උපුල් වික්‍රමසිංහ

කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගිතා සංවිධානයේ (RCEP) සාමාජිකත්වය ලබාගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ අභිලාෂය සහ ප්‍රධාන ආර්ථිකයන් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTA) ඇති කරගැනීම වෙනුවෙන් කරනු ලබන සාකච්ඡා කොරියානු ආයෝජන මෙරටට ආකර්ෂණය කරගැනීමේ දී ඉතා වැදගත් වෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී පසුගිය 8 දා කොළඹ දී පැවසුවාය.

දකුණු කොරියාවේ සංවර්ධන සහයෝගීතාවේ දී ශ්‍රී ලංකාව ඉතා වැදගත් හවුල්කරුවකු (Vocal Partner) වන බව ද ඇය සඳහන් කළා ය. 

තානාපතිනිය මේ අදහස් පළ කළේ ඉකුත් 7 වැනිදා පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ලද තානාපතිවරයකු සමග පැවති වටමේස සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

1970 දශකයේ දී කොරියානු සමාගම් ශ්‍රී ලංකාවට පැමිණ කර්මාන්තශාලා ආරම්භ කළ බව සිහිපත් කළ තානාපතිනිය එවක දී ශ්‍රී ලංකා රජය එම ආයෝජකයන්ට දිරිදීමනා (Incentives) නොදුන් නිසා ඔවුන්ගෙන් බොහෝදෙනකු ශ්‍රී ලංකාව හැර ගොස් ආයෝජන දිරිදීමනා වඩාත් හොඳින් ලබා දුන් වෙනත් රටවල්වල ආයෝජන ආරම්භ කළ බව ද කීවා ය.