ෆ්‍රාන්ස් කෆ්කාගේ ජීවිතයත්, ඔහුගේ මරණයෙන් පසු මැක්ස් බ්‍රොඩ් අතින් සිදු වූ ඒ ශුද්ධ වූ මිත්‍ර ද්‍රෝහී කමත්  එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. කෆ්කා යනු තම ආත්මයේ අදුරු අහුමුළු හා ගැඹුරු ආගාධ වචන බවට පත් කළ, එහෙත් එම වචන ලෝකයා දකිනවාට මරණයටත් වඩා බිය වූ මිනිසෙකි. අද අප කෆ්කා ලෙස හඳුනා ගන්නා රූපය, ඔහු මැකී යන්නට දැරූ උත්සාහය සහ බ්‍රොඩ් ඔහු පවත්වා ගැනීමට දැරූ උත්සාහය අතර ඇති වූ දෛවෝපගත ගැටුමේ ප්‍රතිඵලයකි.

කෆ්කාගේ ජීවිතය පිරී තිබුණේ පියකුගේ අධිකාරී බලයට බියෙන් ගැහෙන, සමාජය හමුවේ නිරුවත් වීමට ලැජ්ජා වන, හුදෙකලා ආත්මයක වේදනාවෙනි. ඔහුට ලිවීම යනු යාච්ඤාවකි.එහෙත් එය ලෝකයට ඇසය යුතු ශබ්ද නගා කරන යාච්ඤාවක් නොව තමාගේම විනාශය වළක්වා ගැනීමට තමාගේම යක්ෂයන් වෙත කරන කොඳුරාලීමකි.

1924 දී ක්ෂය රෝගයෙන් පෙණහලු දියවෙද්දී, කෆ්කා තම මිතුරා වූ මැකස් බ්‍රොඩ්ට දුන් උපදෙස අතිශය පැහැදිලිය.

 "මගේ මේ අකුරු ඔක්කොම පුච්චලා දාපන්."

 කෆ්කාට අවශ්‍ය වූයේ තමන් විඳි ඒ අසීමිත ලැජ්ජාව, පරාජය සහ තමා තුළ සිටි යක්ෂයන් තමා සමඟම සොහොන් ගැබ තුළ වළලා දැමීමටය. ඔහු සිතුවේ තම අකුරු විනාශ කිරීමෙන් තමාගේ වේදනාකාරී පැවැත්ම ලෝකයෙන් සදහටම අකා මකා දැමිය හැකි බවය.

නමුත් බ්‍රොඩ් කළේ අනෙකකි. ඔහු කෆ්කාගේ ඒ අතිශය පෞද්ගලික අගාධය සාහිත්‍ය වෙළෙඳපොළ ප්‍රදර්ශන භාණ්ඩයක් කළේය. බ්‍රොඩ් කෆ්කාගේ අවුල් සහගත, තිත් කොමා නැති නම් නැති අත්පිටපත් තමන්ට රිසි පරිදි සංස්කරණය කර, පරිච්ඡේද පෙළගස්වා,නම් දමා කෆ්කා දිව්‍යමය අනාගත වක්තෘවරයකු ලෙස ලෝකයට හඳුන්වා දුන්නේය. 

කෆ්කා නතර කළ යුතුය සිතූ  තැනින් බ්‍රොඩ් ආරම්භ කළේය. අද අප කියවන The Trial හෝ The Castle යනු කෆ්කා අත්හැර දැමූ ගිනිබත් කිරීමට ඔහු අපේක්ෂා කළ නටබුන් මත බ්‍රොඩ් විසින් ඉදි කළ අර්ධ කෆ්කාමය මාලිගාවන්ය.

බ්‍රොඩ් විසින් කෆ්කාගේ අත්පිටපත් සඳහා සිදු කළ සංස්කරණ යනු හුදෙක් ශුද්ධ පවිත්‍ර කිරීමක් නොවේ. එය කෆ්කාගේ සමස්ත සෞන්දර්යවේදයම (Aesthetics) උල්ලංඝනය කිරීමකි. කෆ්කාගේ ලිවීම් තුළ තිබූ 
අනවරත ගලායාම සහ ඔහු ඉතා සූක්ෂම ලෙස භාවිත කළ විරාම ලකුණු රටාව, බ්‍රොඩ් විසින් සාමාන්‍ය ව්‍යාකරණ රීතිවලට අනුකූල වන සේ කපා කොටා වෙනස් කළේය.හෙතම රියල් කෆ්කා රියැලිටිය වෙත මේකප් කළේය.එඩිට් කිරීම නම් සංස්කෘතියේ සවිඥානික බලය කෆ්කාගේ අන්ධකාර අවිඥානික ආගාධය වෙත හෙළුවේය.

​බ්‍රොඩ්ට අවශ්‍ය වූයේ කෆ්කා කියැවිය හැකි ලේඛකයකු කිරීමටය. නමුත් කෆ්කා යනු පහසුවෙන් කියවා අවසන් කළ හැකි අයකු නොවේ. බ්‍රොඩ් විසින් කෆ්කාගේ වැකිවල තිබූ ඒ හුස්ම හිරවන සුලු ස්වභාවය (Breathlessness) මකා දැමීමෙන්, කෆ්කාගේ කෘතිවල හරය වූ නොසන්සුන්කාරී බව නැති කර දැමීය.

​වඩාත්ම හානිකර දෙය නම්, බ්‍රොඩ් විසින් කෆ්කා වටා ගොඩනැඟූ දේවධර්මීය රැස් වළල්ලයි (Theological halo). ඔහු කෆ්කා දෛවයේ අනාගත වක්තෘවරයකු හෝ සාන්තුවරයකු ලෙස හඳුන්වා දුන්නේය. එමහින් කෆ්කාගේ ලේඛනවල තිබූ සැබෑ හාස්‍යය (Humor) සහ ඔහුගේ නූතනවාදී විකාරරූපී බව Modernist absurdity යටපත් වී ගියේය. බ්‍රොඩ්  කෆ්කාව කෆ්කාවාදයක් තුළ සිර කළේය.

සැබැවින්ම  එය කෆ්කාගේ මරණයෙන් පසු සිදු කළ යළි ඔහු ඝාතනය කිරීමක් වැනිය. යනුවෙන් මිලාන් කුන්දේරා මේ ගැන ලිවීය.

අප අතරින් බොහෝ දෙනකු කිසිදිනෙක කෆ්කා කියවා නැත.

එසේනම් අප කියවා ඇත්තේ කවුද?

​අප කියවා ඇත්තේ මැක්ස් බ්‍රොඩ් විසින් ලෝකයට හඳුන්වා දුන්, ඉතිහාසඥයන් විසින් විග්‍රහ කළ, සහ සිනමාකරුවන් විසින් රූපයට නැගූ ප්‍රබන්ධගත කෆ්කාවකි.

​සැබෑ කෆ්කා තවමත් සිටින්නේ ඔහුගේ ඒ කියවිය නොහැකි තරම් අපැහැදිලි, තැනින් තැන කැඩුණු, අසම්පූර්ණ මුල් අත්පිටපත් (Manuscripts) තුළමය.  තවමත් ඒවා කියවිය හැක්කේ ඉතා සුළු පිරිසකට පමණි.

කෆ්කාගේ අකුරු පාවාදීම ඔහුගේ මරණයෙන් සහ බ්‍රොඩ්ගෙන් පමණක් අවසන් වූයේ නැත. ඔහුගේ අත්පිටපත් අදටත් "කෆ්කාමය" (Kafkaesque) නීතිමය සිරගෙයක හිරවී පවතී. මෙය තනි පුද්ගලයකු ඉක්මවා ගිය රාජ්‍යයන් දෙකක් අතර ඇති වූ මහා නාටකීය ගැටුමකි.
මැක්ස් බ්‍රොඩ් මිය යන විට, කෆ්කාගේ අත්පිටපත් තොගය ඔහුගේ ලේකම්වරිය වූ එස්තර් හොෆේට (Esther Hoffe) උරුම විය. ඇය ඒවා බැංකු සේප්පුවල හංගා තැබූ අතර, ඇයගේ මරණයෙන් පසු ඇගේ දියණියන් සහ ඊශ්‍රායෙල් රජය අතර වසර ගණනාවක් පුරා මහා නඩු විභාගයක් පැවතුණි.

 කෆ්කා යනු යුදෙව්වෙකි, එබැවින් ඔහුගේ අත්පිටපත් යුදෙව් ජාතියේ සංස්කෘතික උරුමයක් ලෙස ඊශ්‍රායෙල් ජාතික පුස්තකාලයට හිමිවිය යුතු බව ඊශ්‍රයලය පැවසීය.

 කෆ්කා ලිව්වේ ජර්මන් භාෂාවෙනි. එබැවින් එම අත්පිටපත් ජර්මානු සාහිත්‍ය ලේඛනාගාරයට අයත් විය යුතු බවට තර්ක මතු විය.

වසර ගණනාවක් පුරා ඇදුණු මේ නඩු විභාගය කෆ්කාගේ නවකතාවක් මෙනි. කෆ්කා ජීවත්ව සිටියදී මෙන්ම, ඔහුගේ අකුරු ද මියගිය පසුත් නිලධාරි තන්ත්‍ර සිස්ටම් එකක ග්‍රහණයට හසු විය. අවසානයේදී ඊශ්‍රායෙල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙම අත්පිටපත් ඊශ්‍රායෙල් ජාතික පුස්තකාලයට හිමිවිය යුතු බවයි.

කෆ්කාට අවශ්‍ය වූයේ නිදහසයි. ඒ නිදහස ඔහු සෙව්වේ නිහඬතාව සහ මරණයේ අළු තුළය. එහෙත් බ්‍රොඩ්ගේ මැදිහත් වීම නිසාත්, පසුව රාජ්‍යයන් අතර ඇති වූ නීතිමය අරගල නිසාත්, කෆ්කා මරණයෙන් පසුවත් සදාකාලික විත්තිකරුවකු බවට පත් විය.

 ඔහුගේ අතිශය පෞද්ගලික ලැජ්ජාව අද මුළු ලෝකයාගේම බුද්ධිමය ආශ්වාදයක් බවට පත්ව තිබේ.

අදත් ප්‍රාග් නුවර හර්මන් කෆ්කා( ෆ්‍රාන්ස් කෆ්කා ගේ ආඥාදායක පියා) විසූ  නිවසේ බැල්කනියේ සීතලේ තනිවූ ඒ කුඩා දරුවා මෙන්ම කෆ්කාගේ හුදෙකලා  ආත්මය තම අකුරු වරදවා කියවන ලෝකය දෙස බලා වැලපෙනවා විය හැකිය. 

මන්ද ලෝකය ඔහු වෙනුවෙන් ස්මාරක හදද්දී, සාහිත්‍ය දෙසුම්වල ඔහුගේ අකුරු ගැන ගැඹුරු විචාර නින්නාද දෙද්දි කෆ්කා තවමත් තම සොහොන් ගැබ තුළ පවා නිරුවත් වෙමින්, පද්ධතියේ නඩු විභාගයකට ලක්වෙමින් සිටින බැවිනි.

අප කෆ්කා කියවන සෑම මොහොතකම කරන්නේ, තමන්වම විනාශ කරගන්නට ඉල්ලූ ලැජ්ජාශීලී කුලෑටි මිනිසකුට බලහත්කාරයෙන් පණ දී, ඔහු නැවත නැවතත් සැමදාම ඔහු අකමැති වූ,ඔහු තැති ගැන්වූ විනිශ්චයේ විභාගයකට ලක් කිරීමයි.

 ඒ අතින් බලන විට කෆ්කාගේ මිත්‍රයා වූ මැක්ස් බ්‍රොඩ් කළේ "ශුද්ධ වූ මිත්‍ර ද්‍රෝහි වීමක් පමණක් නොව, කෆ්කාගේ අන්ධකාර ගැඹුරු  නිරය සදාකාලික කිරීමක් නොවන්නේද?