ගයාන් සූරියආරච්චි

විදේශ ජාතිකයන් මෙරට රැඳී සිටිමින් කරනු ලබන අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කාර්යාංශයක් වෙනම පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් පැවසීය.

මූල්‍ය හා පරිගණක අපරාධ මෙන්ම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනවාරි මස 1 වැනිදා සිට මේ දක්වා 700 කට ආසන්න විදේශ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන ජාතිකයෝ 300 කට ආසන්න පිරිසක් වෙති. තවද එම පිරිස අතර ඉන්දියානු, වියට්නාම, පිලිපීන, කාම්බෝජ ජාතිකයන් සිටින අතර - එම සැකකරුවන් කුරුඳුවත්ත, ජාවත්ත, අනුරාධපුර, මීගමුව, වැලිකඩ, ගල්කිස්ස පෝද්දල, හලාවත, කොස්වත්ත යන ප්‍රදේශවල තාවකාලිකව රැඳී සිට ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එම විදේශ ජාතිකයන් අන්තර්ජාල මූල්‍ය වංචා සිදු කිරීම සඳහා යොදාගත් පරිගණක, දුරකථන හා ඒ ආශ්‍රිත උපාංග රැසක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හලාවත ප්‍රදේශයේ දී ඉකුත්දා අත්අඩංගුවට ගත් විදේශ ජාතිකයන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරුව එම සැකකරුවන් පිරිසක් පලා ගොස් බොරලැස්ගමුව ප්‍රදේශයේ රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. එම විදේශ ජාතිකයන් පිරිස පලා ගියේ කෙසේ ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නිවෙස, ආයතනය, නිවාස සංකීර්ණය කිසියම් පුද්ගලයන්ට කුලී පදනම මත ලබා දෙන්නේ නම් එම පුද්ගලයන් පිළිබඳ තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට ලබාදෙන ලෙසය.

විදේශ ජාතිකයන් මෙරටට පැමිණ මූල්‍ය වංචා පරිගණක අපරාධ සිදුකිරීමේ වර්ධනයක් දැකගත හැකි අතර, නිවාස හිමිකරුවන් එවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා නොදීම හේතුවෙන් නිරපරාදේ වරදකරුවන් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් පසුගිය 2024 සහ 2025 වසරවලට සාපේක්ෂව විදේශ ජාතිකයන් මෙරටට පැමිණ අන්තර්ජාල මූල්‍ය වංචා සිදුකිරීමේ වර්ධනයක් දැකිය හැකිය.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ උපදෙස් පරිදි පරිගණක අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරුන් වන චන්දිමා අරුමප්පෙරුම, ජයනෙත් සිරි සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.