නිරෝෂණ කුමාර

තමන්ගේ උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇති ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව යන වාක්‍යය ඉවත් කර ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ලෙස සඳහන් කරන්නැයි මලෛයහම් ජනතාව ඉල්ලීමක් කරයි.

මේ නිසා තමන්ගේ අනන්‍යතාව පිළිබඳව දීර්ඝකාලීන ලෙස ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇතැයි වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධයක අධ්‍යක්ෂ ඇන්තනි ජේසුදාසන් පැවසීය.

උප්පැන්න සහතිකයේ ඉන්දීය සම්භවයක් ඇති මලෛයිහම් ජනතාව ලෙස සදහන් කළද තමන්ගේ මුතුන් මිත්තන් වසර 203 ක කාලයක සිට ජිවත්වෙන්නේ ශ්‍රී ලංකාවේ නිසා එය ශ්‍රී ලාංකික විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

රටවල් දෙකක සම්භවයක් සහිතව උප්පැන්න සහතිකයේ සඳහන් එකම ජාතිය තමන් බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම උප්පැන්න සහතිකයේ තමන්ගේ පදිංචි රට ස්ථිරව ප්‍රකාශ කරන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද එය මෙතෙක් ඉටු නොවූ නිසා බරපතළ ප්‍රශ්නවලට මූණ පෑමට මලෛයහම් ජනතාවට සිදුවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ හැටන් ප්‍රකාශය මගින් තමන්ගේ මෙම ගැටලුව නිරාකරණය කරන බවට පොරොන්දු වුවද එය හුදෙක් පොරොන්දුවක් පමණක් බව ඔහු සඳහන් කරයි.

සිය උප්පැන්න සහතිකයේ ශ්‍රී ලාංකික දෙමළ ලෙස සටහන් කරන ලෙස නිත්‍යනුකූලව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන්නැයි ඔහු යළිත් වරක් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

මෙයට අමතරව පත්වන සියලු රජයන් තමන්ගේ ගැටලු විසඳන බවට පොරොන්දු වුවද ඡන්දය ලබාගත් පසුව එය අමතකවීම කනගාටුදායක බවද ඔහු පැවසීය.

දිටිවා සුළි කුණාටුවෙන් විනාශ වු සිය නිවාස වලට වන්දි ලබා ගැනීමට නොහැකිව ඇත්තේ මෙවැනි ගැටලු නිසා බවද ඇන්තනී ජෙසුදාසන් ප්‍රකාශ කළේය.