සුජිත් හේවාජුලිගේ

මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල වංචනිකයන් පිරිසක් අතට පත්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන කණ්ඩායම් එම ගනුදෙනු අතරේ දී ලැබී ඇතැයි පැවසෙන සැක කටයුතු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම දුරකතන ඇමතුම ලැබී ඇතැයි පැවසෙන්නේ එම ගනුදෙනුවට අදාළව ඊමේල් පණිවුඩ හුවමාරු වූ අවස්ථාවේ දී බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙය කවුරුන් කුමන රටක සිට ලබා දුන් පණිවුඩයක් ද යන්න පිළිබඳව මෙහිදී සොයා බැලෙනු ඇත

මෙම ගනුදෙනු අතරේ දී සැක කටයුතු දුරකථන ඇමතුමක් ලැබී ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාද පසුගියදා තහවුරු කළේය. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල දී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු විදේශිකයන් අතර මහා භාණ්ඩාගාරයේ මුදල් වංචනික ලෙස ලබාගත් හැකරුන් ද සිටීදැයි සොයා බලාගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදේශිකයන් 30 දෙනකු පොලිසිය විසින් ඉකුත් 07 වැනිදා අත්අඩංගුවට ගැනිණ. අදාළ සැකකරුවන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක රැඳී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

සැකකාර විදේශිකයන් පිරිසට චීන ජාතික තරුණියෝ දෙදෙනෙක්  ඇතුළු 21ක්, වියට්නාම් තරුණියක් ඇතුළු 9ක් ඇතුළත් වෙති. එම සැකකරුවන් සමග පරිගණක 10, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක්, අන්තර්ජාල පහසුකම් ලබාගන්නා උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවැනිම ආකාරයේ වරදකට ඉකුත් අප්‍රේල් 2වැනිදා විදෙස් ජාතිකයන් 152ක්ද අත්අඩංගුවට ගැනිණ. මෙම සැකකරුවන් සහ මහා භාණ්ඩාගාරයේ මුදල් සොරකම අතර කිසියම් සම්බන්ධයක් ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.