

ඇත්තටම සයිමන් වීරයෙක්ද? ඕන කෙනකුට කියන්න පුළුවන් එයා ජාතික වීරයෙක් නම් නෙමෙයි කියලා. හැමෝම හිතනවා වගේ සයිමනුත් හිතනවා වෙන්න පුළුවන් එයාට ලැබෙන්න ඕන තැන ලැබුණේ නැහැ කියලා. ඕක මිථ්‍යාවක්. ජාතික වීරයෝ කියන්නේ බොහොම පැහැදිලි සරල රේඛීය ඉතිහාසයක් තිබුණු උදවිය. වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර වගේ. සයිමන් එහෙම නැහැ. එයා ට්‍රැක් පැන්න ක්‍රැක් පොරක්. එහෙම කෙනෙක් ජාතික වීරයෙක් කරන්න තරම් පිස්සුවක් මෙහෙ ඊනියා ජනතාවට නෑ.
අපේ තරුණ කාලයේදී අත්පොතක් වගේ පාවිච්චි කරපු කෘතියක් තිබුණා. ලෙමර්න්තොව්ගේ අපේ කාලයේ වීරයෙක්' කියන පොත. ඒ කාලයේ රුසියාවේ ජීවත් වුණ අසම්මත ජීවිතයක් ගත කළ අති සුන්දර චරිතයක් තමයි ඒ කතාවේ නායකයා. ලෙමර්න්තොව් කල්පනා කරන හැටියට මේ 'අප්සට් ලයිෆ්' එකක් තිබුණු මිනිහා තමයි ඒ ගොල්ලන්ගේ එක වීරයෙක් වුණේ.
ඉතින් ලංකාවේ ට්‍රැක් පැන්න අපි වගේ උදවියටත් වීරයෝ හිටියා. ජාතික වීරයෝ නෙමෙයි. අපේ කාලයේ වීරයෝ. සයිමනුත් එයින් එක් කෙනෙක්. සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, අජිත් තිලකසේන වගේ.
අපි යමු අසූව දශකයට. සයිමන්ගෙ ස්වර්ණමය යුගය. අපි වයස විසි ගණන්වල හිටිය ගැටවරයෝ. සයිමන්ගේ වයස අපි දැන් ගත කරන වයස. බර ජීවිතයක්. සයිමන්ගේ පොත් මෑත කාලයේ මම කියවලා නැහැ. ඉස්සර කියවපු මතකය තමයි තියෙන්නේ. ඒක කොහොමත් හොඳයි. අලුත් කියවීමකට වඩා ඒ මොහොතේ දැනිච්චි දේ ගැන තියෙන මතකය තමයි ඇත්ත ටික.
ඒ දවස්වල අපි රසවත් රස්තියාදුකාරයෝ. තැනක් නොතැනක් නෑ. මජර ලෝකයේ තියෙන 'ඇත්ත' හොයාගන්න ඔට්ටු අල්ලපු කාලේ. එක විටම චරිත කිහිපයක් අපට තිබුණා. සංදෘෂ්ටිකවාදියෙක්, විප්ලවවාදියෙක්, ලිංගික නිදහස්වාදියෙක්, බේබද්දෙක්, සූස්ති පොරක්. ඇන්නෑවයි! මේ අච්චාරු චරිතය සතුටු කරන්න පුළුවන් තරමේ සාහිත්‍යයක්, කලාවක් කොහෙන් හොයන්නද?
සයිමන් අපේ ජීවිතවලට කඩාපාත් වෙන්නෙ මෙතැනදි තමයි. අපිව මෝහනය කරවන්න තරම් අච්චාරුවක් එයාගේ පොත් සහ එයා තුළ තිබුණා. පැවැත්ම, කැරලි ගැසීම, අර ලිංගික දේවල් ටික, අනිමිස ලෝචනය, හති ඇරීම ඔය වගේ මෙකී නොකී ජරමර. ඉතින් එකපාරට එයා ‘අපේ කාලයේ වීරයෙක්.’ බොහොම සුමට භාෂාවක් සහ ආඛ්‍යානයක් පාවිච්චි කරපු.
අර රස්තියාදුකාර ජීවිතය නැති අහිංසක සාමකාමී මිනිස්සුත් සයිමන්ට කැමති වුණා තමයි. ඒක නම් හරිම ගුප්තයි. හැම මිනිහෙක් ඇතුළෙම හැංගිච්ච චරිතයක් තිබුණා. දැන හෝ නොදැන සයිමන් කළේ ඒ හොර මිනිහාට ආමන්ත්‍රණය කිරීම. සයිමන්ගේ කතා කලාව ගැන බොහෝ දෙනා කතා කළේ මොකුත් නොතේරුණු නිසා (ප්‍රමෝදය නිසා) කියලා දීප්ති කියනවා. මං හිතන්නේ මේ හොර මිනිහා ගැන තමයි දීප්ති කියන්න උත්සාහ කළේ. ඒ ස්වර්ණමය කාලෙදි අපි වැඩියෙන් යාළුකම් තියාගන්න ට්‍රයි කළෙත් ඔය සයිමන්, සුගත්, ධර්මසිරි වගේ අප්සට් චරිත එක්ක තමයි. මාර ආතල් වැඩක්. සයිමන් ඉතින් කොහොමත් අමුතුයිනෙ. එයාගේ ජීවිතේ කාරණා තුනක් නම් අතිශයින්ම ආකර්ශනීයයි.
එක, පූර්ණ කාලීන බොන චරිතයක් වීම. මත්වීම කියන්නේ අසාමාන්‍ය උප සංස්කෘතියක්. එහි පවතින්න පුළුවන් වෙන්නෙ යම් හයියක් තියෙන මිනිස්සුන්ට පමණයි. හැමදාම අලුත්වෙන්න ආස කරන කට්ටියක් තමයි මේ බේබද්දෝ.
දෙක, සලෙළුකම. මේකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ගැහැනිය නමැති අතිභයානක සතාට විනෝදයට වුණත් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ කීයෙන් කී දෙනාටද?
තුන, ඕනෑම තත්ත්වයක් යටතේ ගතමනාව හොයාගන්න හැකිවීම. සයිමන් ප්‍රේමදාස ළඟ වැඩ කිරීමත් මේ කාරණාවට අදාළයි. වම දකුණ නමැති ඊනියා බෙදීම පසු කාලෙකදි එයා ප්‍රශ්න කරන්නට ඇති. කොහොමත් විවෘත ආර්ථිකය නමැති යථාර්ථයට 78 න් පස්සේ අප කාටත් මුහුණ දෙන්න වුණා. ප්‍රේමදාස-සයිමන් සම්බන්ධ ක්‍රියාවලිය නම් අපිට ඒ කාලයේ දී හරියට තේරුම් ගන්න බැරිවුණා. ඇයි අපි වමේනේ.
පසුකාලීන සයිමන් ගැනත් යමක් නොකියාම බෑ. මොන හයිකාරයට වුණත් ජීවිතයේ ඇත්තම ඇත්ත දේවල් ටික (ගුප්ත යථාර්ථය) එහෙම පිටින් ම එළියට දාන්න බැහැ. සයිමන්ගේ මෑත නිශ්ශබ්දතාවට හේතුව ඒක වෙන්න ඇති. එහෙම නැත්නම් එයා ඒ වැඩේ අතෑරියා වෙන්නත් පුළුවන්. ඔය 'අතහැරීම' කියන්නේ භාවනාවක් වගේ දෙයක්. මාර්ග ඵලයක් ලැබුවා වගේ. මේ දෙකෙන් කොයික ද හේතුව කියන එක දන්නෙ සයිමන් ම තමයි. කොහොම වුණත් සිය ජීවිතයේ පරිණතම කාලෙදි ලේඛකයො ලිවීම නවත්වනවා. (කලාකාරයා කලාවට තිත තියනවා.)
ඒක නිසා යම් කෑල්ලක් ඉතිරිවෙලා තියෙනවා කියලා අපි කාටත් දැනෙනවා. 'සංසාරාණ්‍යය අසබඩ' සයිමන්ගේ අවසාන කථාව. මට අනුව නම් හරිම සබුද්ධිකයි. සයිමන් ඒක ලියලා තියෙන්නේ ඇඟෙන් නෙවෙයි ඔළුවෙන්. සංසාරාණ්‍යය නිසා මට නම් යමක් වුණේ නෑ.
සයිමන් නවගත්තේගමගේ පොත් ගැන විශ්ලේෂණයක් කිරීම අතිශය අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා අසීරු වෙන්නේ සයිමන්ට ලියාගන්න බැරි වෙච්ච සංසාරය තව කවුරු හරි ලියන එක. අප හමුවේ ඇති ඇත්ත අභියෝගය එයයි.
උපුටා ගැනීම "අපේ කාලයේ වීරයෙක්" සයිමන් උපහාර ග්‍රන්ථයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd