
ඝාතනය සිදුවූ නිවස
“බාප්පේ, තාත්තා මාවයි ආච්චිවයි මරන්න පොල්ලකුත් අරගෙන එළෝගෙන එනවා. අනේ ඉක්මනට අපිව බේරගන්න. තාත්තා හොඳටම බීලයි ඉන්නේ.”
දොළොස් හැවිරිදි දරුවා එසේ කෑගසද්දී, “බයවෙන්න එපා පුතේ, මම ඔයාවයි ආච්චිවයි දෙන්නම බේරගන්නවා”යි පැවසූ බාප්පා, මහ රෑ තම නිවස අසලට දුවගෙන පැමිණි දෙදෙනාව ගෙට ගෙන කඩිනමින් දොර වසා ගත්තේය.

“මල්ලි දොර ඇරපන්. නැත්නම් මම දොර කඩාගෙන හරි ගේ ඇතුළට එනවා”යි වෙරිමරගාතේ කෑගැසුවද මල්ලී දොර නොඇරියේය. මෙයින් කුපිත වූ අයියා එකදිගට දොරට පාපහර දෙමින්, අත තිබූ පොල්ලෙන්ද තඩි බෑවේය. ඒ සමඟ පළු දෙකකින් සමන්විත ප්‍රධාන දොරේ එක පළුවක් කැඩී ගිය අතර, ඔහු එම හිඩැසෙන් පොල්ලද අමෝරාගෙන අඳුරේම නිවසට කඩා වැදුණි.
ඒ වන විට මල්ලීගේ බිරිඳ සහ අවුරුදු හතක හා හතරක දියණියන් දෙදෙනා බිම පැදුරක් එළාගෙන නිදා සිටියහ. එසේ නිදා සිටි එක් දියණියකගේ ගෙළද පාගාගත් ඔහු, “අද තෝ මම මෙතනම මරනවා”යි පවසමින් 72 හැවිරිදි වයෝවෘද්ධ මවට පොල්ලෙන් පහර දුන්නේය. එම පහරින් බේරීමට මව අත ඔසවද්දී ඇගේ ඇඟිලි කිහිපයක් බිඳී ගියේය. ඊළඟ පහර හිසට එල්ල වූ අතර, තෙවැනි පහර එල්ල වීමට පෙර මල්ලී ක්‍රියාත්මක විය.
ගෙල ප්‍රදේශයට එල්ල වූ මාරාන්තික පිහි පහරින් අයියාගේ හිස සිරුරෙන් වෙන් වී ගිය අතර, සිරුර පුරා තවත් කැපුම් තුවාලද සිදුව තිබිණි. සිද්ධියෙන් පසු මල්ලී ජංගම දුරකථනයෙන් අඟුරුවාතොට පොලිසියට කතා කර තොරතුරු දැනුම් දුන්නේය.
ඒ අනුව රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක අජිත් ඇතුළු කණ්ඩායමක් පසුගිය 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ හල්තොට, බාලසූරිය මාවත, පෙතිගහමුකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස සොයා ගියහ. නිවසට ඇතුළු වන දොර ආසන්නයේ ගෙළ සිඳී මියගොස් සිටියේ වාදූවගේ ඩිලන්ත ධනුෂ්ක නමැති 38 හැවිරිදි එක්දරු පියෙකි.
“සර්, අයියා මගේ තාත්තටත් පහුගිය සතියේ පොල්ලකින් ගහලා තුවාල කළා. තාත්තා තවමත් ඉන්නේ ඉස්පිරිතාලේ. අයියා එයාගේ පුතාටයි අම්මටයි දෙන්නටම ගහන්න උස්සාගෙන අපේ ගෙදරට පැන්නා. අම්මට පොල්ලෙන් ගැහුවා. මම හිතුවේම අම්මව මරා දමයි කියලා,” යනුවෙන් සැකකාර මල්ලී පොලිසියට පවසා ඇත.
මීට පෙර පුතාගේ පහර කෑමට ලක්වූ 74 හැවිරිදි පියා තවමත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබයි. පියාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි ධනුෂ්ක, ඇප මත මුදාහැර සිටි අයෙකි. පුතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ 72 හැවිරිදි මවද මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය. දස මසක් කුසේ හොවා මෙලොවට බිහිකර ලේ කිරි කර පොවා උස්මහත් කළ නරුම පුතා පොල්ලකින් ගසා කඩා දමා තිබුණේ ලේ කැටි පුතෙකුව සිටියදී දෝතට ගත් මවගේ අත්වලටමය.
අයියාගේ ගෙළ කපා ඝාතනය කළ බව කියන 34 හැවිරිදි මල්ලී සහ ඊට යොදාගත් මන්නා පිහිය පොලිස් භාරයට ගැනිණි. සැකකාර මල්ලී පෙදරේරු වෘත්තියේ නිරතවන, දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිඳ ඇඟලුම් කම්හලක සේවය කරන්නීය. ඔහු කිසිවකුටත් කරදරයක් නැතිව පවුල සමඟ ජීවත් වූ අහිංසකයකු බව අසල්වාසීහු පවසති. බාල පුතා තම මව්පියන්ට අසීමිතව සෙනෙහස දක්වමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බැලූ අයෙකි.

ඝාතනයට ලක්වූ ධනුෂ්ක කුලී වැඩ කරමින් ජීවත් වූ අයෙකි. ඔහු පවුලට පමණක් නොව මුළු ගමටම හිරිහැරයක් වූවකු බව කියැවේ. කසිප්පු පානයට තදින්ම ඇබ්බැහි වී සිටි මොහු, බීමත්ව පැමිණ නිතර බිරිඳට පහර දුන්නේය. බැරිම තැන ඇය එකම පුතාව නැන්දණියට බාරදී මීට වසර කිහිපයකට පෙර මැදපෙරදිග රැකියාවකට ගියාය. ඇගේ අරමුණ වූයේ පුතාට හොඳින් උගන්වා උස් මහත් කිරීමයි.
අරක්කු බීමට මුදල් නැති දිනවලට මොහු පුතාගේ ගෙළට පිහියක් තබා, ජංගම දුරකථනයෙන් වීඩියෝ ඇමතුම් ලබාගනිමින් මවට තර්ජනය කර ඇත. “අම්මට කියපන් මට සල්ලි එවන්න කියලා. නැත්නම් මම උඹේ බෙල්ල කපලා මරනවා”යි කියද්දී දරුවා බියෙන් ගැහෙමින් මවගෙන් මුදල් ඉල්ලා තිබේ. 12 හැවිරිදි මෙම දරුවාටද නිතර පහර දෙන බැවින්, මිත්තණිය ඒ ගැන පොලිසියට පැමිණිලි කර අධිකරණය මගින් මුණුබුරාව ඇගේ භාරයට ගෙන තිබිණි. ධනුෂ්ක නමැත්තාට එරෙහිව අධිකරණයේ නඩු 8ක් විභාග වෙමින් පවතින අතර, අසල්වැසියකුගේ ඇසට පිහියකින් ඇන තුවාල කිරීම සම්බන්ධයෙන්ද ඔහු අත්අඩංගුවට පත්වූවෙකි.
සිද්ධිය වූ දින රාත්‍රියේ ගමේ පැවති මංගල උත්සවයකට සහභාගී වී හොඳහැටි මත්පැන් පානය කළ ධනුෂ්ක, එහි සිටි කිහිපදෙනකු සමඟද ආරවුල් ඇතිකරගෙන තිබේ. පසුව පොල්ලක්ද රැගෙන මව සහ පුතා පදිංචි නිවසට ගොස් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින්, “අද මම උඹව ඉවරයක් කරනවා”යි තර්ජනය කරමින් ගෙට කඩා පැන ඇත. එහිදී මව මුනුපුරාද ඇදගෙන පසුපස දොරෙන් පැනගොස් ඇත්තේ ජීවිතය බේරාගැනීමටය. එසේ පැනගිය වයෝවෘද්ධ මව මුනුපුරාද කැටිව ආරක්ෂාව පතා ඊට යාබදව පිහිටි බාල පුතාගේ නිවසට ගොස් තිබිණි.
මීට පෙර පුතාගේ පහර කෑමට ලක්වූ 74 හැවිරිදි පියා තවමත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබයි. පියාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි ධනුෂ්ක, ඇප මත මුදාහැර සිටි අයෙකි.
හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති ගන්නන්කර මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝග කළාය. හොරණ දිස්ත්‍රික් මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්. මහසෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා, මරණය ගෙළ කැපීමෙන් සිදුවූවක් බවට නිගමනය කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14කට රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ අධීක්ෂණය යටතේ, කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරිය මහත්මියගේ උපදෙස් පරිදි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී බී.එම්. ඒකනායක මෙහෙයවීමෙන්, අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති අසංක රාජකරුණා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අමිල වීරසේකර, උප පොලිස් පරීක්ෂක අජිත් හේමකුමාර, පොලිස් සැරයන් අනුරුද්ධ, පොලිස් කොස්තාපල්වරුන් වන සාලිය සහ කුමාර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප: හොරණ, චමිලා අල්විස්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd