සුජිත් හේවාජුලිගේ 

කොළඹ ඇමති බංගලා විසි පහක් සිල්ලර වෙළෙඳාම, කැෆේ ආපන ශාලා,  කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල පරිශ්‍ර සඳහා වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

මෙම ආයෝජන ව්‍යාපෘතිය යටතේ - කෞතුකාගාර, විවේකී ස්ථාන, සිල්ලර වෙළෙඳාම, අවන්හල්, නවාතැන් පහසුකම්, සේවා ස්ථාන හා බැඳුණු  සංස්කෘතික කලාපයක් (Cultural Loop)  නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

රජයේ බංගලාවල ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ආයෝජකයන් තෝරාගැනීමේ දී අභිලාෂ ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය වෙනුවට යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරන මෙන් - මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත.

ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව  සකස් කළ ලැයිස්තුව අනුව ආර්ථික උපයෝජනය සඳහා යොදාගත හැකි  බංගලා සංඛ්‍යාව 24කි.

මෙම බංගලා නිවාස පෞද්ගලික අංශයට වසර තිහක බදු  කාලයක් සඳහා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව ලබාදීමට තීරණය කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරුණු කමිටුව ඉදිරිපත් කළ නිල නිවාස පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුවේ කොළඹ 5 ස්ටැන්මෝ චන්ද්‍රවංකය පරිශ්‍රය (B63) සම්බන්ධ ඉඩමේ හිමිකාරීත්වය නිසි පරිදි තහවුරු කරගත නොහැකි බැවින් යෝජනා කැඳවීමට එම පරිශ්‍රය ඇතුළත් නොකිරීමටත්  එහි රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සහයෝගීතා ආයතනයක් ස්ථාපිත  කිරීමටත් තීරණය කර ඇත.

තෝරාගනු ලබන ආයෝජකයන් පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති රජයේ බංගලා නිවාස සඳහා එම දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ව්‍යුහාත්මක වෙනස්කම් නොකර එම වටිනාකම්වලට අනුගත වන ආකාරයට ආයෝජන යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව දැක්වේ.

මේ අතර රජයේ බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බලන කමිටුව ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් වන නිර්දේශ දෙවනුව ඉදිරිපත් කිරීමට නියමිතය. ජනපති මන්දිර බොහොමයක් පිට පළාත්වල පිහිටා ඇති හෙයින් විශේෂ පරීක්ෂණවලට ගතවන කාලය සලකා එම තීරණය ගෙන ඇත.

ඇමැති බංගලා අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් නොකිරීමට රජය මුල් කාලයේදී  ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. එසේම ජනාධිපති මන්දිර ද සිය පෞද්ගලික පරිහරණය වෙනුවෙන් යොදා නොගැනීමට  ජනාධිපතිවරයා තීරණය කර ඇත.