නිරෝෂණ කුමාර

කොළඹ ජාතික රෝහලේ හා මහරගම අපේක්ෂා රෝහලේ තාවකාලිකව නතර කර තිබූ පෙට් ස්කෑන් පරීක්ෂණ කටයුතු පෙරේදා (08) සිට යළි ආරම්භ කර තිබේ.

අදාළ පරීක්ෂණයට භාවිත කරන F.D.G  විකිරණශීලී ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් මාර්තු 27 වැනිදා සිට එම පරීක්ෂණ තාවකාලිකව නවතා දමා තිබුණි. මේ වන විට එම පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ රෝගීන් සුදානම් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම ප්‍රමාදවීම නිසා පරීක්ෂණ කටයුතු බිඳ වැටී ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය. මේ නිසා කිසිදු වෙනත් සමාගමකට එම රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන ඒමට අවස්ථාව නොලැබිණ.

මේ පිළිබඳ තොරතුරු හෙළි කිරීමෙන් පසු වගකිව යුතු පාර්ශ්ව ගැටලු‍ව විසඳීමට මැදිහත් වීම නිසා පරීක්ෂණ කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.