඩිවී ඇත.

පසුගිය 2019 - 2020 වසරවලදී (මහකන්නය) හෙක්ටයාර් 752,000ක වගා කර තිබූ අතර, 2024- 2025 මහකන්නයේ දී එම හෙක්ටයාර්  ප්‍රමාණය ලක්ෂ අටක් දක්වා වැඩිවන බව ද මහාචාර්යවරයා පැවසීය.

එසේම හෙක්ටයාරයකින් ගන්නා වී අස්වනු ප්‍රමාණය මේ කාලයේ දී සියයට 19කින් අඩුවී ඇති බව පෙන්වා දෙන හෙතෙම, 2019 - 2020 මහ කන්නයේ දී හෙක්ටයාරයකට කිලෝ 4,821ක් ලබාගෙන ඇතත්, එම ප්‍රමාණය 2024 - 2025 මහ කන්නයේ දී කිලෝ 3,914ක් දක්වා අඩුවන බව  ප්‍රකාශ කළේය.

මේ අතර මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා රුපියල් කෝටි 3360ක   ධාන්‍ය සහ ඇඹරුම් ආශ්‍රිත ද්‍රව්‍ය ආනයනය කර ඇති බවත්, පසුගිය වසරේ මුල් මාස පහේ දී ආනයනය කර තිබුණේ රුපියල් කෝටි 2,199ක් වටිනා ධාන්‍ය සහ ඇඹරුම් ආශ්‍රිත ද්‍රව්‍ය බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කීය.

මේ අනුව ධාන්‍ය හා ඇඹරුම් ආශ්‍රිත ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වැයකර ඇති මුදල සියයට පනස් දෙකකින් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වේ.