• අවම වශයෙන් කොවිඩ් රෝගියෙක් සුවය ලබා නිවසට පැමිණි පසු සති දෙකක්වත් පෙර මෙන් මහන්සි වී වැඩ කිරීම යෝග්‍ය වෙන්නේ නැහැ.

 

​“කොරෝනා හැදුනට පස්සේ මට දැන් වෙනදා වගේ මහන්සි වෙලා වැඩ කරන්න බැහැ. ඇඟට හරිම තෙහෙට්ටුයි. පඩිපෙළක් නගින්න බැහැ, කතා කරගන්න බැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ.”


​“කොරෝනා හැදුනට පස්සේ මගේ කන් ඇසීම, ඇස් පෙනීම දුර්වල වෙලා. දියවැඩියාව, පෙෂර් මට කලින් තිබුණේ නැහැ. දැන් ඒ රෝගත් මට ඇවිල්ලා.”


කොවිඩ් වැළඳී සුව වූ පිරිසගෙන් සුළුතරයකට හැරෙන්නට වැඩි දෙනකුගෙන් ඔබට මෙවැනි දේවල් ඇසීම සුලබ කරුණකි.


කොවිඩ් රෝගය වැළඳී සුවවූ පසු එතනින් සියල්ල අවසන් වෙනවාද? බොහෝ දෙනා එලෙස සිතුවද කොවිඩ් සුළුවෙන් තැකුවද එහි ඔබ නොසිතන භයානක පැතිකඩක් මේ වනවිට අපේ රටේ රෝගීන්ගෙන්ද වාර්තා වීම සහ එය ශීඝ්‍ර ලෙස වර්ධනය වීම ලාංකික අපට ඉදිරියේදී අත්විඳින්නට සිදුවන තවත් දරුණු තත්ත්වයකි.
කොවිඩ්-19 වයිරසය යනු ලෝකයම මුහුණ දෙන අලුත් අභියෝගයකි. ලොව ධනවත්ම රටවල් පවා දණින් වැට්ට වූ කොරෝනා වයිරසය වසර 2කට අධික කාලයක් පුරාවට මුළු ලෝකයම ආක්‍රමණය කරමින් බිලිගත් ජීවිත ගණන කෝටි ගණනකි. තවමත් ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් සිටින්නේ කොවිඩ් මාරයාගේ දරුණුතම අවදියකට මුහුණ දෙමිනි.


තවමත් නිශ්චිත විසඳුමක් අවසානයක් නැති කොරෝනා වයිරසය පිළිබඳ ලොව බොහෝ රටවල් ගතවන සෑම මොහොතකම සිදුකරන බොහෝ පරීක්ෂණ නිරීක්ෂණ මගින් හෙළි වී ඇත්තේ මෙහි දරුණුතම පැතිකඩට ඉදිරියේදී ලෝකවාසියාට මුහුණදීමට සිදුවන බවය.


එම පරීක්ෂණයන් මගින් කොරෝනා වැළඳී සුව වුවත් එම රෝගීන්ට මුහුණ දීමට සිදුවන භයානක පැතිකඩක් පිළිබඳව නවතම තොරතුරු පසුගිය දිනවල වාර්තා වූයේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානසික රෝග විද්‍යාඥයන් පිරිසක් කළ අධ්‍යයනයකදීය.


කොරෝනා වසංගතයෙන් දිවි ගලවාගත් සෑම තිදෙනකුගෙන්ම එක් අයකු මාස හයක් ගතවීමෙන් අනතුරුව මොළයේ හෝ මානසික ආබාධයකට ගොදුරු වන බව ඇමෙරිකානු කොවිඩ් රෝගීන් 230,000 කට වැඩි පිරිසක් අලලා කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති අතර මෙම කොවිඩ් වසංගතය මානසික හා ස්නායු ආබාධ රැල්ලකට තුඩු දිය හැකි බව එම විද්‍යාඥයින් පෙන්වා දී ඇත.


එමෙන්ම කොවිඩ්-19 වයිරසය අවසානයේ සුව වන රෝගීන් පූර්ණ සෞඛ්‍ය තත්ත්වයට පත්වීමට බොහෝ කාලයක් ගතවන බවට ද එම නිරීක්ෂණයන්ගෙන් හෙළි වී ඇත.


කෙසේ නමුත් සාමාන්‍ය උණ හෝ වෙනත් ශ්වසන ආසාදනවලට වඩා කොවිඩ්-19 වයිරසය ශරීරගත වීමෙන් පසු මොළයේ රෝග සහ මානසික ආබාධ බහුල ලෙස දක්නට ලැබෙන බව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සකයකු වන මැක්ස් ටකෙට් ඇතුළු පිරිස විවිධ මතයන් ඉදිරිපත් කර ඇත.
මෙම අධ්‍යයනයට සම්බන්ධ ජීව විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාත්මක යාන්ත්‍රණයන් නිශ්චය කිරීමට නොහැකි වූ නමුත් එය වැළැක්වීමට හෝ ප්‍රතිකාර කිරීම සඳහා හඳුනා ගැනීමට නිරීක්ෂණ පරීක්ෂණ කඩිනමින් සිදු කරන්නැයි ඔවුන් බොහෝ රටවලට අනතුරු අඟවා ඇත. ඒ කොවිඩ්-19 වයිරසයට ගොදුරු වී දිවි ගලවාගත් අය අතර මොළයේ හා මානසික සෞඛ්‍ය ආබාධවලට වැඩි අවද‌ානමක් ඇති බවට සාක්ෂි හමුවීමත් සමගය. එමෙන්ම එක්සත් ජනපදයේ සුව වූ කොවිඩ් රෝගීන්ගෙන් කළ නිරීක්ෂණයකදී සෞඛ්‍ය වාර්තා විශ්ලේෂණ අනුව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ කොරෝනා ආසාදනය වී සුව වූ අයගෙන් 60% ක ප්‍රමාණයකට පාකින්සන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි. මේ වනවිට ඉතාලිය, ඇමෙරිකාව, බ්‍රසීලය, චීනය වැනි රටවල් කොවිඩ්-19 වයිරසය ආසාදනය වී සුවය ලබන වූවන් මුහුණ දෙන අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් කීපයක් පිළිබඳව වෛද්‍ය විශේෂඥයන්, පර්යේෂකයන් අනතුරු අඟවා ඇති අතර කොරෝනා ආසාදනය වූ බොහොමයකට පළමු මාස 6 ඇතුළතදී විෂාදය, ඩිමෙන්ෂියා, සයිකේසියාව, අඝාතය යනාදී වශයෙන් ඇති ව්‍යාධීන්ට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇති බව පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත.


කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ ද එම භයානක වාතාවරණයට එහෙත් නොමැති නම් කොරෝනා ආසාදනය වී සුවය ලබන අයට මුහුණ දීමට සිදුව ඇති පශ්චාත් කොවිඩ් සංකූලතා ඇති වන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයවලුන් ශීඝ්‍ර ලෙස දිනෙන් දින වාර්තා වන බව ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.


කොරෝනා වැළඳී සුව වූවන් එහි භයානක පැතිකඩ සහ පශ්චාත් කොවිඩ් සංකූලතා මගින් රෝගී තත්ත්වයක් ඇති වන්නේ කෙසේද? එහි බලපෑම කෙතරම් දරුණුද? යන්න අප කළුබෝවිල ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ වෛද්‍යතුමාගෙන් විමසීමක් කළෙමු.
“අපි දන්නවා කොරෝනා වයිරසය පිළිබඳ අපිට තියෙන්නේ වසර දෙකක වගේ කෙටිකාලීන අත්දැකීම් කිහිපයක් පමණයි. තව අවුරුදු පහකින්, දහයකින් මේ වයිරසය කොයි ආකාරයට බලපාවිද කියන කාරණය අවිනිශ්චිතයි. පරීක්ෂණ සියදහස් ගණනක් මේ වෙනකොට කරලා තිබුණත් ඉන් අපිට හෙළි වී තිබෙන්නේ මෙහි දරුණුකම පමණයි.


කොවිඩ් වයිරසය කියන්නේ මොළයෙන් පටන් ගත්තම මුළු ශරීරයටම විශාල බලපෑමක් එල්ල කරන දරුණු වයිරසයක්.


ශරීරයේ යම් යම් වේදනාවන්, නින්ද නොයෑම, පාදවල වේදනාව, කොන්ද වේදනාව, බඩ පිපුම, බඩඑළිය යාම, වමනය, මතකය අඩුවීම්, අතපය හිරිවැටීම්, මානසික ව්‍යාකූලතාවයන් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙම රෝග ලක්ෂණ මාස තුනකට වැඩි කාලයක් පවතිනව නම් එය දිගුකාලීන කොවිඩ් අතුරු ආබාධ ලෙස හඳුන්වනවා. දිගුකාලීන කොවිඩ් අතුරු ආබාධයන්ගේ ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ අධික තෙහෙට්ටුව එහෙම නැත්නම් මහන්සිය බව නිරීක්ෂණවලින් සොයාගෙන තියෙනවා.


සාමාන්‍යයෙන් වයිරස් රෝග වැළඳුණ කෙනකුට මේ දීර්ඝ කාලීන මහන්සිය ඇතිවීම සාමාන්‍යයි. නමුත් කොරෝනා වයිරසය ආසාදනයෙන් පස්සේ ඇතිවන ඇඟ අප්‍රාණික බව, අධික තෙහෙට්ටුව දරුණු ලෙස බලපෑමක් එල්ල කරන්න පුළුවන්.


අනෙක් කාරණය තමයි කොරෝනා සුව වූ කෙනකුට හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව වරින් වර ඇති වෙන්න පුළුවන්. නින්දේදී මේ වේදනා ඇති වෙන්න පුළුවන්. මේ සංකූලතා වයස් භේදයකින් තොරව ඇති වෙනවා. කොවිඩ් වැළඳිලා සුව වුණු අය අතර මේ අපහසුතා ඇති වීමත් එක්ක අපි ළඟට වැඩිපුරම එන්නේ තරුණ පිරිස. පෙනහළු සහ හෘද වස්තුව සම්බන්ධ එවැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ක්ලාන්ත ගතිය ඇතිවීම සහ කොවිඩ් සුව වූ අයට නින්ද නොයෑම, කම්මැලිකම, මානසික පැත්තෙන් ඉතාම දරුණු ලෙස බලපාපු රෝගීන් දිනකට හය හත් දෙනෙක්ම ප්‍රතිකාර සඳහා යොමුවෙනවා.
තව ගොඩක් දෙනා ප්‍රතිකාර ගන්න එන රෝග ලක්ෂණයක් තමයි බඩඑළිය යාම සහ බඩ පිපුමට. මේ රෝග ලක්ෂණ කොවිඩ් දීර්ඝකාලීන අතුරු ආබාධ ලෙස කියන්න පුළුවන්. ගඳ සුවඳ නොදැනීම, රස නොදැනීම සම්පූර්ණයෙන් නැති වී ගිය රෝගීන් බහුලව වාර්තා වෙනවා. මේ සංකූලතාවලට බිය විය යුතු නැහැ. මේ ආබාධ ප්‍රතිකාර මගින් සුව කිරීමේ හැකියාව තියෙනවා.


විශේෂයෙන් කියන්න ඕනෑ මේ රෝග ලක්ෂණ කොවිඩ් සුව වෙලා නිවසට ගිහින් සති දෙකක වගේ කාලයක් තුළ මතුවීමට පුළුවන්. මතකය අඩුවීම, විශාදය, රෝගය සුවවෙලා සති දෙකකට පසුව ඇතිවීමේ ඉඩකඩ වැඩියි.


අනෙක් කාරණය තමයි දියවැඩියාව, අධිරුධිර පීඩනය නොමැති කෙනකුට පවා කොරෝනාවලට දෙන සමහර ඖෂධයන් නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් පවා ඇති වීමේ ප්‍රවණතාවය තියෙනවා. තව දෙයක් තමයි රුධිරය කැටිගැසීමේ වැඩිවීම් තත්ත්වය, දියවැඩියා, අධිරුධිර පීඩන තියෙන රෝගීන්ට ඉතාමත් වැඩියි. එතකොට එවැනි අයකුට අංශභාග තත්ත්වයක්, කකුල් ඉදිමීමක්, කකුල්වල නහරවල ලේ කැටි ගැසීම් අැති වෙන්න පුළුවන්. තව දෙයක් තමයි මෙම වයිරසය මිනිස් මොළයට ඇතුළු වී පමුණුවන හානි ඉතාමත් දරුණුයි. ඒ ඇරුණම කොරෝනා වයිරසය මිනිස් රුධිර කැටි ගැසීම ඇති කිරීම මගින් අඝාතය පවා ඇති කිරීමට හේතු වන තත්ත්වයක් ඇති විය හැකියි.


අනෙක් කාරණය තමයි කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් මිනිසාගේ පෙනහළුවලට කරන බලපෑම දීර්ඝ කාලීනව ​රෝගියාට වේදනා දෙන්න පුළුවන්. හැබැයි මඳ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන අයට මේ රෝග ලක්‍ෂණ මතුවීමේ අඩු බවකුත් රෝගීන් නිරීක්‍ෂණයේදී පේනවා. නමුත් ඒ අය සතුටු වෙන්න එපා. මොකද දිගු කාලීන කොවිඩ් අතුරු ආබාධයන් පැමිණෙන මොහොත අපි කාටවත් කියන්න බැහැ. හිටි හැටියේ රෝග ලක්‍ෂණ මතු වෙන්න පුළුවන්.


මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?


ඇත්තටම මේ තත්ත්වයන් පාලනය කර ගන්න පුළුවන්. කොරෝනා ආසාදනය වෙලා දින 14ක් ප්‍රතිකාර ලබලා නිවසට යන රෝගියකු කොරෝනා සුව වූ පසු තමන්ට දැනෙන අපහසුතා ගැන විමසිලිමත් විය යුතුයි. සමබර ආහාර වේලක් වගේම දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම ඉතාම ගුණදායකයි. හැබැයි දින ද‌ාහතර අවසන් වූ සැනින් සාමාන්‍ය විදිහට වැඩ ආරම්භ කරන්න සුදුසු වන්නේ නැහැ. අවම වශයෙන් කොවිඩ් රෝගියෙක් සුවය ලබා නිවසට පැමිණි පසු සති දෙකක්වත් පෙර මෙන් මහන්සි වී වැඩ කිරීම යෝග්‍ය වෙන්නේ නැහැ. කොවිඩ් රෝගියකු සුව වෙලා නිවසට ගියාට පසුවත් වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිශක්තිය වැඩි කිරීමට උදව් වන විටමින් ඩී, විටමින් සී වගේ විටමින් වර්ග ලබා ගැනීමෙන් ශරීරය යථා තත්ත්වයට පත් කරගන්න උදව් වෙනවා. මේ කියපු රෝග ලක්‍ෂ සුළුවෙන් හො කොවිඩ් සුව වූ කෙනකුට මතු වෙනවා නම් ප්‍රමාද නොවී සර්වාංග රෝග පිළිබඳ වෛද්‍යවරයකුට යොමු වීම අනිවාර්යයෙන් කළ යුතුයි. මොකද මේ වෙනකොට කිසිම රෝග ලක්‍ෂණයක් නැති තරුණ අයටත් හෘදයාබාධ ඇති වෙලා තියෙනවා. ඒ වගේම පශ්චාත් කොවිඩ්වලින් පසුව එන අධික මහන්සිය යථා තත්ත්වයට පත්කර ගැනීම ක්‍රමානුකූලව කළ යුතුයි. සමහර රෝගීන්ට මේ රෝග ලක්‍ෂණ සුව වෙන්න සැලකිය යුතු කාලයක් ගත වෙන්න පුළුවන්. විශේෂයෙන් කොරෝනා ආසාදනය වෙලා රෝහල්ගත කර හෝ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා සුවය ලැබූ අයට, මේ පශ්චාත් කොරෝනා සමයේ ඉතා බරපතළ තත්ත්වයන්ට මුහුණු දීමට සිදුවන ප්‍රවණතාව වැඩියි.
මේ වෙනකොට කොවිඩ් රෝගීන් වැඩි වීමත් එක්ක ඉදිරි මාස දෙක තුන ඇතුළත දිගුකාලීන කොවිඩ් අතුරු ආබාධයන්ගෙන් පෙළෙන රෝගීන් ශීඝ්‍ර වැඩි වීමක් බලාපොරොත්තු විය යුතු වෙනවා. කොරෝනා වැළඳුනාට වඩා භයානක වෙන්නේ පශ්චාත් කොවිඩ් සමයයි. ලංකාවේ තාම කොවිඩ් සුව වූ රෝගීන්ගේ සංකූලතා සම්බන්ධයෙන් සායන ආරම්භ වෙලා නැහැ.


දැනට කළුබෝවිල රෝහලේ කොවිඩ් සුව වූවන් පරීක්‍ෂා කරන සායනයක් පටන් අරන් තියෙනවා. අනිවාර්යයෙන් සෑම රෝහලකම කොවිඩ් රෝගීන්ගේ පසුකාලීන විපරම සඳහා විශේෂ සායන පැවැත්විය යුතුයි. දිගුකාලීන කොවිඩ් අතුරු ආබාධ ඉදිරියේදී අපිට මුහුණ දෙන්න වෙන දරුණු සෞඛ්‍ය ගැටලුවක්. දැන්ම අපි ඊට මුහුණ දීමට සූදානම් නොවුණොත් එහි බලපෑම ලංකාවේ මුළු ජනගහනයටම දරුණු ලෙස එල්ල වෙනවා.


තව කාරණයක් තමයි කොවිඩ් එන්නත අනිවාර්යයෙන්ම ලබාගන්න. මොකද මේ වාර්තා වන රෝගීන් අතුරින් එන්නත ලබාගත් අයට දිගුකාලීන කොවිඩ් අතුරු ආබාධ ඇති වීම පවතින්නේ ඉතා අඩු වශයෙන් බව වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

 

සටහන
නදීෂා අතුකෝරාල