අප ලේඛක කේ කේ සමන් කුමාර හෙවත් සර්පයා කියන දේවල්වලට එරෙහිව ෆේස්බුක් එකේ පාර්ශ්වයක් යම් නිර්දය  ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. දහස් ගණනින් ලයික් සහ ෂෙයාර් කරලා  තියෙන ඒ එක පෝස්ට් එකක 'රැඩිකල් වෙන්ඩ දඟලන අලුත්ම පව්කාරයා' කියලා  සර්පයාව හඳුන්වමින්  මෙහෙම කියකවා: 

 "බිරිඳක් දරුවෙක් නෑ,ගේ දොර වතුපිටි නෑ
 ප්‍රියමනාප රූපයක් නෑ,හරි හමං රස්සාවක් නෑ
ක්‍රීඩාවක් කලාවක් කරලා නෑ.අඩුම තරමේ කටේ දත් ටිකවත් නෑ". 

මේක වෙනස් සහ විකල්ප විදියට හිතන හෝ ජීවත් වෙන අයට ශ්‍රී ලංකාවේ සම්මත මතධාරීන්ගෙන් හැමදාමත් එන චෝදනාවක්.  සිංහල බෞද්ධ සදාචාරයට එරෙහිව බටහිර රැඩිකල් කතා කියන විදිහට තමයි ඒක තේරුම් අරන් තියෙන්නෙ. 

සර්පයා විවේචනය කරලා තියෙන අයගේ කමෙන්ට්ස් බැලුවහම පෙනෙන දෙයක් තමයි විවිධ විදිහට කියලා තියෙන ඔවුන්ගේ සියලු විරෝධයන් ආගම, ජාතිය සහ පවුල පිළිබඳ සම්මත අදහස්වලට සර්පයා වගේ අය කියන අදහස්වලින් ඇතිවෙලා තියෙන අපහසුතාව. විශේෂයෙන් සදාචාරය ගැට ගසා තියෙන්නේ පවුල වටා බව පෙනෙනවා. කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකාවේ පවුලක් නැත්නම් දේශපාලනය පවා කරන්න බැරි තරමට රජයන් පෙරළීමට පවා පවුල යොදාගනිමින් පවුල කේන්ද්‍රීයව සියල්ල මනින නිසා කෙටියෙන් නමුත් මේ ගැන යම් විමසීමක් කරන්න අපි උත්සාහ කරමු.

රසවත් දේ නම්, ඔවුන්ම බේරා ගන්න හදන ඔවුන්ගේ ප්‍රධාන මාර්ග උපදේශකයා  ගෞතම සිද්ධාර්ථම ගත්තොත් පවතින ක්‍රමයට එරෙහිව නැතහොත් රැඩිකල් විදියට හිතීමට ප්‍රධාන බාධාව විදියට සැලකුවේ පවුලයි. "රාහුලෝ ජාතෝ, බන්ධනං ජාතං." කියලා දරුවා පවා දාලා රහසේම යන්නේ තමාට විමුක්තියක් හොයා ගෙනයි. බෞද්ධ මූලාශ්‍රවලට අනුව නම් ඔහුට බුදු බව නම් තත්වය හමුවෙන්නේ  විවිධ වැරදි අත්තහදා  බැලීම්වලින්  පසුව වන අතර  තමා දැනගත් දහම ලෝකයා වෙනුවෙන්ද යෙදවීමට කල්පනා කරන්නේ ඉන් අනතුරුවයි. ඉන් පැහැදිලි වෙන්නේ  ඔහු පවුල දමා යන මොහොතේ එසේ ගියේ පුද්ගලික විමුක්තියක් උදෙසා බවයි. (කොහොමත් බුදුදහම යනු මූලික වශයෙන් පුද්ගලික විමුක්තිය පිළිබඳ දහමක්). ඔහු අද කාලේ ඩිවොස් වුන පියෙක් වගේ ආපහු දරුවන් වෙනුවෙන් වගකීම් හොයන්න ගියේ නැති අතර පසුව ඇවිත් ද  ඔහු කීවේ ඔහු සොයා ගත් විමුක්තිය උදෙසා දරු පවුල්  අතහැර  දමා යන ලෙසයි. කෙසේ හෝ  බුදු දහම ගිහි ජීවිතයටද උපදෙස් දුන්නද  බයිබලය මෙන් පවුල සහ ලිංගික සම්බන්ධකම් තහනම් ගහේ ගෙඩි කෑමක්  ලෙසට සලකා පවුලේ සදාචාරයක් මත මිනිසාව මැන්නෙ නැහැ. කෙසේ හෝ එම මුල් බෞද්ධ ඉගැන්වීම්වල යම් ලක්ෂණ යුරෝපීයන් එන්නට පෙර ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සමාජය තුළ දකින්නට තිබුණා.

ඒ වගේම  යුරෝපා ආක්‍රමණයට පෙර සිංහල සමාජය තුළ පවුල් සහ කසාදය අනිවාර්ය වෙලා තිබුණෙ නෑ. සාමූහික කෘෂිකාර්මික සමාජයක් ලෙස එහි  කසාදයක් හෝ නූතන අර්ථයෙන් න්‍යෂ්ටික පවුලක් නැතුව ඉන්න මිනිසුන් අතිශය සාමාන්‍ය වුණා. තනි පුද්ගලයකුට අයිති දේපළට වඩා තිබුණේ පොදු දේපළකට බැඳීමක්. කසාදය පවා පොදුවේ භුක්ති වින්දා. කසාදයට වඩා ඒ සමාජයට වැදගත් වූයේ සාමූහිකත්වයයි. 

අනිවාර්ය කසාදයත්, මිනිසුන් මැනීමට කුටුම්භ පවුලේ භෞතික සාර්ථකත්වයත් යොදා ගැනීම පැමිණියේ  යුරෝපා යටත්විජිතවාදය සහ  ක්‍රිස්තියානිකරණයත් සමඟයි. එය වඩාත් නිල වශයෙන් ආරම්භ කළේ මිෂනාරි අධ්‍යාපනය හරහායි. ප්‍රොතෙස්තන්ත බුද්ධාගම් ව්‍යාපෘතියෙන් ද වුණේ  එය ශක්තිමත් වීමයි. ඒ අනුව ශිෂ්ටයකුවීමට කසාදය අනිවාර්ය වුණා. ජාතික සහ බෞද්ධ කොඩි ආදියට බැඳුණු න්‍යෂ්ටික පවුල නිර්මාණය වන්න පටන් ගන්නේ ඒ හරහායි. පශ්චාත් යටත්විජිතවාදී සිංහල රාජ්‍යයේ ආයතනවල අලවා තිබූ පෝස්ටර් වල පවා පවුල චිත්‍රණය කරල තිබ්බේ ජාතික හෝ බෞද්ධ කොඩිය යට තම දුවයි පුතයි සමග ඉන්න අඹුසැමි යුවළක්. 'පුංචි පවුල රත්තරන්' කියන ජනප්‍රිය ප්‍රකාශය පවා ආවේ ධනවාදී රජයකට අවශ්‍ය න්‍යෂ්ටික පවුල නිර්මාණය කර ගැනීම සඳහා පවුල් සැලසුම් සම්බන්ධයෙන් රජය දියත් කළ එම පෝස්ටර් ව්‍යාපාරයක් හරහායි.

තරගකාරී විභාග හරහා රාජ්‍ය අධ්‍යාපනය සකස් වුණෙ හොඳට ඉගෙන ගෙන, හොඳ තැනකින් කසාදයක් බැඳ ගෙයක් හදාගෙන තමන්ගේ පවුල අනිත් පවුල්වලට වඩා ඉහළින් පෙන්වීමේ තරගකාරී දෘෂ්ටිවාදයකට අනුවයි. මූලික වශයෙන් ඔවුන්ට ජීවිතය කියලා හඳුන්වලා දුන්නේ එච්චරයි. එවිට විකල්ප පෙනෙන්නේ අවඥාවෙන්. එසේ යන ඔවුන්ගේ ඊළඟට ඔළුව කෑවේ පරිභෝජනවාදයයි. රොබියලැක්, ඉන්ෂුවරන්ස් සහ ෂැම්පූ ආදී විවිධාකාර රූපාලාවණ්‍ය වෙළෙඳ දැන්වීම්  'අධියථාර්ථවාදී' ආකාරයෙන් නිර්මාණය කරලා තිබුණේ ලස්සන ගෙයක්, වාහනයක් සහ බලු පැටියකුත් ඉන්න පුංචි පවුල, දේවතාවියකට වගේ වාත්තු කරපු හමක් තියෙන බිරිඳ පරමාදර්ශ කරලයි. මේ බොහෝ ඒවා තුළද සැඟව තිබුණේ අශිෂ්ටයා ශිෂ්ට කිරීමේ දෘෂ්ටිවාදයයි. ජනප්‍රිය ප්‍රවාහයේ චිත්‍රකතා, චිත්‍රපටි සහ ටෙලි නාට්‍යවලත් අත්පත් කර ගැනීමට යෝජනා කළේත් ඒ පරමාදර්ශී පවුලයි. මෙයට හසුවුණු හැම කෙනෙක්ම මෙන් තමන්ගේ සහකරුවා, පවුල් සැලසුම් සහ රැකියා ආදිය තෝරා ගන්න හැදුවේ මේ සමස්තය එකතු වී හැදූ දෘෂ්ටිවාදයකට අනුවයි. 

ක්‍රමයෙන් මේ රත්තරන් පුංචි පවුලට වෙච්ච දේ කියන්න මෙතන ලොකු විස්තර වලට අවකාශයක් නැති නිසා  අපි පහසුවෙන් දැකගත හැකි උදාහරණ කීපයක් විතරක් ගමු.මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඩිවොස් රේට් එක සියයට පනහට ආසන්න වෙමින් තියෙනවා. මසාජ් සහ ස්පාවලට වැඩියෙනම යනවුන් ලෙසට වාර්තා වෙන්නේ කසාද බැඳි මැදි වයසේ පිරිමින්. ඒ අතර ලිංගික අපචාර සහ දිවිනසා ගැනීම් වාර්ත ගත ලෙස ඉහළ ගිය අතර පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් මානසික අවපීඩනයෙන් පීඩා විඳින බව අලුත්ම වර්තාවකින් පෙන්වනවා.  පුංචි පවුලට බණ කියපු පූජකවරුන්ගේ ලිංගික ජීවිතයෙ හැටි නම් දැන් වීඩියෝ වලින්ම ඔබට බලාගන්න පුළුවන්. මේ වෙනකොට ටෙලි නාට්‍යවල වඩාම විකිණෙන මාතෘකාව  'අනියම් සම්බන්ධතා' දක්වා වෙනස් වෙලා තියෙනවා.  අඹුසැමි සහ පෙම් හුටපට නිසා ඇතිවුණු සිවිල් ගැටුම් පොලිස් වාර්තාවල ඉහළින්ම තියෙනවා. පවුලේ ඉඩම ගැන කියනවා නම්, ඉඩමක් කොහෙද තියෙන්නේ නඩුවක් ඒකට  තියෙන අතර ඉන් බහුතරය පවුලේම ලේ ඥාතීන් අතරයි. අවසානයේ කසාදය කියන්නේ ගැහැනියි මිනිහයි රණ්ඩු වෙවී හැකි තරම් තමන්ගේ තත්වය අනිත් පවුල් සමඟ සංසන්දනය කරමින්  ගෙයක් හදමින් වෙලාවක් ලැබුණොත් සෙක්ස් කරන ව්‍යාපෘතියක් බවත්  බවට පත්වුණා. අලුත්ම රිසර්ච් වාර්තාවලින් හඳුනාගෙන තියෙන ආකාරයට අනුව නූතන පවුලේ ලිංගික සම්බන්ධතා දුර්වල කරන්නට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන සාධකයක් වෙන්නේ ඇඳට යන මොහොතේ ඔවුන් දෙදනාම දවසේ වැඩ කටයුතුවලින් (එනම් පවුලේ භෞතික ගොඩනැංවීමේ ව්‍යාපෘතියෙන්) හොඳටම හෙම්බත් වෙලා තිබීමයි. කෙතරම් දුරට පවුල ඇතුළ  ඛාදනයට ලක්වෙමින් පවතිනවද එතරම් දුරට ඔවුන්ට සිදුවෙනවා එළියට එහෙම දෙයක් නෑ කියල පෙන්නන්න. අද අපිට ඇහැට දකින්නට ඇති සමාජය මූලික වශයෙන්  මේ එළියට පෙන්වන මායා ප්‍රසංගයයි. මේ තුළ යම් යම් මට්ටමින් ආරක්ෂා වී ඇති පවූල් තිබිය හැකි නමුත් ඕක තමයි පොදු තත්වය.

ප්‍රේමය කියන්නේ මොකක්ද? ඇයි අපි කසාද බඳින්නේ ? මෙහෙම ගිහින් කොහෙද යන්නේ? කියා මේ කිසිවකුට පැහැදිලියි අදහසක් තිබුණාද? දැන් අර සර්පයා වගේ එවුන්ට කියන්නෙ මේක මැද්දට පිස්සෙක් වගේ පැනලා උගේ ඉතුරු දත් ටිකක් නැතිකර ගන්න  කියලද? ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් බඩ වැඩිවීමකින් කුරුලෑවකින් හමේ රැල්ලකින්  පවා දැඩි ලැජ්ජාවකට පත්වෙන මේ මධ්‍යම පන්තික පවුලක දතක් නැති පිරිමියකුට පවතින්නට බැහැ. ඒ පවුල් මැද දතක් නැතුව සිනාවෙන්නට විශාල ධෛර්යයක් අවශ්‍යයි. සර්පයා දතක් නැතුව සිනාසීම ඔවුන්ට කම්පනයක් ඇති කරන ආකාරය අපට හිතාගන්න පුළුවන්.

"බිරිඳක් දරුවෙක් නෑ,
ගේ දොර වතුපිටි නෑ
 ප්‍රියමනාප රූපයක් නෑ,
හරි හමං රස්සාවක් නෑ
ක්‍රීඩාවක් කලාවක් කරලා නෑ.
අඩුම තරමේ කටේ දත් ටිකවත් නෑ".

මේ කියල තියෙන කාරණා ඊයා මනුස්සයන්ට එහෙම කියනවද කියලා මතුපිටින් හිතුවට මිනිසුන් විනිශ්චය කිරීමට  සහ ඔවුන්ට කැමති අකමැති වීමට අර මධ්‍යම පන්තික පවුලේ අවිඥානය නිර්මාණය වුණු ආකාරයයි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයකුගේ මඟුලකට සාදයකට ආරාධනා කරල තියෙන අය අතර මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් එකට පිහිටලා තියන පුද්ගලයන් ඔබ කොපමණ දැකලා තියෙනවද?  මංගල යෝජනා දැන්වීම්වලද ඉල්ලා සිටින්නේ මේ ලක්ෂණවලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පුද්ගලයායි. එදා යුරෝපීය ජාතිකයන්ට ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටවල්වල මිනිසුන්ව අශිෂ්ටයන් ලෙස පෙනුණේද මේ ආකාරයටමයි.

ඉහත සඳහන් කරපු මෙම පවුල නිර්මාණය වන   පීඩාකාරී ව්‍යාපෘතිය තුළ ඉතා පහසුවෙන් කෲරත්වය නිර්මාණය කරනවා. මිනිසකුට ප්‍රසිද්ධියේ අර වැනි ප්‍රකාශයක් කිරීමටත් එය දහස් ගණනින් සැමරීමටත් පවුලක් තුළ කෙතරම් කෲරත්වයක්  තිබිය යුතු ද කියා අපට සිතා ගත හැකියි.