IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මැති ඇමති ආරක්ෂාව

මහජන යුගයක් උදාකරන බවට මැතිවරණයට පෙර ප්‍රතිඥා දුන් බණ්ඩාරනායක තමා ජයගෙන අගමැති වූ පසුව තම පෞද්ගලික නිවසට කිසිම ආරක්ෂාවක් ලබා ගත්තේ නැත. ගේට්ටුවේ සිටියේ එකම එක පොලිස් භටයෙකි. එකල එන අමුත්තන් පිරික්සීමක් ද නොවීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද එහි පළවිය. 
ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් අනවශ්‍ය බවත් ජනපති අගමැති ඇමැතිවරුන් ඇතුළු පිරිස දැඩි ආරක්ෂාවක් යොදාගැනීම වැරදි බවත් ඉකුත් වසර කිහිපය පුරාම ප්‍රචාරය කරමින් සිටියේ අන් කිසිවකුත් නොව වර්තමාන ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂයේ ගෝල බාලයන් පිරිසය. 
අහම්බෙන් හෝ ජනාධිපති පුටුවට පත් වූ විගසම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව නිල වාහනය ආදිය ඉවත් කිරීමට වර්තමාන ජනාධිපතිවරයා කමිටුවක් ද පත් කළේය. තම රජයක මැති ඇමැතිවරුන්ට අසීමිත ආරක්ෂාවක් නොදෙන බවද ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර පැවසුවේය. ඒ කී ලෙසට මේ වනවිට ජනපතිගේ අගමැතිගේ මෙන්ම මැති ඇමැතිවරුන්ගේ ද අධිකරණ සේවයේ විනිශ්චයකාරවරුන්ගේ ද ආරක්ෂාව අවම කර ඇත. 
අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ඉදිකර තිබූ මුර කුටි කඩා බිඳ දැමූ දර්ශන වත්මන් රජය බලයට පත්වූ විගස ජනමාධ්‍යයෙන් ප්‍රචාරය විය. ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමැතිවරුන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයෙන්නේ නැත. මෙම පියවර මගින් වත්මන් රජය පෙන්වා සිටින්නේ තමන් කලින් සිටි පාලකයන්ට වඩා වෙනස් බවය. 


වත්මන් රජය එම මතයේ එල්බ සිටියේ සද්භාවයෙන් විය හැකිය. එහෙත් රාජ්‍ය නායකයන් ආරක්ෂාව නොමැතිව ගමන් බිමන් යා යුතු ද? අපගේ මතය වන්නේ එසේ නොවිය යුතු බවය. ජනාධිපතිවරයාට ජනාධිපති ආරක්ෂක අංශයක් පිහිටුවා ආරක්ෂාව තරකර ඇත්තේ ඔහු රටේ රාජ්‍ය නායකයා නිසාය. රටවැසියන්ගෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල විය හැකි නිසාය. විශේෂයෙන්ම ත්‍රස්තවාදි කැරලි තුනකින් බැට කා ඇති රටක රාජ්‍ය නායකයා පමණක් නොව පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට දැඩි ආරක්ෂාවක් අවශ්‍යය. බොහෝ රටවල දේශපාලකයා සාමාන්‍ය මිනිසෙකි. ඔහු ගමන් බිමන් යන්නේ සාමාන්‍ය මිනිසුන් සමඟ පොදු වාහනවලය. ආරක්ෂාව ද ඉතා අවමය. එහෙත් පළමුව වටහා ගත යුත්තේ එම රටවල් ආර්ථික වශයෙන්ම මෙන්ම සාමජීය වශයෙන්ද දියුණු බවය. ලංකාව වැනි රටක දේශපාලකයා යනු පොදු ජනතාවගේ ක්‍රෝධයට ලක් වූවෙකි. වත්මන් ජනාධිපතිවරයා දේශපාලකයන් කෙරෙහි ජනතාව තුළ ඇති විරෝධය පැහැදිලිව තේරුම් ගෙන මෙවැනි වෙනසක් කළ බව ඉතා පැහැදිලිය. එහෙත් ඔහු එවැනි වෙනස්කම් ප්‍රිය කළාට දේශපාලකයන් කෙරෙහි ක්‍රෝධයෙන් සිටින ත්‍රස්තවාදී අදහස් ඇති දහස් ගණනක් මෙරට සිටින බව අමතක නොකළ යුතුය. රජය ගන්නා යම් යම් තීන්දු අනුව මෙකි පුද්ගලයන් වත්මන් නායකයන් කෙරෙහි ද ක්‍රෝධ නොකිරීමට හේතුවක් නැත. එනිසා ජනාධිපති අගමැති ඇමැති ආරක්ෂාව අඩු කළ යුතු නැත. එමෙන්ම ජනපති අගමැති නිල නිවාස වෙත නිදහසේ ඇවිද යාමට ඉඩ දිය යුතුද නැත. මැතිවරණ සමයේ කවර අදහස් තිබුණ ද කුමන මතවාද තිබුණද අනුර දිසානායක අද රටේ ජනාධිපතිවරයාය. හරිණි අමරසූරිය මෙනෙවිය රටේ අගමැතිනියය. රටේ නායකයන් දුසිම් ගණනක් ගෙවීගිය දශක හතර තුළ රටට අහිමි විය. එනිසා රටට ඉතිරි වූයේ නායකයන් නොව සුන්බුන්ය. නායක කැබලිය. එනිසා ඉතිරි වී ඇති නායකයන් ටික දෙනා හෝ නැතිකර ගැනීම රටට අවශ්‍ය නැත. 
අනුර දිසානයක ජනාධිපති ධුරයට පත් වූ පසු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ පිළිවෙත ඔහුටම පාරා වළල්ලක් වී කැරකෙමින් තිබේ. විපක්ෂයේ සිටිය දී ජනාධිපතිවරුන්ට හෙලිකොප්ටර් අවශ්‍ය නැති බවත් ජනාධිපතිවරුන්ට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය නැති බවත් නිරතුරුව කියා සිටි අනුර දිසානායක ඔහු ජනාධිපති පුටුවේ වාඩි වූ විගසම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ආරක්ෂකයන් ගණන 60ක් දක්වා අඩු කිරීමට පියවර ගත්තේය. එහෙත් දැන් ප්‍රශ්නය මතු වී ඇත්තේ ඔහුටය. අනුන්ගේ ආරක්ෂාව අඩුකළ අනුර ජනාධිපතිවරයා ලෙස දැන් තමාගේම ආරක්ෂාව වැඩි කර ගන්නේ කෙසේ ද?
රාජ්‍ය නායකයකු ඝාතනය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ සමීපතම ආරක්ෂක නිලධාරීන් පවා ඝාතකයා වෙනුවෙන් යොදා ගන්නා අවස්ථා ලෝක ඉතිහාසය පුරාම ඇති නිසා ආරක්ෂකයන් යොදා ගත් පළියටම රාජ්‍ය නායක ජීවිතය සුරැකෙන්නේ ද නැත. හොඳම උදාහරණය වන්නේ ඉන්දීය අගමැතිනිය ඉන්දිරා ගාන්ධි ඝාතනයයි. ඇයගේ ඝාතකයන් වූයේ ඇය ළඟම සිටි සික් ජාතික ආරක්ෂකයන්ය. සික්වරුන් සැලකෙන්නේ තමා සේවය කරන රට හෝ ප්‍රභූවරයා වෙනුවෙන් තම ජීවිතය පුදා හෝ සේවය සලසන භට පිරිසක් හැටියටය. බ්‍රිතාන්‍ය මහ රැජිනවත් කාලයක් සික් රෙජිමේන්තුවක ආරක්ෂක සැලසුණේය. උතුරේ ඊලාම් අරගලයේ දී එල්.ටී.ටි.ඊ යට එරෙහිව යොදාගත් සික් වරුන්ගේ කමාන්ඩෝ භට පිරිසක් එල්.ටී.ටී.ඊය සමඟ මුහුණට මුහුණ සටනක දී තම ගිනි අවි උණ්ඩ අවසන් වූ කල බඳපටියෙන් අමුණා ඇති සාම්ප්‍රදායික කිරිච්චියෙන් එල්.ටී.ටී.ඊ කණ්ඩායම සමූල ඝාතනය කළ සිද්ධියක් ද එකල පැතිරුණේය. එහෙත් ඉන්දිරා ගාන්ධි රන්දෙවොලට එල්ල කල ප්‍රහාරයට පළිගැනීම සඳහා ඇගේම ආරක්ෂක සික් භට පිරිස යොදා ගන්නට සික් නායකයන්ට හැකි විය. පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියේ දී ඉලක්කය වූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ වූ 1980 වසරේ ඉන්දු ලංකා ගිවිසුමක් අනතුරුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට රට තුළින් ඇති විරෝධයක් එල්ල විය. ජේ.ආර්. මරමු යන සටන් පාඨය සමාජ ගත වූයේ ඉතා වේගයෙනි. එම මතය රට තුළ වේගයෙන් ප්‍රචලිත වෙද්දී පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවක් තුළ වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. එකල දැඩි ආරක්ෂාවක් යොදා තිබූ පාර්ලිමේන්තු භූමියේදීම එල්ල වූ මේ ප්‍රහාරය අදටත් ප්‍රහාරකයා කවුද යන්න නිසි ලෙස තහවුරු නොවූ ප්‍රහාරයකි. අවසානයේ ප්‍රධාන සැකකරු ලෙස තෝරා ගැනුණු අජිත් කුමාර, විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාගේ බිරිඳගේ සොහොයුරාය. එහෙත් එකල පාර්ලිමේන්තුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරයෙකු මෙම ලේඛකයා සමඟ ක්‍ීප වාරයක්ම පවසා ඇත්තේ රජයේ ආරක්ෂක අංශයක සම්බන්ධයක් මෙම ප්‍රහාරයට තිබුණේ දැයි තමාට සැක මතුවන බවය. ඇසින් නොදුටු සාක්ෂි මත කළ පරීක්ෂණ අනුව සැකය ජවිපෙට බැරවුවද රජයේ ඉහළම පාලන යාන්ත්‍රණය තුළදී එල්ල වූ ප්‍රහාරය අදට ද අභිරහසකි. එහෙත් උත්සාහය වූයේ ජනාධිපති ජයවර්ධන ඝාතනය කිරීමය. ඒ නිසා ජනාධිපතිවරයෙකු කිසිම අවස්ථාවක ආරක්ෂිත යැයි උපකල්පනය නොකළ යුතුය. කළ යුත්තේ සියලු වැර යොදා ජනාධිපතිවරයාට දැඩි ආරක්ෂාවක් යොදා ඔහු සුරක්ෂිත කිරීමය. ඔහුද තමා මෙන්ම පක්ෂ විපක්ෂ සියලු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුය.


බණ්ඩාරනායක අගමැතිවරයාගේ හිතවතකු වූ පී. මලල්ගොඩ අගමැති ඝාතනයෙන් පසුව පොත් කිහිපයක්ම ලිවිය. ඔහු එම පොත්වල සඳහන් කරන්නේ අගමැතිතුමා ඝාතනය කිරීමට ඇති උත්සාහයක් ගැන එතුමා දැනුවත් කළද තමාගේ දැනුවත් කිරීම තඹ දොයිතුවකට ගණන් නොගත් බවය. 
මහජන යුගයක් උදාකරන බවට මැතිවරණයට පෙර ප්‍රතිඥා දුන් බණ්ඩාරනායක තමා ජයගෙන අගමැති වූ පසුව තම පෞද්ගලික නිවසට කිසිම ආරක්ෂාවක් ලබා ගත්තේ නැත. ගේට්ටුවේ සිටියේ එකම එක පොලිස් භටයෙකි. එකල එන අමුත්තන් පිරික්සීමක් ද නොවීය. 
නිවස පොදු ජනතාවට නිරතුරුව විවෘත බව අගමැතිවරයා පුන පුනා කීවේය. ඝාතකයා පැමිණියේ මහජනතාව අතරිනි. 
තමාගේ ආරක්ෂාව ගැන නොසැලකිලිමත් වූ හෝ නියමිත ආරක්ෂාවක් රජයෙන් ලබා නොදීම නිසා හෝ මෙරටට අහිමි වූ දේශපාලන නායකයන්ගේ ගණන ඉතා විශාලය. ඒ සියලු දෙනාම මියගියේ මෙරට ආරක්ෂක උපක්‍රමවල කුමක් හෝ අඩුපාඩුවක් නිසාය. එල්.ටී.ටී.ඊ යේ මෙන්ම ප්‍රේමදාස රජයෙන් ද මරණ වරෙන්තු තිබූ ලලිත් ඇතුළත් මුදලි එජාප ආණ්ඩුවෙන් ගැලවී විපක්ෂයට ගිය පසු  එජාප ආණ්ඩුව ලලිත්ගේ ආරක්ෂාව ඉවත් කළේය. ඔහුට ලැබුණේ මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලැබෙන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආරක්ෂාවය. ජනාධිපති ප්‍රේමදාසට ප්‍රධාන තර්ජනය තිබුණේ ලලිත්ගෙනි. අවසානයේ වෙඩි තිබ්බේ එල්.එල්.ටී.යද ප්‍රේමදාස රජය ද නැතිනම් ඉන්දීය ඔත්තු සේවය දැයි තවමත් සොයා ගත නොහැකි ආකාරයට උණ්ඩ දෙකකින් ලලිත්ගේ ජීවිතය නිරපරාදේ බිලි ගත්තේය. ප්‍රේමදාස ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ ආරක්ෂාව ලැබිය යුත්තේ තමාම පමණක් බවය. විපක්ෂයට ආරක්ෂාව අනවශ්‍යයි. රටට අවශ්‍යව නායකයකු බිල්ලට දුන්නේ තමා හැර අන් අය ආරක්ෂා විය යුතු නැත යන ප්‍රේමදාසගේ ඔළමොට්ටල දේශපාලනය නිසාය. ඊළඟට ගාමිණි දිසානායක බිල්ලට දුන්නේත් චන්ද්‍රිකා කුමාරතුංග රජයේ අමන ඔළමොට්ටල තීන්දු නිසාය. චන්ද්‍රිකා සමඟ ජනපතිවරණයේදී අනෙක් පැත්තෙන් තරග කළේ ගාමිණි. දිසානායකය. 1994 ජනපතිවරණය සමයේ ගාමිණීගේ ආරක්ෂාව සෑහෙන දුරට අඩු කළේය. එවකට ආරක්ෂාව භාරව තිබුණේ ජනාධිපතිවරයා වූ ඩී.බී. විජේතුංග යටතේ වුවත් ආරක්ෂක අංශ ද සිටියේ අලුතෙන් ආ ශ්‍රීලනිප ආණ්ඩුවට හීලෑ වෙලාය. එල්.ටී.ටී.ඊ. ඝාතකයා තොටළඟ වේදිකාව ඉදිරිපසටම එනතුරු ආරක්ෂක අංශ සිටියේ වාද බයිලා ගයමිනි. අන්තිමට හතළිස් ගාණකුත් සමඟ ගාමිණී නොඑන ගමන් ගියේය. රටක් වටිනා විජය කුමාරතුංග මැරුවේ ද ආරක්ෂාවක් නැති නිසාය. විජයට එක පසෙකින් ආණ්ඩුවෙන් ද අනෙක් පසින් ජවිපෙන් ද මරණ තර්ජන තිබුණේය. ආණ්ඩුව විජයට ආරක්ෂාව දුන්නේ ද නැත. විජය ආරක්ෂාව ඉල්ලුවේත් නැත. විජයගේ පක්ෂයේ එක එකා මරා දමත්දීත් විජය ආරක්ෂාවක් නැතිව රට වටේ ගියේය. විජය අයියා පරෙස්සම් වෙන්න යැයි සමීපතමයන් කියද්දී විජය කීවේ “‘කවුද මල්ලී මට වෙඩි තියන්නේ” කියාය. සිනමාවේ කුමාරයා එහෙම හිතුවාට විජයට වෙඩි තියන්නත් වුවමනා අය සිටියේය. අන්තිමට වෙඩිල්ල තිබ්බේ එජාප ආණ්ඩුවේ ඇමැතිවරයකුට නිකුත් කළ ටී.56 තුවක්කුවකින් ජවිපෙ කොන්ත්‍රාත් ඝාතකයෙකි. 1956 දී මාමාත් 1988 දී බෑනාත් වෙඩි කෑවේ රටේ මිනිසුන් ගැන විශ්වාසය තැබූ නිසාය. 
මේ රටේ මිනිසුන් ගැන කවදාවත් විශ්වාසය තැබිය නොහැකිය. අද වීරයා ලෙස ඔටුනු පලඳවන මිනිසුන්ටම හෙට ද්‍රෝහීයා ලෙස අපවාදයට ලක් කරන්නට ගත වන්නේ ඉතා සුළු හේතුවකි. ඒ නිසා මැති ඇමැතිවරුන් ජනාධිපතිවරුන් හිටපු ජනාධිපතිවරුන් සිටිය යුත්තේ ආරක්ෂාවකින් තොරව නොව උපරිම ආරක්ෂාව යටතේය. 
ජනාධිපතිවරුන්ට ආරක්ෂක බළකායක් හැදුවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජවර්ධනගේ පුත්‍රයාය. 
ගුවන් නියුමවකු වූ රවී ජයවර්ධන මෙරට සිටි හොඳම ඉලක්ක වෙඩික්කරුවන්ගෙන් කෙනෙකි. බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ අනුර බණ්ඩාරනායක දේශපාලනයට පැමිණෙන බලා සිටි ජනතාවට ජේ.ආර්.ගේ පුතා දේශපාලනයට නොපැමිණීම මහත් පුදුමයක් විය. තාත්තා දේශපාලනය කළාට පුතා දේශපාලකයන් සත පහකට විශ්වාස කළේ නැත. 
1983 ජුලි කලබල ඇති වෙද්දී රවි ජයවර්ධන සිටියේ ඕස්ට්‍රේලියාවේය. වහාම ලංකාවට පැමිණි පෙනී ගියේ තම පියාගේ ආරක්ෂාව අසීරු තත්ත්වයකට පත්ව ඒ වෙද්දී ලංකාවේ කමාන්ඩෝ බලකාය හැරුණු විට වෙනත් කිසිම විශේෂිත හමුදා බළකායක් තිබුණේ නැත. ඔහු වහාම තම පියා වටා ප්‍රබල ආරක්ෂක වළල්ලක් එළුවේය. රවි ජයවර්ධන ලංකාවට පැමිණීමට පෙරාතුව ජනාධිපති ජයවර්ධනට තිබුණු එකම ආරක්ෂාව වූයේ පොලිසියේ ආරක්ෂාව පමණකි. 
මහවැලි අධිකාරියේ හිටපු නිලධාරියෙකු වූ මාලිංග හර්මන් ගුණරත්න තම පියා වූ ජනාධිපතිවරයාට රවි ආරක්ෂාව සැලසූ හැටි මෙසේ සටහන් කර ඇත. 
මෙම සොල්දාදුවා ලංකාවට පැමිණීමට පෙරාතුව ජනාධිපති ජයවර්ධනට තිබුණු එකම ආරක්ෂාව වූයේ කොළඹ ජනාධිපති මන්දිරය අසල අව්වේ වේළෙමින් දහදිය දමමින් සිටි වර්ණවත් ඇඳුමකින් සැරසුණු චාරිත්‍රානුකූල අරක්ෂක නිලධාරීන් පිරිසයි. වෝඩ් පෙදෙසේ සිටියේ බඩ තඩි පොලිස් භටයන් කිහිප දෙනෙකි. මෙකී පොලිස් භටයන් විසින් ස්වකීය තුවක්කු අතට ගැනීමටත් පෙර වෝඩ් පෙදෙසේ ගේට්ටු මැදින් කෙනකුට ත්‍රස්තවාදීන්ගෙන් පිරුණු වැගන් රථයක් වුවත් ගෙන යා හැකිවනු ඇත. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තෝරාගත් රවී ජනාධිපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) සංවිධානය කිරීමේ කාර්යයෙහි නියැළුණි. විශේෂයෙන් තෝරා ගත් එම නිලධාරීන්ට දැඩි පුහුණුවීම් මාලාවක් පවත්වන ලදී. ඒ සමගම ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භක තිඹිරිගෙයට ද මුල්ගල තැබීය. හර්මන් ගුණරත්න එසේ කියයි. 
සමස්ත රටවැසියන්ම තම රාජ්‍ය නායකයාට ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. ලෝක ඉතිහාසයේ එවැනි උදාහරණ ගණනාවක් තිබේ. වියට්නාමයේ හිටපු නායක හෝචිමින් එවැන්නෙකි. පළමුව ප්‍රංශය සටන ද ඉන් පසුව ඇමරිකාව සමඟ ද වසර විස්සකට වැඩි යුද්ධයක් තිබියදීත් ජනාධිපති හෝචිමින් තම කුඩා නිවසේ සිට ජනාධිපති කාර්යාලයට ගියේ පාපැදියෙනි. තම කුඩා පන්මල්ලේ ඇති රසකැවිලි මග දෙපස සිටින දරුවන්ට බෙදමින් පාපැදියෙන් ජනාධිපති කාර්යාලයට යන ජනාධිපතිවරයාට ආරක්ෂක භටයන් සිටියේ නැත. සරල නිහතමානී ජනාධිපතිවයෙකු හෙයින් රටක් ආදරය කළ ඔහුට අමුතු ආරක්ෂාවක් අවශ්‍ය නොවීය. එහෙත් ලංකාවේ ජනාධිපති අනුර දිසානායක ‘‘සහෝදරයා දෙස කිසිවකුත් හොචිමින් දෙස බැලු කෝණයෙන් බලන්නේ නැත. 1987 - 89 ජවිපේ කැරැල්ලේ වින්දිතයන් දහස් ගණනක් රට තුළ සිටීම මෙන්ම ලංකාවේ දේශපාලකයන් අන් පක්ෂ කෙරෙහි පතුරා ඇති වෛරී සහගත දේශපාලනය හේතුවෙන් සන්නද්ධ ආරක්ෂකයන් නොමැතිව මෙරට දේශපාලකයන්ගේ ජීවිත සුරැකෙනු ඇතැයි සහතිකයක් කිසිවකුටවත් ලබාදිය නොහැකිය. 
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩුකර ඇත්තේ ඔහුට මිස රටේ මොනයම් හෝ නීතියකින් නොවේ. රටේ නීතිය අනුව ජනපතිට ආරක්ෂාවක් ලැබි යුතුය. ජනාධිපති ආරක්ෂක අංශයක් සහ ප්‍රභූ ආරක්ෂක අංශයක් මෙතෙක් කාලයක් රජයෙන් නඩත්තු කෙරුණේ ජනපතිටත්, ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් අවශ්‍ය නිසාය. එවැනි ඒකක තිබිය දී ආරක්ෂාව අඩු කර ගත්තේ ජනාධිපතිගේම පක්ෂයේ මැතිවණ රැස්වීම්වල දී පාක්ෂිකයන් සතුටු කිරීම පිණිස බල්ටි සහ විසිල් මැද කළ කතා අනුවය. රාජ්‍යය යනු ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ නොවේ. එම රැස්වීම්වල කළ කී කතා රටේ නීතිය බවට පත් වන්නේ නැත. ප්‍රභූ ආරක්ෂාව අනවශ්‍ය බවට කළ කතා දැන් ඉතිහාසයට එක්වී අවසන්ය. ඒ නිසා නීතියෙන් ලබාදී ඇති ආරක්ෂාව ලබාගැනීම රටට බරක් නොවන්නේ එකී නිලධාරින් පිරිසට අදටත් පඩි නඩි ආදිය ගෙවන බැවිනි. ජනාධිපතිගේ ආරක්ෂාව අඩු කළ ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ මැති ඇමතිවරුන් වෙනුවෙන් වෙන් කළ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීහු අදටත් වැටුප් ලබමින් සේවය පිණිස කැපවී සිටිති. කී කතා අමතක කර ලජ්ජාව පසෙකලා නිසි ආරක්ෂාව ලබාගැනීම ප්‍රභූවරුන්ටත් රටටත් ඉතාම ලාබදායකය. 
ප්‍රේමකීර්ති රණතුංග  

 



අදහස් (0)

මැති ඇමති ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 558 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 770 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6222 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 724 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3738 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 166 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 229 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site