
"ගුණදාස අමරසේකරයන්ගේ කාව්යවලටත් නවකතාවලටත් එකල පැවති, මෙකල නැති අදහස්වලටත් මහත් සේ ඇලුම් කළ මම අමරසේකරවාදියෙක් ව සිටියෙමි. මම ඇතැම් සති අන්තවල ගම්පහ රෝහල අසල පිහිටි ඔවුන්ගේ කුලී නිවසෙහි ගත කරමි. ඇතැම් නිවාඩු කාල ද එහි ම ගත කරමි. එකල අවිවාහක ව සිටි අමරසේකරයෝ මිරිස්වත්තේ සෙනෙවිරත්න විදුහල්පතිතුමන්ගේ හා එම මැතිනියන්ගේ දෙටු දියණි චන්ද්‍රාවන් සමඟ පිළිබද සිතින් වෙළී සිටියහ. මුල දී දෙපසෙහි ම මවුපියන්ගේ අනුමතිය නො ලත් මේ ප්‍රේමයට බොහෝ විට අතර මැදියෙකු ලෙස උපකාර කිරීමට මට සිදු විය. චන්ද්රාවන්ගේ මවුපියෝ ද අමරසේකරයන්ගේ මෑණියෝ ද මට කරුණාවන්ත වූහ. එහෙයින් ඒ අතරමැදිකම ලෙහෙසි විය. මම අමරසේකරයන්ගෙන් බොහෝ දේ උගතිමි. ඉන් ප්‍රධාන ම දෙය නම් අමරසේකරයන් මට ඉගැන්වූ, මගේ දිවි හිමියෙන් මා හැර නො යන පාඩම යි. එනම්, කාව්‍යය හා සාහිත්‍යය ප්‍රථම කොටත් ප්රමුඛ කොටත් පාඨකයාගේ හැඟීම් සංකීර්ණය මත ක්‍රියා කළ යුතු බව යි. සාහිත්‍යයට එසේ කළ හැකි වන්නේ එහි නිර්මාපකයා ඒ සඳහා බස වහල් කොට ගන්නේ නම් පමණි. ඒ කවර බසක් ද? ඉතා ඈත අතීතයේ සිට කවීන් කාව්‍ය සඳහා සංවර්ධනය කළ බස ම විනා වෙන ම බසක් නො වේ. නව සාහිත්‍ය නිර්මාපකයා ඒ චිරාගත බස ම නන් අයුරින් පෝෂණය කරයි. අමරසේකරයෝ පුරාණ සිංහල සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය ඛණ්ඩ සජ්ඣායනය ද ගායනය ද කොට මේ බව මට ඒත්තු ගැන්වූහ. ඔවුන්ගේ සන්ධ්‍යා කාලයන් ද උදේ 8 පමණ වන තුරු කාලය ද ගත වුණේ මේ පුරාණ කාව්‍ය සේවනය සඳහා ය. මෙය මට නව ජීවනය පිඹීමක් විය. ඉන් මම ආවේශිත වීමි. මම එකල අමරසේකරයන් මෙන් වේට්ටය හා බැනියම හැඳීමටත් පයිප්පයක් බීමටත් පටන් ගතිමි. මේ ගැන මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය හා කේ.සී. පෙරේරා යන මිතුරෝ මට මහත් සේ සිනා සුණහ. මම එය ගණන් නො ගතිමි. දැනුදු මට අමරසේකරයන්ගේ බොහෝ කවි කටපාඩමින් කිව හැකි ය.
ඇතැම් සති අන්තවල (මහාචාර්ය එදිරිවීර) සරච්චන්ද්‍රයෝ ද අමරසේකරයන්ගේ නිවසට යති. එසේ සිකුරාදා සවස තම රියෙන් යන ඔවුහු මා ද කැටුව යති....... ගම්පහ යන මේ ගමන් අධ්‍යාපනික වසයෙන් ඉතා වැදගත් ය. විශ්ව සාහිත්‍යයේ නොයෙක් කොදිව් මහදිව් අලළනු ලැබෙයි. ගැටලු විශ්ලේෂණය කෙරෙයි. සැක තැන් නිසැක කෙරෙයි. දැනුම පිරිපහදු වෙයි. මා නො කියවූ ද වහා කියවිය යුතු වූ ද පොත් ලැයිස්තු මම මතක තබා ගනිමි.....
සරච්චන්ද්‍රයෝ අමරසේකරයන්ගේ නිවසේ දවස් දෙකක් පමණ ගත කරති. ඔවුන් දෙදෙනා අතර විදග්ධ විහිළු තහළු දෙඩුම් ද බරපතළ වාද විවාද ද හට ගනී. අමරසේකරයන් කියූ අගනා විහිළුවක් මට තව මත් මතක ය. 'Day time I treat dental patients. In the evenings and at weekends I treat mental patients. -දහවල මං දන්ත රෝගීන්ටත් සවස හා සති අන්තවල මානසික රෝගීන්ටත් ප්‍රතිකාර කරනවා' යන්න යි ඒ. මෙහි මානසික රෝගීන් යනුවෙන් අදහස් කරන ලද්දෝ නම් තමන් කළ කී දෑ සාහිත්‍ය කෘති ආකාරයෙන් ලියා ගෙන හොඳ නරක අසා ගැනීමට එන පුද්ගලයෝ ය. ඉන් එක් කෙනෙකු ලියා ගෙන ආ කවි පොතක් මම දුටුවෙමි. එහි ප්රස්තාවනාවේ කියා තිබුණේ එය කතුවරයාගේ හැව ඇරීමකි යනුවෙන් ය. එහි ලියා තිබුණේ අමු තිත්ත කුණු හරුප ය. වෙසඟනක් වනාහි බැතිමතුන් පැමිණ ධාතු තැන්පත් කොට යන ධාතු කරඬුවකැයි කියා තිබිණ. එය පළ වී නම් කතුවරයා හිරේ යන බවට නිසැක ය. අමරසේකරයෝ දවස් ගණනක් කොක් හඬ ලූහ. එහෙත් අමරසේකරයන් එසේ කළේ සදය උපහාසයක් මිස ආධුනිකයන් ගැරහීමක් නො වේ. ආධුනිකයන්ට ඔවුන්ගේ අනුග්‍රහය නො මඳ ව ලැබිණ.
පාසල් නිවාඩු කාලයේ හා සති අන්තවල අමරසේකරයන්ගේ විශ්‍රාමික මෑණියෝත් නැගණියෝත් නිමෙලා නමැති සුරතල් ඥාති දැරියකුත් ඇවිත් සිටිති. ආතර් නමැති මාණවකයාණෝ ඉවුම් පිහුම් ආදි ඇපඋපකාරයට සිටිති. කිරිඳිවැල ඇඩ්ඩින් නමැති රියදුරාණෝ ද රිය පැදවීමට සිටිති."
(සුචරිත ගම්ලත් - "ගුරු ගුණ සමර")
2025 දෙසැම්බර් මස 04
586
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
502
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
427
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමරසේකර මතක